වේදනානුපස්සනා වර්ණනාව
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තුදුස් ආකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය වදාරා දැන් නව අයුරකින් වෙදනානුපස්සනාව දක්වන්නට කථඤ්ච භික්ඛවෙ, යනාදිය වදාළහ. එහි සුඛං වෙදනං යනු කායික වූ හෝ චෛතසික වූ හෝ සැප වේදනාව විඳින්නේ මම සැප වේදනාවක් විඳිමියි දැනගනී යන අර්ථය වෙයි. ඒ දැනීමෙහි ඒකාන්තයෙන් උඩුකුරුව හෝනා වූ ළදරුවෝ පවා කිරි පීම් ආදි කාලයෙහි සැපවිඳින්නාහු අපි සැපයක් විඳිමු යයි දැනගනිත්. එතකුදු වුවත් මේ යෝගාවචරයාගේ දැනුම එබඳු දැනීමක් සඳහා නොවදාරණ ලදී. ඒ ළදරුවන්ගේ දැනීම වැනි දැනුම සත්ත්ව දෘෂ්ටිය අත්නොහරී. සත්ත්වයෙක යන සංඥාව නො උගුලුවයි. කමටහනක් හෝ සතිපට්ඨාන භාවනාවක් හෝ නොවෙයි. මෙම භික්‍ෂූහුගේ දැනගැනීම වනාහි සති දෘෂ්ටිය දුරු කරයි. සත්ත්ව සංඥාව ගලවා පියයි. කමටහන හා සතිපට්ඨානයද වෙයි. මෙය වනාහි කවරෙක් විඳී ද, කවරෙකුගේ විඳීමක් ද, කුමන කරුණකින් වූ වේදනාවක්දැයි. මෙසේ නුවණින් දැක විඳීම සඳහා වදාරණ ලදී.
ඒ ප්‍රශ්න කිරීමෙහි කවරෙක් විඳීද? යනු කිසි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නොවිඳියි. කවරෙකුගේ විඳීමෙක් ද? යනු කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ විඳීමක් නොවේ. කවර කරුණකින් වූ වේදනාවක් ද යනු සත්‍වාරම්මණයෙන් වේදනා තොමෝ වන්නීය. මේ යෝගාවචර තෙම කුමක්හෙයින් මෙසේ දැනගනී ද යත් ඒ ඒ සුඛ ආදි වස්තුව අරමුණුකොට වේදනා තොමෝ ම විඳී. එම වේදනා ප්‍රවෘත්තිය ගෙන මම විඳිමියි ව්‍යවහාර මාත්‍රයක් වේයයි මෙසේ වස්තුව අරමුණු කොට වේදනා තොමෝ විඳීයයි සලකන්නා වූ මෙතෙම සැප වේදනාව විඳිමියි දැනගනීයයි දතයුතු යැ. සිතුල් පව්වෙහි එක්තරා තෙර කෙනෙක් මෙනි.
සිතුල්පව් වැසි තෙරුන් වහන්සේ නමක්
තෙරුන් වහන්සේ රෝගී කාලයෙහි බලවත් වේදනාවෙන් කෙඳිරිගාමින් ඔබිනොබ පෙරලෙති. උන්වහන්සේට එක්තරා තරුණ භික්‍ෂුවක් මෙසේ කීය. ස්වාමීනි, ඔබවහන්සේගේ කවර තැනක් රිදීම කෙරේදැයි ඇවැත්නි, වෙනම රිදෙන තැනක් නම් නැති. (කායනම් වූ වස්තුව) අරමුණුකොට වේදනා තොමෝ විඳී යයි (කීහ.) ස්වාමීනි, මෙසේ දන්නා කල පටන් ඉවසන්ට සුදුසු නේන්ද? ඇවැත්නි, ඉවසමියි කීය. ස්වාමීනි ඉවසීම උතුම්ම වෙයි. තෙරණුවෝ ඉවසූහ. වාතය ළය දක්වා පැලීය. ඇඳෙහි අතුනු එකතු වූහ. තෙරණුවෝ තරුණ භික්‍ෂුවට ඇවැත්නි, මෙතෙක් ඉවසීම වටීදැයි දැක්වූහ. තරුණ භික්‍ෂුව තුෂ්ණිම්භත විය. තෙරණුවෝ වීර්ය සමත්‍වය යොදා සිව්පිළිසිඹියා සමග රහත් බවට පැමිණ සමසීසව පිරිනිවි සේක.
සුඛ වේදනාව යම්සේ ද එපරිද්දෙන් දුක්ඛ වේදනාව -පෙ- නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳින්නේ නිරාමිස වූ අදුක්ඛ මසුඛ වේදනාව විඳිමි යයි දැනගනී.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූප කමටහන වදාරා අරූප කමටහන වදාරණ සේක්, වේදනා වශයෙන්ම වදාළහ. එම කමටහන, දෙවැදෑරුම් වෙයි. රූප කමටහන, අරූප කමටහන කියායි. මෙම කමටහන් දෙකම රූප පරිග්ගහ, අරූප පරිග්ගහ යයිද කියනු ලැබේ. මෙම ද්විධ කමටහන් අතුරෙන් භාග්‍යවතුන් වහන්සේ රූප කමටහන වදාරණ සේක්, සංක්‍ෂෙප මනසිකාර වශයෙන් සවිස්තර මනසිකාර වශයෙන් හෝ චතුධාතු වවත්‍ථානය වදාරණ සේක. ඒ දෙකම විසුද්ධි මාර්ගයෙහි සර්වාකාරයෙන් දක්වන ලද්දේමය.
අනතුරුව අරූප කර්මස්ථානය වදාරණ සේක් බොහෝ සෙයින් වේදනා වශයෙන් වදාරති. එය විස්තර කරනු ලැබේ. අරූප කමටහනෙහි අභිනිවෙසය (=පිහිටුවීම) තෙ වැදෑරුම් වේ. ඵස්ස වශයෙන් වේදනා වශයෙන් සහ චිත්ත වශයෙන් කියායි. කෙසේද යත්,
ඇතැම් යෝගාවචරයෙකුට සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ රූප කමටහන පරිග්ගහනය කළ කල්හි රූපාරම්මණයෙහි චිත්ත චෛතසිකයන්ගේ පළමු අභිනිපාතය (=ඉදිරියෙහි පතිතවීම) ඇතිකල්හි එම අරමුණ ස්පර්ශ කරමින් උපදින්නා වූ ස්පර්ශය ප්‍රකට වෙයි. කිසිවෙකුට ඒ අරමුණ විඳිමින් උපාදාන වූ වේදනාව ප්‍රකට වෙයි. ඇතැම් කෙනෙකුට ඒ අරමුණ පරිග්‍රහණය කොට දැනගනිමින් උපදින්නා වූ විඥානය ප්‍රකට වෙයි. ඔවුන් තිදෙනා අතුරෙහි යමෙකුට ස්පර්ශය ප්‍රකට වේද, හෙතෙමේද, ‘හුදෙක් ස්පර්ශයම නොඋපදී’ ඒ ස්පර්ශය සමග එම අරමුණම විඳිමින් වේදනාව උපදී. හැඳින ගනිමින් සංඥාවද, සිතමින් චේතනාවද, දැනගනිමින් විඥානයද උපදී යයි ඵස්ස පඤ්චම ධර්මයන්ම (=වෙදනා සංඥා-චෙතනා-විඥාන) ධර්මයන්ම පරිග්‍රහණය කෙරෙයි. යමෙකුට විඥානය ප්‍රකටවේද හෙතෙමේත් හුදෙක් විඥානයම නූපදී. එම විඥානය සමගම එම අරමුණම ස්පර්ශ කරමින් ඵස්සය ද උපදී. අරමුණ රසය අනුභව කරමින් වේදනාව ද හැඳින ගනිමින් සංඥාවද සිතමින් චේතනාවද උපදී යයි ඵස්ස පංචමක ධර්මයන්ම පරිග්‍රහණය කෙරෙයි. [missing trans?]
හෙතෙම මේ ඵස්ස පංචමක ධර්මයෝ කුමක් ඇසුරු කළාහුදැයි විමසන්නේ හදවත ඇසුරු කළාහුයයි දැනගනී. වස්තුව නම් කරජකයයැ. මේ සඳහා කියන ලදී. ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්‍ථසිතං එත්‍ථ පටිබද්ධං යයි වදාරණ ලදද එහෙයිනි. ඒ කරජ කය අර්ථ වශයෙන් සතර මහාභූතයන් හා උපාදාය රූපයෝ ද වෙති. මෙපරිද්දෙන් මෙහි වස්තුව, රූපය යැ. ඵස්ස පංචමක ධර්මයෝ නාමයයි ද නාමරූප මාත්‍රයක්ම දකී. තව ද මෙහි රූපය - රූපකන්ධ නම් වේ. නාමය සතර අරූප ස්කන්ධයෝ යයි පඤ්ච ස්කන්ධයම වෙයි. එය එසේමැයි. නාමරූපයෙන් තොර වූ පඤ්ච ස්කන්ධයෝ හෝ පඤ්ච ස්කන්ධයෝ හෝ පඤ්ච ස්කන්ධයෙන් තොර වූ නාමරූපයෙක් හෝ නැත.