සිවථිකා පබ්බ වර්ණනාව
මෙසේ ධාතු මනසිකාර වශයෙන් කායානුපස්සනාව විභාගකොට දැන් නවසිථිකා පබ්බය විස්තර කිරීමට පුන චපරං යන ආදිය කීහ. එහි සෙය්‍යථාපි පස්සෙත්‍ය යනුවෙන් යම්සේ දක්නේද, සරීරං යනු මෘත ශරීරයයි. සිවථිකය ජඩ්ඪිතං සොහොනෙහි දමන ලද, එක්දිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි එකාහං මතං යනු වේ. දෙදිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි ද්වීහමතං යනු වේ. තෙ දිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි තීහමතං යනුවෙන් වාතයෙන් පිරුණු කඹුරු සමක් මෙන් ජීවිතය නැත වීමෙන් පසු ක්‍රමයෙන් නැග්ගා වූ සූනත්‍වයෙන් (අඩු තැන් පිරවීමෙන්) ඉදිමී ගිය බැවින් උද්ධුමාත නම් වේ. උද්ධුමාතය මැ උද්ධුමාතක නම් වේ. නැතහොත් පිළිකුල් බැවින් කුත්සිත වූ උද්ධුමාතයනුයි උද්ධුමාතක නම් වේ. මිශ්‍ර වූ වර්ණ ඇත්තේ විනීල යයි කියනු ලැබේ. විනීලයම විනීලක නම් වේ. පිළිකුල් බැවින් කුත්සිත වූ විනීලයනුයි විනීලක නම් වේ. මස්පිඩු උස්ව නැගි තැන්හි, රක්තවර්ණ වූ සැරව පිරුණු තැන්හි ශ්වේත වර්ණ වූ බොහෝ සෙයින්ම නීල වර්ණ වූ නිල් වූ තැන්හි නිල් සළුවක් පොරවන ලද්දක්හු වැනි මළ සිරුරට මේ නමකි. බිඳුනු තැනකින් හෝ නව වණමුඛයන්ගෙන් හෝ වැහෙන්නා වූ පූයා ඇත්තේ විපුබ්බ නමි. විපුබ්බයම විපුබ්බක නමි. නැතහොත් පිළිකුල් බැවින් කුත්සිත වූ විපුබ්බයනු විපුබ්බක නම් වේ. හටගත් පූයා ඇත්තේ එබඳු ස්වභාවයට ගියේනුයි විපුබ්බක ජාත නම් වේ.
සො ඉමමෙව කායං යනුවෙන් ඒ මහණතෙම තමාගේ කය ඒ මළසිරුර සමග නුවණින් සමාන කෙරෙයි. එලවයි. කෙසේද යත්, මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන සුලුය. මෙබඳු ස්වභාවය නොඉක්ම සිටියේ යයි කියායි. මේ කියන ලද වෙයි -
ආයුෂය, තේජෝ ධාතු විඥානය යන මේ ධර්මයන් තුන්දෙනාගේ පැවැත්මේ හේතුවෙන් මේ කය සිටීම්, ගමන් කිරීම් ආදිය ඉවසන්නේ වෙයි. යළි මොවුන්ගේ වෙන්වීමෙන් මේ කයද එවං ධම්මො, මෙසේ කුණුවන ස්වභාවය ඇත්තේමයි. එවං භාවි, මෙපරිද්දෙන්ම උද්ධුමාතක ආදි භේද ඇත්තේ වන්නේය. එවං අනතීතො මෙපරිද්දෙන් උද්ධුමාතක ආදි භාවයන් නොඉක්මවන ලද්දේය.
ඉති අජ්ඣත්තං වා මෙසේ උද්ධුමාතකාදි ග්‍රහණයෙන් තමාගේ කයෙහි හෝ අනිකෙකුගේ කයෙහි හෝ කය අනුව බලමින් වෙසෙයි. කලෙක තමාගේ හෝ කලෙක අනිකෙකුගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි.
ඛජ්ජමානං යනුවෙන් උදර ආදියෙහි සිටිමින් උදර මාංශයද, ඇස ගුල ආදිය ගලව ගලවා කනු ලබන්නා වූ, සමංස ලොහිතං සෙසු ඉතිරි මස් ලේ සහිත වූ නිම්මංස ලොහිත මක්ඛිත්තං මස් ක්‍ෂය වී ගිය කල්හිද, ලේ නොවියලෙයි. එහෙයින් වදාරණ ලදී. ලොහිත මක්ඛිත්තං යයි අඤ්ඤෙන අන්‍ය දිශාවක, හත්‍ථිට්ඨිකං යනු සූසැටක් භේද ඇති, වෙන වෙනම විසුරුණා වූ අත් ඇටද පා ඇටද, ආදියෙහි ද මෙම ක්‍රමයම වේ.
තොරොවස්සිකානි දෙතුන් වසරක් ඉක්මුනා වූ එලිමහනේ තිබුණා වූ අව් වැසි සුළං වැදීමෙන් වසක් ඉක්මුනාහු කුණු වූවාහු වෙති. පොලෝ තුලට පැමිණියාහු වනාහි බොහෝ කලක් පවතිත්. චුණ්ණක ජාතානි. සුණු සුණුව විසුරුණාහු සියලු තැන්හි සො ඉම මෙව යනු කී පරිද්දෙන් ඛජ්ජමානං යනාදි පදයන්ගේ වශයෙන් යෝජනා කළ යුත්තේය.
ඉති අජ්ඣත්තං වා මෙසේ (කාකාදින් විසින්) කනු ලබන්නා වූ ශරීර ආදිය පරිග්‍රහණය කිරීමෙන් සුණු වූ ශරීරය තෙක් තමාගේ කයෙහි හෝ අනිකෙකුගේ කයෙහි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනිකෙකුගේ හෝ කයෙහි කායානුදර්ශීව වෙසෙයි.
නැවත මෙතැන්හි සිට නව සිවථිකා එක්කොට දැක්විය යුත්තාහුය. මේ එහි එක්තැන් කිරීමේ ක්‍රමයයි.
එකාහං මතං වා යනාදි නයින් වදාළ සියල්ලම එක් සිවථිකයෙකි. කාකෙහි වා ඛජ්ජමානං යනාදිය එකෙක. අට්ඨි සංඛලිකං සමංසලොහිතං නහාරු සමබන්‍ධං යනු එකෙක. නිම්මංස ලොහිත මක්ඛිත්තං නහාරු සමබන්‍ධං යනු එකෙක. අපගත මංසලොහිතං නහාරු සම්බන්‍ධං යනු එකෙක. අට්ඨිකානි අපගත සම්බන්‍ධානි යනු එකෙකි. අට්ඨිකානු සෙතාන සච්චවණ්ණු පනිභානී යනු එකෙකි. අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරො වස්සිකානි යනු එකෙකි. අට්ඨිකානි පූතීපන චුණ්ණක ජාතානි යනු එකෙකි.
එවං ඛො භික්ඛවෙ යන මෙය නව සීවථිකය දක්වා කායානුපස්සිනා දේශනාව නිමවමින් වදාළ සේක. එහි නව සීවථික පරිග්ගාහික වූ සතිය දුක්ඛ සත්‍යය ඒ සතිය උපදවන්නන් වූ පළමු තණ්හාව සමුදය සත්‍ය වේ. ඒ දෙදෙනාගේම නොපැවැත්ම නිරෝධ සත්‍යයැ. දුක දැනගත්තාවූ සමුදය දුරුකරන්නා වූ නිවන් අරමුණු කරන්නා වූ ආර්ය මාර්ගය තෙම මාර්ග සත්‍යයැ. මෙසේ චතු සච්ච වශයෙන් උත්සාහකොට නිවනට පැමිණේ යයි මේ නවසිවථික පරිග්ගාහක වූ භික්‍ෂූන්ගේ රහත් බව තෙක් නිවන්දොර වේ.