දස්සනා පහාතබ්බ
එබැවින් ඒ පදයන් පිළිවෙලින් ප්‍රකාශ කරනු කැමැත්තාහු කතමෙ භික්ඛවෙ ආසවා දස්සනා පහාතබ්බා යනුවෙන් ප්‍රශ්නකොට මූල පරියාය වර්ණනාවෙහිම කී ක්‍රමයෙන්ම ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො යනුවෙන් පුද්ගලාධිෂ්ඨාන දේශනාව ආරම්භ කළ සේක.
එහි මනසිකරණීයෙ ධම්මෙ නපපජ්ජානාති යනු, ආවර්ජනා කළයුතු, සිත්හි ඵලවිය යුතු ධර්මයන් නො දනියි. අමනසි කරණීයෙ ඊට විපරීත වූ සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි. යම් හෙයකින් මේ ධර්මයෝ මෙනෙහි කළ යුත්තෝය. මොවුහු නොමෙනෙහි කළ යුත්තෝ යයි ධර්ම වශයෙන් නියමයක් නැත්ද, ආකාර වශයෙන් නියමයක් ඇත්ද, යම් ආකාරයකින් මෙනෙහි කරනු ලබන කල්හි අකුසලයන්ගේ හටගැනීමට හේතු වෙත්ද, ඒ අයුරින් මෙනෙහි නොකළ යුත්තාහුය. යම් ආකාරයකින් කුසල් ඉපදවීමට හේතු වෙත්නම් එපරිද්දෙන් මෙනෙහි කළ යුත්තාහුය. එහෙයින් ‘යස්ස භික්ඛවෙ, ධම්මෙ මනසිකරෝතො අනුප්පන්නො වා කාමාසවො’ යනාදිය වදාළහ.
එහි, යස්ස යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නා වූ ඒ අශ්‍රැතවත් පුථුජ්ජනයාට මනසි කරොතො ආවර්ජනා කරන්නහුට සින්හි මනාව එලවන්නහුට,
සමුච්චයාර්ථ වා ශබ්දය
අනුප්පන්නා වා කාමාසවා යන මෙහි වා ශබ්දය සමුච්චය අර්ථයෙහිය. විකල්පාර්ථයෙහි නොවේ. එහෙයින් ‘යාවකා භික්ඛවෙ සත්තා අපදා වා දිවිපදා වා -පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති’ යයි කී කල්හි අපාදයෝ ද ද්විපාදයෝ ද යන අර්ථයයි. භූතානං වා සතතානං වා ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය යයි කී කල්හි, භූතයන්ට ද උපන් සත්ත්වයන්ටද උපදිමින් සිටි සත්ත්වයන්ටද යන අර්ථයි. අග්ගිතො වා උදකතොවා මිථුභෙදතො වා යයි කී කල්හි, ගින්නෙන් ද ජලයෙන් ද, මිථු භේදියෙන් ද (=අන්‍යොන්‍ය භේදයෙන් ද) යන අර්ථයි. එපරිද්දෙන් මෙහි ද නූපන් කාමාසවයද උපදී. උපන් කාමාසවයද වැඩෙයි යන අර්ථය දතයුතුයි. සෙසු තන්හිදු මෙසේමැයි.
මෙහි කාමාසවා යනු පඤ්චකාමගුණික රාගයයි. භවාසවො යනු රූප අරූප භවයන්හි ඡන්‍දරාගයයි. ධ්‍යාන නිකාන්තියද ශාස්වත, උච්ඡෙද යන දෘෂ්ටි ද භවාශ්‍රවයෙහිම සංග්‍රහයට යයි.
අවිජ්ජාසවො යනු චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමයි. එහි කාමගුණයන් අස්සා ද වශයෙන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාසව උපදී. උපන් කාමාසව වැඩෙයි. මහත්ගත ධර්මයන් අස්සා ද වශයෙන් මෙනෙහි කරන්නහුට නූපන් භවාශ්‍රවය ද උපදී. උපන් භවාශ්‍රවය වැඩෙයි. භුමිත්‍රයෙහි ධර්මයන් සතර විපර්යාසයන්ට පදස්ථාන භාවයේ මෙනෙහි කරන්නහුට නූපන් අවිජ්ජාසව උපදිත්. උපන් අවිජ්ජාසව වැඩෙත් යයි දතයුතුයි. කී ක්‍රමයට විරුද්ධ වශයෙන් කුසල පක්‍ෂය පිළිබඳ විස්තර කළයුතුය.
කුමක් හෙයින් ආශ්‍රවයෝ තිදෙනෙක් මෙහි කියන ලද්දාහුද, විමොක්‍ෂයන්ට ප්‍රතිපක්‍ෂ බැවිනි. කාමාසවය අප්පණිහිත විමොක්ඛයට ප්‍රතිපක්‍ෂ වේ. අන්‍යයෝ අපණිහිත අනිමිත්ත, සුඤ්ඤත විමොක්ඛයනට ප්‍රතිපක්‍ෂ වෙති. එහෙයින් මෙම ආසව ධර්ම තුන උපදවන්නාහු ත්‍රිවිධ විමොක්‍ෂයන්ට විරුද්ධ වෙති. ආසව නොඋපදවන්නාහු අවිරුද්ධ වෙතැයි මේ අර්ථය දක්වන්නහු විසින් තිදෙනෙක් දක්වන ලද්දාහු යයි දතයුත්තාහුය. දිට්ඨි ආසවයද වදාරණ ලද්දේම යයි මෙහි වර්ණනා කරන ලද්දේය.
තස්ස අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා යනාදි මෙනෙහි කිරීම් හේතුකොටගෙන යම් ඒ ධර්මයක් මෙනෙහි කෙරේ ද, එහෙයින් කියන ලද වෙයි. දෙවෙනි පදයෙහි ද මේ ක්‍රමයි මැයි. අනුප්පන්නාචෙව ආසවා උප්පජ්ජන්ති උප්පන්නාච ආසවා පවඩ්ඪති යනු යට කියන ලද ආසවයන්ගේම මේ අභේදයෙන් දැක්වීමකි.
මෙතෙකින් පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙන් පහ කළයුතු ආශ්‍රවයන් දක්වන්ට යම් මේ අශ්‍රැතවත් පෘථජ්ජනයෙක් කියන ලද්දේද? හෙතෙම යම්හෙයකින් අයොනිසො භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති යයි මෙසේ සාමාන්‍යයෙන් කියන ලද, නුවණින් මෙනෙහි නොකිරීම, ප්‍රත්‍යකොට ඇති, කාමාසවාදීන්ගේ අධිෂ්ඨානය වේද, එහෙයින් එම ආසවයන් ද ඒ පුද්ගලයා සමග දක්වා දැන් දස්සනා පහාතබ්බ ආසවයන් දක්වන සේක් සො එවං අයොනිසො මනසිකරොති අහොසි නුඛො අහං යනාදිය වදාළහ. නොහොත් විචිකිච්ඡා ශීර්ෂයෙන් මෙහි දිට්ඨි ආසවය ද දක්වනු පිණිස මේ දේශනාව පටන් ගත් සේක.