ධම්මානුපස්සනා නීවරණ පබ්බ වර්ණනාව
මෙසේ සොලොස් ආකාරයකින් චිත්තානු පස්සනා සතිපට්ඨානය වදාරා දැන් පස් අයුරකින් ධම්මානු පස්සනාව දේශනා කරනු පිණිස කථඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ. යලිදු භාග්‍යවතුන් වහන්සේ විසින් කායානුපස්සනාවෙහි ශුද්ධ රූප පරිග්‍රහය වදාරණ ලද්දේය. වෙදනානු පස්සනා චිත්තානු පස්සනාවන් හි ශුද්ධ අරූප පරිග්‍රහය වදාරණ ලදී. දැන් රූපාරූප මිශ්‍ර පරිග්‍රහය වදාරණු පිණිස කථඤ්ච භික්ඛවෙ, යනාදිය වදාළහ. නැතහොත් කායානුපස්සනාවෙහි රූපස්කන්ධ පරිග්‍රහය වදාරණ ලදී. වෙදනානුපස්සනාවෙහි විඥාන ස්කන්ධ පරිග්‍රහයට වදාරණ ලදී. දැන් සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධයන්ගේ පරිග්‍රහයද වදාරනු පිණිස කථඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ.
එහි සන්තං සතතයෙන් සිත්හි, හැසිරීම් වශයෙන් විද්‍යමාන වූ අසන්තං සිත්හි හැසිරීම් වශයෙන් හෝ ප්‍රහීණ වු බැවින් හෝ අවිද්‍යමාන වූ යථාච යම් කරුණකින් කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, තඤ්ච පජානාති, ඒ කරුණද දැනගනී. මේ ආකාරයෙන් සියලු පදයන්ගේ අරුත් දතයුතුයැ.
ඒ නීවරණයන් අතුරෙහි ශුභ නිමිත්තෙහි අයෝනිසෝ මනසිකාරය හේතුකොටගෙන කාම ඡන්‍දයාගේ ඉපදීම සිදුවෙයි. ශුභ නිමිත්ත නම් ශුභයද, ශුභ නිමිත්ත ශුභාරම්මණයද ශුභ නිමිත්ත නම් වේ. අයොනිසො මනසිකාරය නම්, අනුපාය මනසිකාරය, උත්පථ මනසිකාරය, (කුසල් දහම් පැවැත්මට මග නොවූ මෙනෙහි කිරීම) අනිත්‍යයෙහි නිත්‍යයයි ද දුකෙහි සැපයයි ද අනාත්මයෙහි ආත්මයයි ද අශුභයෙහි ශුභයයි ද මෙනෙහි කිරීමයි. ඒ නුනුවණින් මෙනෙහි කිරීම ඒ ශුභාරම්මණයෙහි බහුලව ජීවත් වන්නහුට කාමච්ඡන්‍දය උපදී. එබැවින් වදාළහ භාග්‍යවත් බුදුරදහු, අත්‍ථි භික්ඛවෙ, සුභ නිමිත්තං තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්‍දස්ස උප්පාදාය උප්පන්නස්ස වා) කාමච්ඡන්‍දස්ස භිය්‍යො භාවාය වෙපුල්ලාය යනුයි.
නැවත අශුභ නිමිත්තෙහි නුවණින් මෙනෙහි කිරීම හේතුකොට ගෙන කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය වෙයි. අශුභ නිමිත්ත නම් අශුභය ද, අශුභ ආරම්මණයද වේ. යෝනිසො මනසිකාරය නම් උපාය මනසිකාරයයි පථ මනසිකාරයයි. අනිත්‍යයෙහි අනිත්‍ය යයිද, දුකෙහි දුකයයිද අනාත්මයෙහි අනාත්ම යයි ද, අශුභයෙහි අශුභ යයි ද මෙනෙහි කිරීමයි. අනාත්ම යයි ද, අශුභයෙහි අශුභ යයි ද මෙනෙහි කිරීමයි. ඒ යොනිසො මනසිකාරය එම අශුභ අරමුණෙහි බහුලකොට පවත්වන්නහුට කාමච්ඡනය ප්‍රහීණ වෙයි. එයින් වදාළහ. භාග්‍යවත් බුදුරදහුද,
අත්‍ථි භික්ඛවෙ අසුභ නිමිත්තං තත්‍ථ යොනිසො මනසිකාර බහුලො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්‍දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්‍දස්ස පහානාය යයි
තව ද ධර්මයෝ සයදෙනෙක් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය පිණිස පවතිත්. අශුභාරම්මණය ඉගෙනීම, අශුභ භාවනාවෙහි යෙදීමය, සවැදෑරුම් ඉඳුරන්හි වැසූ දොර ඇති බවය. භෝජනයෙහි පමණ දන්නා බවය. කල්‍යාණ මිත්‍රයන් ඇති බවය. සත්ප්‍රාය කථා, යන මොහුයි. එසේම දශවැදෑරුම් අශුභ නිමිත්ත ඉගෙන ගන්නහුට ද, ඉන්‍ද්‍රියයන්හි වසන ලද චක්ඛු ආදි සදොර ඇත්තහුට ද, සතර පස් පිඩකඩ අවකාශ ඇති කල්හි පැන් බී යැපෙන සුලු බැවින් භෝජනයෙහි පමණ දන්නහුට ද (කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි.) එසේ හෙයින් මෙසේ වදාරණ ලදි.
චත්තාරො පඤ්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො යනුයි.
(සතර පස් ආලෝපයක් නොවළඳා පැන් පානය කරන්නේ නම්, නිවනට මෙහෙයවන ලද සිත් ඇති භික්‍ෂුවගේ පහසු විහරණය පිණිස ප්‍රමාණවත් වෙයි.)
අශුභ කම්මික තිස්ස තෙරුන් වැනි වූ අශුභ භාවනාවෙහි ඇලුනු කල්‍යාණ මිත්‍රයන් සේවය කරන්නා හට කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි. හිඳීම් සිටීම් ආදියෙහි දශ අශුභ නිශ්‍රිත වූ සැපවත් කථාවෙන් ද ප්‍රහීණ වෙයි. එහෙයින් මෙය කියන ලදී. ‘ධර්මයෝ සයදෙනෙක් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය පිණිස පවතිත් යයි මේ ධර්ම සදෙන හේතුකොට ගෙන රහත් මගින් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මත්තෙහි නො ඉපදීම වේයයි දැනගනී.
නැවත පටිඝ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීම හේතුකොට ගෙන ව්‍යාපාදයාගේ හටගැනීම වෙයි. එහි ප්‍රතිඝය ප්‍රතිඝ නිමිත්ත, ප්‍රතිඝාරම්මණය ප්‍රතිඝ නිමිත්ත, අයෝනිසො මනසිකාරය යන මේ සියලු තන්හිම සමාන ලක්‍ෂණ ඇත්තේය. ඒ අයෝනිසො මනසිකාරයෙහි පටිඝ නිමිත්තෙහි බහුල වශයෙන් පවත්නහුට ව්‍යාපාදය උපදී. එහෙයින් වදාළහ. අත්‍ථි භික්ඛවෙ, පටිඝ නිමිත්තං තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා බ්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්ස වා බ්‍යාපාදස්ස භිය්‍යොභාවාය වෙඵුල්ලාය යනුයි.
මෙත්තා චෙතො විමුත්තිය, නුවණින් මෙනෙහි කරන්නහුගේ ඒ ව්‍යාපාදය ප්‍රහීණ වෙයි. එහි මෙත්තං යයි කී කල්හි අර්පණා සමාධියද උපචාර සමාධියද වටී. චෙතො විමුත්තිය නම් අර්පණා සමාධියමයි. යොනිසො මනසිකාරයෙහි කී ලක්‍ෂණ ඇත්තේමැයි. ඒ යෝනිසෝ මනසිකාරය ඒ මෙත්තා චෙතො විමුත්තිය බහුල වශයෙන් පවත්වන්නහුගේ ව්‍යපාදය ප්‍රහීණ වෙයි. එබැවින් වදාළහ, අත්‍ථි භික්ඛවෙ, මෙත්තා චෙතො විමුත්ති තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරෙ අයමාහාරො අනුප්පන්නස්ස, වා බ්‍යාපාදස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා ඛ්‍යාපාදස්ස පහාතාය යනුවෙන්,