ඛන්‍ධ පබ්බ වර්ණනාව
මේ ආකාරයෙන් පඤ්ච නීවරණයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව විභාගකොට දක්වා දැන් පඤ්චක්ඛන්‍ධයන්ගේ වශයෙන් විභාග කරනු පිණිස ‘පුන චපරං’ යනාදිය වදාළහ. පඤ්චසුපාදානක්ඛන්‍ධෙසු යනුවෙන් උපාදානයාගේ ඛන්‍ධයෝ උපාදානක්ඛන්‍ධ නම් වෙති. උපාදානයට ප්‍රත්‍ය ව ධර්ම ගොඩ. ධර්ම රාශිය යන අර්ථයි. මෙය මෙහි සැකෙවිනි. ඛන්‍ධයන්ගේ විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දීය. ඉති රූපං මේ රූපය වේ. මෙතෙක් රූපය වේ. මෙයින් මත්තෙහි රූපයක් නැතැයි, ස්වභාව වශයෙන් රූපය දැනගනී. වේදනා ආදියෙහි දු මේ ක්‍රමයමැයි. මෙය මෙහි සැකෙවිනි. විස්තර වශයෙන් රූපාදීහු විසුද්ධි මාර්ගයෙහි ඛන්‍ධ කථාවෙහිම කියන ලද්දාහුය. ඉතිරූපස්ස සමුදයො මෙසේ අවිද්‍යා සමුදයාදීන්ගේ වශයෙන් පස් ආකාරයකින් රූපයාගේ සමුදය වෙයි. ඉති රූපස්ස අත්‍ථංගමො යනුවෙන් මෙසේ අවිද්‍යා නිරෝධාදීන්ගේ වශයෙන් පස් ආකාරයකින් රූපයාගේ අත්‍ථංගමය වෙයි. වේදනාදියෙහිදු මෙම ක්‍රමයමයි. මේ මෙහි කෙටි විස්තරයයි. විස්තර වනාහි විසුද්ධි මාර්ගයෙහි උදයව්‍යය ඥාන කථාවෙහි, කියන ලද්දේය.
ඉති අජ්ඣත්තං වා මෙසේ පඤ්චක්ඛන්‍ධ පරිග්ගහයෙන් තමාගේ ඛන්‍ධ ධර්මයන්හි හෝ අනිකෙකුගේ ඛන්‍ධ ධර්මයන්හි හෝ කලෙක තමාගේ හෝ කලෙක මෙරමාගේ හෝ ඛන්‍ධ ධර්මයන්හි ධම්මානුපස්සීව වාසය කරයි. මේ පඤ්චක්ඛන්‍ධයාගේ සමුද-වය වනාහි අවිජ්ජා සමුදයා රූප සමුදයො යනාදී වූ පඤ්චක්ඛන්‍ධයන්හි කියන ලද පනස් ලක්‍ෂණයන්ගේ වශයෙන් දැක්විය යුත්තාහුය. මෙයින් මත්තෙහිදු කී නයමැයි.
හුදෙක් මෙම ඛන්‍ධයන් පිරිසිඳ දැනගන්නා වූ ‘සතිය’ දුක්ඛ සත්‍යයයි. මෙසේ යෝජනාකොට ඛන්‍ධ පරිග්ගාහක භික්‍ෂුවගේ නිවන්මග දතයුතුයැ. සෙස්ස එබඳුමයි.
ඛන්‍ධ පබ්බය නිමි.
ආයතන පබ්බ වර්ණනාව
මෙසේ පඤ්චක්ඛන්‍ධයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව විභාගකොට දැන් ආයතන වශයෙන් විභාග කරනු පිණිස පුන චපරං යනාදිය වදාළහ. එහි ඡසු අජ්ඣත්තික බාහිරෙසු ආයතනෙසු යනුවෙන් චක්ඛු - සොත - ඝාන - ජීව්හා - කාය - මන යන අජ්ඣත්තික ආයතන සයෙහි ද රූප සද්ද - ගන්‍ධ - රස යන බාහිර ආයතන සයෙහි ද චක්ඛුඤ්ච පජානාති යනු චක්ඛුප්පසාද රූපය වෙනස් නොවූ ස්වකීය ස්වභාව ලක්‍ෂණ වශයෙන් දැනගනී. රූපෙච පජානාති යනුවෙන්, බාහිර වූ චතුසමුට්ඨාන රූපයන් ද, අවිපරීත වූ තමාගේ ස්වභාව ලක්‍ෂණ වශයෙන් දැනගනී. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං යනුවෙන් ඇස හා රූපයන් ද යන මේ දෙක නිසා කාමරාග සංයෝජනය ද. පටිඝ - මාන - දිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස - භවරාග - ඉස්සා - මචඡරිය - අවිජ්ජා යන සංයෝජනයෝ දැයි දසවිධ සංයෝජනයෝ උපදිති. ඒවා අවිපරීත වූ ස්වකීය ස්වභාව ලක්‍ෂණයෙන් දැනගනී.
මේ දස සංයෝජනය කෙසේ උපදීද යත්, පිළිවෙලින් කියනු ලැබේ. ඇස් දොරට පැමිණි ඉටු අරමුණ කාම අස්සාස වශයෙන් විඳින්නහුට සතුටු වන්නට කාමරාග සංයෝජනය උපදී. අනිටු අරමුණෙහි කිපෙන්නහුට පටිඝ සංයෝජනය උපදී. මා තබා අන් කවරෙක් මෙම අරමුණ නුවණින් සලකන්ට සමර්ථ වූයේ ඇත්දැයි සිතන්නහුට මාන සංයෝජනය උපදී. මෙපරිද්දෙන් රූප අරමුණ නිත්‍ය, ස්ථිර වශයෙන් සලකන්නහුට දිටඨි සංයෝජනය උපදී. මෙපරිද්දෙන් රූපාරම්මණය සත්ත්වයෙක් දෝ හෝ සත්ත්වයාගේ දෝ හෝයි සැප උපදවන්නහුට විචිකිච්ඡා සංයෝජනය උපදී. සම්පත්ති භවයෙහි අපට ඒකාන්තයෙන් මෙම රූපාරම්මණය සුලභ වූයේ වනැයි භවය ප්‍රාර්ථනා කරන්නහුට භවරාග සංයෝජනය උපදී. මත්තෙහි දු රූපාරම්මණයක් ශීලව්‍රත සමාදන්ව ලැබිය හැක්කේ යයි ශීලව්‍රත සමාදන් වන්නහුට සීලබබත පරාමාස සංයෝජනය උපදී. මෙම රූප අරමුණ අන්‍යයෝ නොලබන්නාහු නම් ඉතා යෙහෙකැයි ඊර්ෂ්‍යා කරන්නහුට ඉස්සා නම් සංයෝජනය උපදී. තමා ලත් රූපාරම්මණය අනිකෙකුට ලැබීම ගැන මසුරුකම් මච්ඡරිය සංයෝජනය උපදී. සියල්ලන් සමග සහජාත වූ අඤ්ඤාණයාගේ වශයෙන් අවිජ්ජා සංයෝජනය උපදී.
යථාච අනුප්පන්නස්ස යම් කරුණකින් අසමුදාචාර (නොහැසිරීම්) වශයෙන් නූපන්නා වූ ඒ දසවිධ වූ සංයෝජනයාගේ ඉපදීම වෙයි. එම කරුණද දනී. යථාව උප්පන්නස්ස, ප්‍රහීණ නොවූ කරුණින් සමුදාචාර (හැසිරීම්) වශයෙන් හෝ උපන්නා වූ ඒ දසවිධ වූම සංයෝජනයාගේ යම් කරුණකින් ප්‍රහාණය වේද, එයද දැනගනී. යථාච පහීනස්ස, තදංග විකම්භණ ප්‍රහාණයගේ වශයෙන් ප්‍රහීණ වූ ද, ඒ දසවිධ සංයෝජනයාගේ යම් කරුණකින් මත්තෙහි නො ඉපදීම වේද, එම කරුණත් දැන ගනී. කවර කරුණකින් ඒ දශ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපදීම වේද යත්, පළමුකොට දිටඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස ඉස්සා මච්ඡරිය ප්‍රභේද වූ පංචවිධ සංයෝජනයාගේ සෝවාන් මගින් මත්තෙහි නොඉපදීම වෙයි. කාමරාග පටිඝ සංයෝජන දෙදෙනාගේ ඕලාරික බව (තද ගතිය) සකෘදාගාමි මගින් (ප්‍රහීණ වෙයි) අණු සහගත වූ (මුල් සහිත) එම සංයෝජන දෙදෙන අනාගාමී මාර්ගයෙන් (ප‍්‍රහීණ වෙයි) මාන, භවරාග, අවිජ්ජා සංයෝජන තුන රහත් මගින් මත්තෙහි නොඉපදීම වෙයි.
සොතඤ්ච පජානාති සද්දෙ ච යනාදියෙහි ද මේ ක්‍රමය මැයි. තවද මේ ආයතන කථාව විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි ආයතන නිද්දෙසයෙහි කී නියායෙන්ම දත යුත්තේය.
ඉති අජ්ඣත්තං වා මේ අයුරින් අජ්ඣත්තික ආයතන පරිග්ගහණයෙන් තමාගේ ආයතන ධර්මයන්හි හෝ බාහිර ආයතන පරිග්ගහණයෙන් අනිකෙකුගේ ආයතන ධර්මයන්හි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ ආයතන ධර්මයන්හි ධර්මානුදර්ශීව වාසය කෙරෙයි. මෙහි සමුදය වය දෙක වනාහි අවිජ්ජා සමුදයා චක්ඛු සමුදයො, රූපායතනයන්ගේ රූපක්ඛන්‍ධයෙහි ද අරූප ආයතනයන් අතුරෙහි, මනායතනයාගේ විඤ්ඤාණක්ඛන්‍ධයෙහිද ධම්මායතනයාගේ සෙසු ස්කන්ධයන්හිද කී නයින් දතයුත්තාහුය. ලෝකෝත්තර ධර්මයෝ නොගත යුත්තාහුය. මෙයින් මත්තෙහි කී නයමැයි.