සංවරා පහාතබ්බ
මෙසේ දස්සනයෙන් පහාතබ්බ ආශ්රවයන් දක්වා දැන් එයින් අනතුරුව උද්දේස කළ සංවරයෙන් ප්රහීණ කළයුතු ආසවයන් දක්වන්ට කතමෙ ච භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා යි වදාළහ. මෙසේ සියලු තන්හි සම්බන්ධය දතයුතුය.
මින් මත්තෙහි අර්ථ මාත්රයක් පමණක් වර්ණනා කරන්නෙමු. දර්ශනයෙන්ය, භාවනායෙන් ය යන මේ දෙකින් ප්රහීණ නොකළ යුතු ආශ්රව කෙනෙක් නැත්තේ නොවේද, නැවත කුමක් හෙයින් වෙන්කොට සංවර ආදිය විසින් ප්රහීණ කළයුත්තක් දක්වත්ද යත්? සංවර ආදිය විසින් පූර්ව භාගයෙහි විෂ්කම්භනය කරන ලද ආශ්රවයෝ සිව්මගින් මුල් සිඳීමට යෙත්ද එහෙයින් ඒ මාර්ගයන්ට පූර්ව භාගයෙහි මේ පස් අයුරින් විෂ්කම්භන ප්රහානය දක්වන සේක මෙසේ වදාළහ. එහෙයින් යම් මේ කියන ලද ප්රථම මාර්ගයකුත් වේද, එය දර්ශන මාර්ගයමැයි. මෙවිට භාවනා නාමයෙන් තුන්මග කියනු ලබන්නාහුය. ඒ සියලු මාර්ගයන්ට මෝතොමෝ පූර්වභාග ප්රතිපදාව යයි දතයුතුයැ.
සංඛා ශබ්දය
එහි ඉධ යනු මේ ශාසනයෙහි පටිසංඛා යනු නුවණින් දැන, එහි මේ සංඛා ශබ්දය, ඤාණ කොට්ඨාස, පඤ්ඤත්ති, ගණන යන අර්ථයන්හි දක්නට ලැබේ. ඒ මෙසේය.
සංඛායෙකං පටිසේවති යනාදීන්හි ඤාණයෙහි වේ. පපඤ්ච සඤ්ඤා සංඛා සමුදාචරන්ති යනාදීන්හි කොට්ඨාස යන අර්ථයෙහි වේ. න සුකරං සංඛාතුං යනාදීන්හි ගණනෙහිය. මෙහි වනාහි ඤාණයෙහි දතයුතුය.
පටිසංඛායොනිසො යන මෙහි උපායෙන් මාර්ගයෙන් ඤාණයෙන් දැන, ප්රත්යවෙක්ෂා කොට යන අර්ථයි. මෙහිද අසංවරයෙහි ආදිනව දැනීම යොනිසො පටිසංඛා යයි දතයුතුයැ. මෙහි දැක්වෙන නුවණින් මෙනෙහි කිරීම වරං භික්ඛවෙ තත්තාය අයො සලාකාය ආදිත්තා සම්පජ්ජලිතාය සජොනිභූතාය චක්ඛුන්ද්රිය සම්පලිමට්ඨං නත්ථෙව චක්ඛු විඤ්ඤෙය්යෙසු රූපෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තගාහො යනාදි ආදිත්ත පරියාය නයින් දතයුතුය. චක්ඛුන්ද්රිය සංවර සංවුතො විහරති මෙහි චක්ඛුවම ඉන්ද්රිය වූයේ චක්ඛුන්ද්රිය නම් වේ. සංවරණය කරන හෙයින් සංවර නම් වේ. වසන හෙයින් අසුරන හෙයින් මෙසේ කියන ලද වෙයි. මෙය ‘සතියට’ නමකි. චක්ඛුඉන්ද්රිය සංවර වූයේ චකබුඉන්ද්රිය සංවර නම් වේ. තිත්ථකාක ආවාට කච්ඡප, වනමහිස යනාදීන් මෙනි.
නමුත් එහි කිසිවක් ඇත. චක්ඛුඉන්ද්රියයේ සංවරයක් හෝ අසංවරයක් හෝ නැත. චක්ඛුප්පසාද රූපය නිසා සිහියක් හෝ මුලා සිහිය හෝ නොම උපදියි. ඉදින් යම්විටක රූපාරම්මණයක් ඇස හමුවට පැමිණේද එවිට භවාංග සිත දෙවරක් ඉපිද නිරුද්ධ වූ කල්හි ක්රියා මනෝධාතුව ආවර්ජන කෘත්යය කරමින් ඉපිද නිරුද්ධ වෙයි. ඉක්බිති, චක්ඛුවිඤ්ඤාණය දර්ශන කෘත්යයද නැවත මනෝධාතුව සම්පටිච්ඡන කෘත්යද ඉක්බිති විපාක අහේතුක මනෝ විඤ්ඤාණධාතුව සන්තීරණ කෘත්යයද සිද්ධ කරමින් ඉපදී නිරුද්ධ වෙයි. ඊට අනතුරුව ජවනයෝ දික්වෙති.
ඔවුන් අතුරෙහි සංවරයක් හෝ අසංවරයක් හෝ භවාංග සමයෙහි නොමැත. ආවර්ජනාදීන් අතුරෙන් එක්තරා එකක් වන කල්හිද නැත. ජවන මොහොතෙහි ඉදින් දුස්සීල බව හෝ මුලා සිහිය හෝ අඥානය හෝ අක්ෂාන්තිය හෝ කුසීත බව හෝ උපදීද, එවිට අසංවරය වෙයි. මෙසේ ජවන මොහොතෙහි වන අසංවරය චක්ඛුන්ද්රියයෙහි අසංවරය යයි කියනු ලැබේ. කුමක් හෙයින් ද යත් යම්හෙයකින් එම අසංවරය ඇති කල්හි ද්වාරය අගුප්ත වේද, භවාංගයන් ආවර්ජන ආදි වීථි චිත්තයෝත් අගුප්ත වෙත් ද, එහෙයිනි.
කුමක් මෙන්ද යත්, යම්සේ නගරයෙහි දොරටු සතර වැසූ කල්හි කිසිසේත් ඇතුළත ගෙවල් නොවැසුවද සියලු බඩු සුරක්ෂිත සුගෝපිත වූවාහු වෙති. නගර ද්වාරයන් වැසූකල්හි සොරුන් ඇතුල්වීමක් නොමැති බැවිනි.
[missing trans] එපරිද්දෙන් ජවන් සිත්වල සීලාදිය උපන් කල්හි ද්වාරයද වසන ලද වෙයි. භවාගය ද ආවර්ජන ආදි වීථි චිත්තයෝ ද වසන ලද වෙති. එහෙයින් ජවන ක්ෂණයෙහි උපදින චක්ඛුඉන්ද්රිය සංවරයයි කියන ලදී. මෙහි ද සති සංවරය අදහස් කරන ලදැයි දතයුතුය. චක්ඛු ඉන්ද්රිය සංවරයෙන් සංවර වූයේ චක්ඛු ඉන්ද්රිය සංවර සංවුත නම් වේ. චක්ඛු ඉන්ද්රියාගේ සංවරයට පැමිණියේ යයි කියන ලද්දේ වෙයි. පාතිමොක්ඛ සංවර සංවුතො යන මේ පදයට විභංගයෙහි ඉමිනා පාතිමොක්ඛ සංවර සංවරෙන උපෙතො හොති -පෙ- සමන්නාගතො යයි වදාරණ ලදී. එය එක්තැන්කොට චක්ඛු ඉන්ද්රියයාගේ සංවරයෙන් සංවර වූයේ චක්ඛුන්ද්රිය සංවර සංවුත නමැයි මෙසේ අර්ථ දතයුතු වේ.
නැතහොත් සංවර කළේනුයි සංවුත නමි. වැසුනේ යයි ද ඇහුරුනේ යයි ද කියන ලද්දේ වෙයි. මෙහි දු මෙම අර්ථයම අතිශයින් සුන්දර වූයේ වෙයි. එය එසේමැයි. චක්ඛුඉන්ද්රිය සංවර අසංවුතස්ස විහරතො සංවුතස්ස විහරතො යන මේ පදයන්හි මේ අර්ථයම දක්නා ලැබේ.
විහරති යනු මෙසේ චක්ඛු ඉන්ද්රිය සංවරයෙන් සංවර වූයේ යම්කිසි ඉරියාපථ විහරණයකින් වාසය කෙරෙයි. යං භිස්ස යන ආදියෙහි යම් චක්ඛු ඉන්ද්රිය සංවරයෙන් අසංවර වූයේ, නොවසා නොපියා වාසය කරන්නා වූ ඒ මහණහට යයි මෙසේ අරුත් දතයුතු වේ. නැතහොත් යෙ කාරයට යං ආදේශයයි. හි කාරය පද පූරණ අර්ථයෙහිය. [යෙ අස්ස යම් ආශ්රවයෙක් තුමු වන්නීද, ඕහට යන අර්ථයි.]