ධාතු මනසිකාර පබ්බ වර්ණනාව
මෙසේ පිළිකුල් බව මෙනෙහි කිරීම් වශයෙන් කායානුපස්සනාව විස්තරකොට දැන් ධාතු මනසිකාර වශයෙන් මෙනෙහි කරන්ට පුන චපරං යනාදිය වදාළහ. මේ එහි උපමා සංසන්දනයක් සමග අර්ථ වර්ණනාවයි. කිසියම් ගවඝාතකයෙක් හෝ ඔහුගේ බත් වැටුපෙන් පෝෂණය කරන ලද අතවැසියෙක් හෝ ගවයෙකු මරා සතර දිගට විනිවිද ගියා වූ මහාමාර්ගයන්ගේ මධ්යස්ථාන නම් වූ සතරමං සන්ධියක කොටස් කොටස් කොට යම්සේ හුන්නේ වේද, එපරිද්දෙන් මහණතෙම සතර ඉරියාපථයන් අතුරෙන් යම්කිසි ආකාරයකින් සිටි හෙයින් සිටිවතින් සිටියා වූ නැවත සිටි පරිදි සිටිහෙයින් පිහිටියා වූ ආකාරයෙන් පිහිටියා වූ කය, ‘මේ ශරීරයෙහි පඨවි ධාතු ඇත. ආපෝ ධාතු ඇත, තේජෝ ධාතු ඇත, වායෝ ධාතු ඇතැයි මෙසේ ප්රත්යවේක්ෂා කෙරෙයි.
කුමක් කියන ලද්දේ වේද යත් - ගවයෙකු පෝෂණය කරන්නා වූ ද, මරණ තැනට ගෙනයන්නා වූද ගෙනගොස් එහි බැඳ තබන්නා වූද නසන ලද මළසිරුර දක්නා වූද ගෝඝාතකයා හට යම්තාක් ඒ ගවයා පලා කොටස් කොටස් වශයෙන් නොබෙදා ද, ඒතාක් ගවයෙක් යන සංඥාව අතුරුදහන් නොවේද, එතකුදු වුවත් බෙදා හුන්නහුට ගව සංඥාව අතුරුදහන් වේ, මාංස සංඥාව පවතීද, මම ගවයෙකු ගෙන යමි. මොවුහු ගවයා ගෙන යත් යයි ඕහට මෙබඳු සිතක් ඇති නොවේද, යලි කිමෙක්, මම මස් විකුණමි. මොවුහු මස් ගෙන යති යයි කියාම ඕහට සිතක් වේද, එපරිද්දෙන්ම පෙර බාල පෘථජ්ජන කාලයෙහි ගිහි වූත්, පැවිදි වූත් මේ මහණ හට ද මේ කය සිටිවනින් පිහිටි ආකාරයෙන් ඝන විනිර්භෝගය කොට යම්තාක් ප්රත්යවේක්ෂා නොකෙරේ ද, ඒ තාක් සත්ත්වයෙකු - පුද්ගලයෙකු යන සංඥාව අතුරුදහන් නොවෙයි. ධාතු වශයෙන් ප්රත්යවේක්ෂා කරන්නා වූ ඔහුට සත්ත්ව සංඥාව අතුරුදහන් වෙයි. ධාතු වශයෙන්ම සිත පිහිටයි. එබැවින් මෙසේ වදාළහ.
ඉමමෙව කායං යථාඨිතං යථපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති අත්ථි ඉමස්මිං කායෙ පඨවි ධාතු ආපොධාතු, තෙජො ධාතු, වායො ධාතු, සෙය්යථා භික්ඛවෙ දක්ඛො ගොඝාතකො වා -පෙ- වායො ධාතු යනුවෙන්
මෙහි යෝගිතෙම ගෝඝාතකයා මෙනි. සත්ත්ව සංඥාව ගව සංඥාව මෙනි. සතර ඉරියාපථ සතරමං සන්ධිය මෙනි. ධාතු වශයෙන් මෙනෙහි කිරීම කොටස් වශයෙන් බෙදා හුන් බව මෙනැයි මේ මෙහි පෙළ වර්ණනාවයි. කමටහන වනාහි විසුද්ධි මාර්ගයේ විස්තර කරන ලද්දේය.
ඉති අජ්ඣත්තං වා මෙසේ චතු ධාතු පරිග්රහණයෙන් තමාගේ කයෙහි හෝ අනිකෙකුගේ කයෙහි හෝ කය අනුව බලමින් වෙසෙයි. මෙයින් මතුවෙහිද කී නයමැයි. මෙහි සතර ධාතු පරිග්රාහික සතිය දුක්ඛ සත්යය නම් වේ. මෙසේ සලකා නිවනට පැමිණෙන දොරටුව දතයුතුය. සෙස්ස, පළමු මෙනි.
ධාතු මනසිකාර පබ්බය නිමි.
සිවථිකා පබ්බ වර්ණනාව
මෙසේ ධාතු මනසිකාර වශයෙන් කායානුපස්සනාව විභාගකොට දැන් නවසිථිකා පබ්බය විස්තර කිරීමට පුන චපරං යන ආදිය කීහ. එහි සෙය්යථාපි පස්සෙත්ය යනුවෙන් යම්සේ දක්නේද, සරීරං යනු මෘත ශරීරයයි. සිවථිකය ජඩ්ඪිතං සොහොනෙහි දමන ලද, එක්දිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි එකාහං මතං යනු වේ. දෙදිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි ද්වීහමතං යනු වේ. තෙ දිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි තීහමතං යනුවෙන් වාතයෙන් පිරුණු කඹුරු සමක් මෙන් ජීවිතය නැත වීමෙන් පසු ක්රමයෙන් නැග්ගා වූ සූනත්වයෙන් (අඩු තැන් පිරවීමෙන්) ඉදිමී ගිය බැවින් උද්ධුමාත නම් වේ. උද්ධුමාතය මැ උද්ධුමාතක නම් වේ. නැතහොත් පිළිකුල් බැවින් කුත්සිත වූ උද්ධුමාතයනුයි උද්ධුමාතක නම් වේ. මිශ්ර වූ වර්ණ ඇත්තේ විනීල යයි කියනු ලැබේ. විනීලයම විනීලක නම් වේ. පිළිකුල් බැවින් කුත්සිත වූ විනීලයනුයි විනීලක නම් වේ. මස්පිඩු උස්ව නැගි තැන්හි, රක්තවර්ණ වූ සැරව පිරුණු තැන්හි ශ්වේත වර්ණ වූ බොහෝ සෙයින්ම නීල වර්ණ වූ නිල් වූ තැන්හි නිල් සළුවක් පොරවන ලද්දක්හු වැනි මළ සිරුරට මේ නමකි. බිඳුනු තැනකින් හෝ නව වණමුඛයන්ගෙන් හෝ වැහෙන්නා වූ පූයා ඇත්තේ විපුබ්බ නමි. විපුබ්බයම විපුබ්බක නමි. නැතහොත් පිළිකුල් බැවින් කුත්සිත වූ විපුබ්බයනු විපුබ්බක නම් වේ. හටගත් පූයා ඇත්තේ එබඳු ස්වභාවයට ගියේනුයි විපුබ්බක ජාත නම් වේ.