චිත්තානුපස්සනා වර්ණනාව
මෙසේ නම ආකාරයකින් වෙදනානුපස්සනා සතිපට්ඨානය වදාරා, දැන් සොලොස් අයුරකින් චිත්තානු පස්සනාව වදාරණු වස් කතඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ. එහි සරාගං අටවැදෑරුම් ලෝභ සහගත වූ, වීතරාගං ලෞකික කුසල අව්‍යාකෘත, මේ චිත්තානු පස්සනා සතිපට්ඨානය වනාහි යම්හෙයකින් ධර්ම සම්මර්ශනය වේද, ධර්ම සමොධානය නොවේ ද, එහෙයින් මෙහි එක් පදයෙක්හිදු ලෝකෝත්තර චිත්තය නොලැබෙයි. (ලෝභ මූල 8 හැර) සෙසු අකුසල චිත්තයෝ සතරදෙන පූර්ව පදයද නොම භජනය නොකරති. පශ්චිම පදය ද භාජනය නොකෙරෙත්. (මේ ගණයට වැටෙන්නේ කාමාවචර අකුසල් සිත් 4 සහ කාමාවචර කුසල-විපාක ක්‍රියා සිත්ය.
සමොහං විචිකිච්ඡා සහගත වූ ද, උද්ධච්ච සහගත වූ ද දෙවැදෑරුම් මෝහයයි. මෙහි වනාහි යම් හෙයකින් සියලු අකුසලයන්හි, උපදීද, එහෙයින් සියලු අකුසලයෝ ද, මෙහිලා ගැනීම වටිත්. දුකෙහිම ද්වාදස අකුසල චිත්තයෝ ගන්නා ලද්දාහු ද එහෙයිනි. (විචිකිච්ඡාව සහ උද්ධච්චය මෙයට අයත් වේ. විචිකිච්ඡාව සැකයයි. උද්ධච්චය සිතෙහි කැලඹුන ස්වභාවයයි.)
වීතමොහං ලෞකික කුසල අව්‍යාකෘත (සිත්) සංඛිත්තං ථින මිද්ධයට වැටුන මෙය වනාහි හැකුළුනා වූ සිතකි. (අරමුණු මෙනෙහි කිරීමට නොකැමති හැකිලී සිටින සිතයි.) වික්ඛිත්තං උද්ධච්ච සහගත වූ, මෙය විසුරුණු සිතට නමකි. (අරමුණු කෙරෙහි විසිර පවත්නා වූ සිත)
මහග්ගතං, රූපාවචර අරූපාවචර වූ (සිත්) අමහග්ගතං, කාමාවචර වූ සිත්, සඋත්තරං, කාමාවචර වූ (උත්තර වූ ශ්‍රේෂ්ඨ ගණයේ සිත්වලට අඩු තත්ත්වයේ සිත් එනම් කාමාවචර සිත්) අනුත්තරං, රූපාවචර හා අරූපාවචර වූ, එහිද සඋත්තර චිත්තය රූපාවචරය, අනුත්තර චිත්තය අරූපාවචරම වේ. සමාහිතං, යමෙකුට අර්පණා සමාධිය හෝ උපචාර සමාධිය ඇත්තේ, (අර්පණා සමාධියෙන් හෝ උපචාර සමාධියෙන් එකඟ නොවූ සිත) අසමාහිතං අර්පණා-උපචාර, සමාධි රහිත වූ (සිත) විමුත්තං තදංග හෝ විෂ්කම්භන ප්‍රහාණ්‍ය මගින් මිදුන සිත. අවිමුත්තං තදංග, විෂ්කම්භන උභය විමුක්තියෙන් නොමිදුනු, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි නිස්සරණ විමුක්තීන්ට චිත්තානු පස්සනාවෙන් අවකාශයක් නැත.
ඉති අජ්ඣත්තං වා යනුවෙන් සරාගාදී චිත්තයන් පිරිසිඳ ගැනීමෙන් යම් යම් ඇසිල්ලක් යම් යම් සිතක් පවතී ද, ඒ ඒ සිත සලකමින් තමාගේ සිතෙහි හෝ අනිකෙකුගේ සිතෙහි හෝ චිත්තානුපස්සීව වෙසෙයි. සමුදය ධම්මානු පස්සී යන මෙහි අවිජ්ජා සමුදයා විඤ්ඤාණ සමුදයො යනුවෙන් මෙසේ පස් පස් ආකාරයෙන් විඤ්ඤාණයාගේ සමුදයද ව්‍යයද එලවා දැක්විය යුතුයි. මෙයින් මත්තෙහිදු කී නයමැයි.
හුදෙක් මෙහි චිත්ත පරිග්ගාහික සතිය දුක්ඛ සත්‍යයැ. මෙසේ යෙදීම කොට චිත්ත පරිග්ගාහක භික්‍ෂුවගේ රහඵලය තෙක් නිවන්දොර දතයුතු. සෙස්ස පළමු කියන ලද්දට සමානමැයි.
චිත්තානු පස්සනාව නිමි.
ධම්මානුපස්සනා නීවරණ පබ්බ වර්ණනාව
මෙසේ සොලොස් ආකාරයකින් චිත්තානු පස්සනා සතිපට්ඨානය වදාරා දැන් පස් අයුරකින් ධම්මානු පස්සනාව දේශනා කරනු පිණිස කථඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ. යලිදු භාග්‍යවතුන් වහන්සේ විසින් කායානුපස්සනාවෙහි ශුද්ධ රූප පරිග්‍රහය වදාරණ ලද්දේය. වෙදනානු පස්සනා චිත්තානු පස්සනාවන් හි ශුද්ධ අරූප පරිග්‍රහය වදාරණ ලදී. දැන් රූපාරූප මිශ්‍ර පරිග්‍රහය වදාරණු පිණිස කථඤ්ච භික්ඛවෙ, යනාදිය වදාළහ. නැතහොත් කායානුපස්සනාවෙහි රූපස්කන්ධ පරිග්‍රහය වදාරණ ලදී. වෙදනානුපස්සනාවෙහි විඥාන ස්කන්ධ පරිග්‍රහයට වදාරණ ලදී. දැන් සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධයන්ගේ පරිග්‍රහයද වදාරනු පිණිස කථඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ.
එහි සන්තං සතතයෙන් සිත්හි, හැසිරීම් වශයෙන් විද්‍යමාන වූ අසන්තං සිත්හි හැසිරීම් වශයෙන් හෝ ප්‍රහීණ වු බැවින් හෝ අවිද්‍යමාන වූ යථාච යම් කරුණකින් කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, තඤ්ච පජානාති, ඒ කරුණද දැනගනී. මේ ආකාරයෙන් සියලු පදයන්ගේ අරුත් දතයුතුයැ.
ඒ නීවරණයන් අතුරෙහි ශුභ නිමිත්තෙහි අයෝනිසෝ මනසිකාරය හේතුකොටගෙන කාම ඡන්‍දයාගේ ඉපදීම සිදුවෙයි. ශුභ නිමිත්ත නම් ශුභයද, ශුභ නිමිත්ත ශුභාරම්මණයද ශුභ නිමිත්ත නම් වේ. අයොනිසො මනසිකාරය නම්, අනුපාය මනසිකාරය, උත්පථ මනසිකාරය, (කුසල් දහම් පැවැත්මට මග නොවූ මෙනෙහි කිරීම) අනිත්‍යයෙහි නිත්‍යයයි ද දුකෙහි සැපයයි ද අනාත්මයෙහි ආත්මයයි ද අශුභයෙහි ශුභයයි ද මෙනෙහි කිරීමයි. ඒ නුනුවණින් මෙනෙහි කිරීම ඒ ශුභාරම්මණයෙහි බහුලව ජීවත් වන්නහුට කාමච්ඡන්‍දය උපදී. එබැවින් වදාළහ භාග්‍යවත් බුදුරදහු, අත්‍ථි භික්ඛවෙ, සුභ නිමිත්තං තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්‍දස්ස උප්පාදාය උප්පන්නස්ස වා) කාමච්ඡන්‍දස්ස භිය්‍යො භාවාය වෙපුල්ලාය යනුයි.