සබ්බාසව සූත්‍ර වර්ණනාව
සැවැත්නුවර, එවං මෙසුතං සාවත්‍ථියං, යනු සබ්බාසව සුත්‍රයයි. මේ එහි අනුපූර්ව පද වර්ණනාවයි. සාවත්‍ථියං යනු සවත්‍ථ නම් සෘෂිහුගේ වාසස්ථානය වූ නගරයයි. කාකන්දි මාකන්දි යන නාමයන් යම්සේ ද එමෙනි. මෙසේ පළමුකොට අක්‍ෂර චින්තකයෝ ද අට්ඨකථාචාර්යවරයෝ ද කියති. මිනිසුන්ගේ යම්කිසි උපභෝග පරිභෝග සම්පත් වීද ඒ සියල්ල මෙහි ඇත්නුයි සාවත්‍ථි නම් වේ. නැතහොත් වෙළඳ සමූහයා රැස්වූ කල්හි කිනම් භාණ්ඩයක් ඇත්දැයි විචාළ විට ඒ සියල්ල ඇත යන වචනය ගෙන සාවත්‍ථි නම් වේ යයි-
1. සැවැත් නුවර සියලු කල්හි සියලු උපකරණ යම් හෙයකින් මොනවට රැස්වූයේද, එහෙයින් සබ්බං යනුගෙන සාවත්‍ථි යයි කියනු ලැබේ.
2. කොසොල්රට වාසීන්ගේ රම්‍ය වූ දර්ශනීය වූ සිත්කලු වූ සාවත්‍ථිපුරය දසවිධ ශබ්දයන්ගෙන් නොසිස්වන ආහාරපානයන්ගෙන් සැදුම් ලද්දේය.
3. සමෘද්ධ වූ පිනාගියා වූ සිත්කලු වූ උතුම් වූ සැවැත්පුරය දෙවියන්ගේ ආලකමන්දාව නම් රාජධානිය මෙන් දියුණුවටත් විපුල බවටත්, පැමිණියේ විය.
ජේතවනය:- ඒ ශ්‍රාවස්ති නගරයෙහි යන අර්ථයි. ජේතවනෙ යන මෙහි තම පසමිතුරන් දිනුවේනුයි ජේත නම් වේ. නැතහොත් රජු විසින් හෝ සතුරු ජනයා දිනූ කල්හි උපන්නේ නුයි ජේතනම් වේ. මංගල කැමැති බැවින් හෝ ඕහට මෙසේ නාමය කරන ලදැයි හෝ ජේත නම් වේ. ජේත නම් අයගේ වනය නම් වූ බැවින් ද ජේතනම් වේ. යම් හෙයකින් ඒ දෙව්රම ජේතනම් කුමරා විසින් රෝපනය කරන ලද්දේ වර්ධනය කරන ලද්දේ පරිපාලනය කරන ලද්දේ වීද හෙතෙම ඒ ජේතවනයාගේ ස්වාමීත් වීද එහෙයින් ජේතවන යයි කියනු ලැබේ. ඒ ජේතවනයෙහි, අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ යන මෙහි ඒ ගෘහපති තෙම මව්පියන් විසින් කළ නමින් සුදත්ත නම් වේ. සියලු සැපතින් සමෘද්ධි බැවින් ද, පහ වූ මසුරු බව ඇති බැවින් ද කරුණාදි ගුණයෙන් යුත් බැවින් ද, සියලු කාලයෙහි අනාථයන්ට පිණ්ඩදානය කළේය. එබැවින්ද අනාථපිණ්ඩික යැයි ප්‍රසිද්ධියට පැමිණියේය.
මෙහි ප්‍රාණීහු විශේෂයෙන් පැවිදෝ සිත් අලවා වෙසෙත්නුයි ආරාම නම් වේ. ඒ ආරාමයාගේ මල්ඵල ආදි ශෝභාවෙන් ද ඉතා නොදුරු නොළං බැව් ආදී වූ පස්වැදෑරුම් සෙනසුම් සම්පත්තියෙන් ද, මම ඒ ඒ දිසාවන්ගෙන් අවුත් රමණය කෙරෙති. අභිරමණය කෙරෙති. උකටලී නොකොට වාසය කෙෙරති යන අර්ථයි. නැතහොත් ඉහත සඳහන් සම්පත්ති හේතුවෙන් ඒ ඒ තැන ගියවුන් ද, තම ඇසුරට පමුණුවා රමණය කරවානුයි ආරාම නම් වේ. යම්හෙයකින් ඒ ආරාමය තෙම අනාථපිණ්ඩික ගෘහපතීහු විසින් ජේතවන නම් රාජ කුමාරයා අතින් දහඅට කෝටියක් රන්කාසි වියදම්කොට මිලට ගෙන, දහඅට කෝටියක් වියදම්කොට සෙනසුන් කරවා දහඅට කෝටියක් වියදම්කොට විහාර පූජා උත්සවය කොට, මෙසේ පනස්හතර කෝටියක් රන්කාසි පරිත්‍යාගයෙන් බුදුපාමොක් මහසඟනට පාවා දුන්නේද එහෙයින් අනේපිඬු සිටුතුමාගේ ආරාමයයි කියනු ලැබේ. ඒ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි.
මෙසේ ජෙතවනෙ යන්නෙන් මුල් ස්වාමියා ප්‍රකාශ කිරීමයි. අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ යනුවෙන් පශ්චිම ස්වාමියා ප්‍රකාශ කිරීමයි. මෙවන් ප්‍රකාශයන්ගෙන් ඇති ප්‍රයෝජනය කවරේද? පින් කැමැත්තවුගේ දුටු දෙය අනුව යාම සිදුවීම පිණිසය. එහි වනාහි, දොරටු ප්‍රාසාද නිර්මාණ කිරීමෙහි බිම විකිණීමෙන් ලැබූ අටලොස් කෝටියක් රන්ද නොයෙක් කෝටිගණන් වටිනා වෘක්‍ෂයෝ ද, ජේත කුමාරයාගේ පරිත්‍යාගයෝය. සූපනස් කෙලක් අනේපිඬු සිටුහුගේ පරිත්‍යග වෙයි. මෙසේ ඔවුන් දැක්වීමෙන් මෙසේ පින් කැමැත්තෝ පින් කරන්නේ යයි දක්වන්නා වූ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අන්‍ය පුණ්‍යකාමීන් ද ඔවුන් අනුව යාමට පැමිණවීමෙහි යොදවත්.