ඒ නාමරූපයට මේ කරුණුයැ. මේ ප්‍රත්‍යයැයි, අවිජ්ජා-භවතණ්හා කම්ම-ආහාර ආදි වූ හේතු ප්‍රත්‍යය ව්‍යවස්ථා කෙරෙයි. අනතුරුව ඒ ප්‍රත්‍යයන්ගේද ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයන්ගේද තමාගේද අවිපරීත වූ තමාගේ ස්වභාව ලක්‍ෂණය පිරිසිඳ දැන, මේ ධර්මයෝ පෙර නොවී, වර්තමානයෙහි වෙත්යයි අනිත්‍ය ලක්‍ෂණයට ආරෝපණය කෙරෙයි. ඉපදීම, නැසීම දෙකින් පීඩිත වූ හෙයින් දුක්ඛයයි දුක්ඛ ලක්‍ෂණයට ආරෝපනය කෙරේ. තමාගේ වශයෙහි නොපවත්නා හෙයින් අනාත්ම යයි අනාත්ම ලක්‍ෂණයට ආරෝපනය කරයි. මෙසේ ත්‍රිලක්‍ෂණයන්ට ආරෝපනය කොට පිළිවෙලින් විදර්ශනා වඩන්නේ සෝවාන් මගට පැමිණෙයි.
එකෙණෙහිම චතුරාර්ය සත්‍යයන් එක ප්‍රතිවේධයෙන්ම ප්‍රතිවේධ කෙරෙයි. එක අභිසමයෙන්ම අභිසමය (අවබෝධ) කෙරෙයි. දුක්ඛ සත්‍යය පරිඤ්ඤාත ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. සමුදය සත්‍යය ප්‍රහාණ ප්‍රතිවේධයෙන්ද, නිරෝධ සත්‍යය සාක්ෂාත් ක්‍රියා ප්‍රතිවේධයෙන් ද, මාර්ග සත්‍යය භාවනා ප්‍රතිවේධයෙන් ද ප්‍රතිවේධ කරයි.
නැවත දුක්ඛ සත්‍යය පරිඥා අභිසමයෙන් අභිසමය කෙරෙයි. -පෙ- මාර්ග සත්‍යය භාවනා අභිසමයෙන් අභිසමය කෙරෙයි. එතකුදු වුවත් අන්‍යොන්‍ය ඥානයෙන් අභිසමය නොකෙරෙයි. මෙය එක ඥානයෙන්ම නිරෝධය ආරම්මණ වශයෙන් ද සෙසු සත්‍යයන් කෘත්‍ය වශයෙන් ද ප්‍රතිවෙධ කෙරෙයි. අභිසමය කෙරෙයි. ඔහුට එසමයෙහි මෙබඳු හිතක් නොවේමැයි. මම දුක්ඛ සත්‍යය දනිමියි කියා හෝ -පෙ- මාර්ග සත්‍යය වඩමියි කියා හෝයි. නමුත් එක් කරුණක් ඇත. අරමුණුකොට ප්‍රතිවේධ වශයෙන් නිර්වාණ පසක් කරන්නා වූ ම ඔහුට ඒ ප්‍රතිවේධ ඤාණය, දුක්ඛයාගේ පරිඤ්ඤාණ කෘත්‍යය ද සමුදයාගේ ප්‍රහාණ කෘත්‍යය ද මාර්ගයාගේ භාවනා කෘත්‍ය ද කෙරේමැයි. මෙසේ උපායයෙන් නුවණින් මෙනෙහි කරන්නා වූ ඔහුගේ විංසති වස්තුක සක්කාය දිට්ඨියද, අට්ඨාදස වස්තුක විචිකිච්ඡාවද, සීලයෙන් ශුද්ධිය වේයයි ව්‍රතයෙන් ශුද්ධිය වේයයි සීල ව්‍රතයන් පරාමර්ශනය කරන්නා වූ සීලබ්බත පරාමාසය ද යන සංයෝජන තුන ප්‍රහීණ වෙත්යයි කිවයුතුයි.
එහි සතර ආශ්‍රවයන් අතුරෙන්, සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාසයෙන් දිට්ඨි ආශ්‍රවයෙහි සංග්‍රහ කළ හෙයින් ආශ්‍රවයෝ සංයෝජනයෝද වෙති. විචිකිච්ඡාව සංයෝජනම වේ. ආසව නොවෙයි. නැවත, දස්සනා පහාතබ්බ ආසවා යන මෙහි ඇතුළත් බැවින් ආසව වෙත් යයි ද කිවයුතු වේ.
ඉමෙ වුච්චති දස්සනා පහාතබ්බා යනුවෙන් සක්කාය දිට්ඨි ආදිහු දස්සනා පහාතබ්බ ආසවයෝ වෙත්යයි දක්වමින් වදාළහ. නැතහොත් ඡන්නං දිට්ඨිනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජන්ති මෙසේ ස්වරූපයෙන්ම සක්කාය දිට්ඨිය විභාග කරන ලද්දේ ද, ඒ සඳහා වදාළහ. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ යනුවෙන්, එයද යම්හෙයකින් සහජාත ප්‍රහාණ කාර්යයන් සමග ප්‍රහීණ වන්නී ද දිට්ඨි ආසව ප්‍රහීණ වන කල්හි ඊට සහජාත වූ හෝ සතර දිට්ඨි සම්පයුක්ත චිත්තයන්හි කාමාසවයද, අවිජ්ජාසවයද ප්‍රහීණ වේද, පහාණ ඒකාර්ථ වූ සතර චිත්තවිප්පයුත්ත චිත්තයන්හි නාග සුපර්නාදි සමෘද්ධිය ප්‍රාර්ථනා කිරිම් වශයෙන් උපදනා වූ භවාසවයද ඒ හාම සම්ප්‍රයුක්ත වූ අවිජ්ජාසවයද, දොම්නස් දෙසිත්හි පාණාතිපාතය ඇතිකරවන්නා වූ අවිජ්ජාසවයදැයි මෙසේ සර්වප්‍රකාරයෙන්ම අවශේෂ ආශ්‍රව තුනම ප්‍රහීණ වෙත්ද, එහෙයින් බහුවචන නිර්දේශය කරන ලදැයි මෙසේද මෙහි අර්ථය දතයුතු. පොරාණයන්ගේ අදහසකි මෙය.
දස්සනා පහාතබ්බා යන මෙහි දස්සන නම් සෝතාපත්ති මාර්ගයයි. එමගින් පහකළයුතු යන අර්ථයි. කුමක් හෙයින් සෝවාන්මග දස්සන නම් වේද යත්, පළමුකොට නිවන් දක්නා හෙයිනි. ගෝත්‍රභූ සිත පළමුකොට නිවන් දකින්නේ නොවේද, නොදකින්නේ නොවෙයි. දැක කළයුතු කිස නොකරයි. සංයෝජන ප්‍රහීණ නොවූ හෙයිනි. එහෙයින් පස්සති යයි නොකිය යුතුයි. යම්කිසි තැනක රජු දැකද පඬුරු දී කාර්ය සිද්ධිය නොවූ හෙයින් අදත් රජු නොදක්මියි කියන ගම්වැසි පුරුෂතෙම මෙහි නිදසුන් වෙයි.