පටිසෙවනා පහාතබ්බ
පටිසංඛායොනිසො චීවරං ආදි තන්හි යමක් කිවයුතු ද ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි සීලකථාවෙහි කියන ලද්දේ වෙයි. යං හිස්ස යනු යම් චීවරයක් හෝ පිණ්ඩපාතාදීන් අතුරෙන් එක් ප්‍රත්‍යයක් හෝ සේවනය කරන්නහුට අප්පටිසේවතො, මෙසේ නුවණින් සේවනය නොකරන්නහුට සෙස්ස කී අයුරුමැයි. හුදෙක් මෙහි නොලත් චීවර ආදිය ප්‍රාර්ථනා කරන්නහුටද ලත් චීවර ආශ්වාදනය කරන්නහුට ද කාමාසවයාගේ හටගැනීම දතයුතුයැ.
මෙබඳු අ්‍ය වූ (තමා ඇලුනු) භවයෙහි, සුගති භවයෙහි ලබන්නෙමැයි භව ප්‍රාර්ථනාවගේ ආස්වාද වශයෙන් භවාසවයාගේ ද, ඇතිවීම දතයුතුයි. මම ලබමියි කියා හෝ නොලබමියි කියා හෝ, මේ මගේ යයි කියා හෝ ආත්ම සංඥාව අත්නොහරින්නා වූ දිට්ඨි ආශ්‍රවයාගේ උපත දතයුතුයි. සියල්ලන් හා සමග සහජාත වූයේ අවිජ්ජා ආශ්‍රවයයි. මේ සතර ආශ්‍රවයන්ගේ උත්පත්ති විපාක පරිලාහයෝ ද නව වේදනෝත්පාදයෙන්ම දතයුත්තාහුය.
ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා යනු එක එක ප්‍රත්‍යයෙහි සතරක් කොට මේ සොළොස් ආශ්‍රවයෝ ඤාණසංවර නම් වූ ප්‍රත්‍යවේක්ෂා පටිසේවනයෙන් පහකළ යුත්තාහු යයි කියනු ලබති.
අධිවාසනා පහාතබ්බ
පටිසංඛා යොනිසො ඛමො හොති, සීතස්ස යන උපාය මාර්ගයෙන් ප්‍රත්‍යවේක්ෂා කොට සීත ඉවසයි. අවීර පුරුෂයෙකු (වීර ගතියක් නොමැති) මෙන් මද පමණ වූ ද සීතෙන් නොසැලෙයි. කම්පා නොවෙයි. කමටහන් මෙනෙහි කෙරෙයි.
ලෝමසනාග තෙරුන් වහන්සේ
ලෝමසනාග තෙරුන් වහන්සේ මෙන් අනල්ප වු සීතලෙන් පහස ලද්දේ නොසැලෙයි. කම්පා නොවෙයි. කමටහනම මෙනෙහි කරයි. තෙරුන් වහන්සේ වනාහි සෑගිරියෙහි පුවගු ගුහාවෙහි පධන් වීර්යය කරන්නේ අන්තරට්ඨකෙ හිමපාත සමයෙහි, (නවම් මැදින් දෙමස අතර අටදවස, හිමවැටෙන සමය) මේ කාලය තුළ ලෝකාන්තරික නරකයෙහි සීතල ප්‍රත්‍යවෙක්‍ෂා කොට කමටහන නොහරිමින්ම එළිමහනේ කල්යැවූ සේක. උෂ්ණ කාලය පිළිබඳවද අරුත් යෙදීම දතයුතුය.
යම් මහණ කෙනෙක් වැඩිතරම් වූත් උණුසුම ඉවසාද ඒ ලෝමස නාග තෙරුන් මෙන්ම මේ මහණ තෙමේද උණුසුම ඉවසන්නේ, යයි දතයුතුයැ. තෙරුන් වහන්සේ ග්‍රීෂ්ම කාලයෙහි එසේම පසුබත් කාලයෙහි, බාහිර සක්මනක කමටහන් කරමින් හුන්හ. උන්වහන්සේගේ දෙකිසිල්ලෙන් ඩහදිය මිදෙත්. එවිට උන්වහන්සේගේ අතවැසි තෙමේ මෙසේ කීය. ස්වාමීනි, මෙහි හුන මැනවි. මේ අවකාශය සිසිලය.
තෙරුන් වහන්සේ ඇවැත්නි, උණුසුම් බියෙන්ම මෙහි හුන්නේ නොවෙමි. අවීචිමහ නරකය ප්‍රත්‍යවෙක්‍ෂා කරමින් හුන්නාහු මිස උණ්හං යන මෙහිද වහ්නි සන්තාපයම දතයුතුය. සූර්ය සන්තාපයාගේ වශයෙන් මේ වස්තුව කියන ලදී.
යමෙක් දෙතුන්වාරයක් ආහාරපාන නොලබන්නේ ද නොදත් කෙළවර ඇති සසරෙහි තමාගේ තම ප්‍රේත විෂයෙහි උපත ප්‍රත්‍යවෙක්‍ෂා කොට කම්පා නොවී කමටහන අත්නොහරින්නේමය. අධික වැසි, මැසි මදුරු වාත අව් පහසින් පහස ලබන්නේ ද තමාගේ තිරිසන් යෝනියෙහි උපත් ප්‍රත්‍යවෙක්‍ෂා කොට කම්පා නොවී කර්මස්ථානය අත් නොහරින්නේමය. සර්ප ජාතින්ගේ පහස ලදුයේ ද නොදත් කෙළවර ඇති සසරෙහි සිංහ ව්‍යාඝ්‍රයන්ගේ මුඛයෙහි නොයෙක් වර පෙර වැටුනු විරූ බව ප්‍රත්‍යවෙක්‍ෂා කොට නොවෙව්ලමින් කමටහන නොහරනේම වේද, පධානිය තෙරුන් මෙන් මේ මහණ තෙම බඩසාදුක -පෙ- සර්ප ජාතීන්ගේ ස්පර්ශය යන මේවා ඉවසන්නේ මේයයි දතයුතුයැ..
පධානිය තෙරුන් වහන්සේ
ඛණ්ඩසේල වෙහෙරෙහි කණිකාර ප්‍රධාන ඝරයෙහි අරියවංස සූත්‍රය ශ්‍රවණය කරන්නා වූ තෙරුන්ව ඝෝර විෂ ඇති සර්පයෙක් දෂ්ට කළේය. තෙරුන් වහන්සේ එය දැනද පහන් සිත් ඇතිව ධර්මයම අසති. තෙරුන් වහන්සේ උපසම්පදා මණ්ඩලය ආදිකොට (උපසම්පදා අවස්ථාවේ සිට සීලය ප්‍රත්‍යවෙක්‍ෂා කොට පිරිසිදු සිල් ඇත්තෙක් වෙම් යයි, ප්‍රීතිය ඉපද වූහ. ප්‍රීතිය ඉපදීම සමගම විෂ නැවතී පෘථුවියට පිවිසියේය. තෙරුන් වහන්සේ එහිදීම සිතෙහි එකඟ බව ලැබ විදසුන් වඩා රහත් බවට පැමිණි සේක.
යමෙක් ආක්‍රෝශ වශයෙන් නපුරුකොට කියන ලද බැවින්ම නපුරු බවට පැමිණියා වූ අන්තිම වස්තුවෙන් කරනු ලබන චෝදනාත් අසා ක්‍ෂාන්ති ගුණයම ප්‍රත්‍යවෙක්‍ෂා කොට කම්පා නොවේ ද දීඝභාණක අභය තෙරුන් මෙන් මේ තෙමේ නපුරුකොට කියන ලද්දා වූ, එහෙයින්ම නපුරු බවට පැමිණියා වූ වචනයන් ඉවසන්නේ වේයයි දතයුතුයැ.
දීඝභාණක අභයතෙරුන් වහන්සේ
මෙම තෙරුන්වහන්සේ වූ කලී ප්‍රත්‍ය සන්තෝෂයෙහි ද භාවනාවෙහි ද ඇලුණු බැවින් මහා අරියවංස ප්‍රතිපදාව වදාළහ. මාගම සියලු ජනතෙම පැමිණියේය. තෙරුන් වහන්සේට මහත් සත්කාර උපනි. එක්තරා මහතෙර කෙනෙක් මෙය ඉවසන්ට නොහැකිව දීඝභාණක තෙමේ අරියවංසය කියන්නේමැයි මුළු රාත්‍රියෙහිම කෝළාහල කෙරෙයි යනාදීන් ආක්‍රෝෂ කළේය. නැවත දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාරවලට යන්නාහු ගව්වක් පමණ එක මගින්ම ගියාහුය. මුළු ගව්ව තුළම හෙතෙම දීඝභාණක තෙරුන්ට ආක්‍රෝෂ කළේමය. යම් තැනකදී විහාර ද්වාරයට යන්නා වූ මාර්ගය බෙදේ ද එහි සිට දීඝභාණ ස්ථවිරයන් වහන්සේ ඒ මහලු තෙරුන් වැඳ මේ ඔබගේ මාර්ගයයි කීහ. හෙතෙම නොඇසුණාක් මෙන් ගියේය. තෙරුන් වහන්සේ ද විහාරයට ගොස් පා සෝදා වැඩ හුන්හ. එසේ වැඩහුන් තෙරුන් වහන්සේට අතවැසිතෙම කිම ස්වාමීනි, මුළු ගව්වක් තැන් පරිභව කරන්නහුට කිසිවක් නොකීවාහුද? තෙරුන් වහන්සේ, ඇවැත්නි ඉවසීම මට බරෙක් නොවේ. එක් පියවරෙක්හිදු කමටහනින් වෙන් වීමක් නොදකිමියි කීහ. මෙහි වචනයම වචනපථය යයි දතයුතු ය.