ඉරියාපථ පබ්බ වර්ණනාව
මෙසේ අස්සාස, පස්සාස වශයෙන් කායානුපස්සනාව විභාගකොට මේ වනවිට ඉරියාපථ වශයෙන් විභාග කිරීම පිණිස පුන චපරං යනාදිය වදාළහ. බලු, කැනහිල් ආදීහු යන්නාහු ඒකාන්තයෙන් අපි යමු යයි දනිති. එතකුදු වුවත් මෙම ඉරියාපථ දේශනාව මෙබඳු වූ දැනීමක් සඳහා නොවදාරණ ලදී. මෙබඳු දැනීම වූ කලී සත්ත්ව දෘෂ්ටිය නො හරියි. ආත්ම සංඥාව නො නසයි. එය, කර්මස්ථානය හෝ සතිපට්ඨාන භාවනාව නොවෙයි. නමුත් මේ භික්ෂුවගේ දැනීම වූ කලී සත්ත්ව දෘෂ්ටිය හැරදමයි. ආත්ම සංඥාව නසයි. කර්මස්ථානය හා සතිපට්ඨාන භාවනාවද වෙයි. මෙම (ගමන) වනාහි, කවරෙක් වේ ද? කවරෙකුගේ ගමනක් ද, කුමන කාරණයකින් යේ දැයි මෙවන් දැනුමක් සඳහා වදාරණ ලදී. සිටීම් ආදියෙහිද මේ ක්රමයමැයි.
එහි කවරෙක් යේද, යන මෙහි කිසි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නො යෙයි. කවරෙකුගේ ගමනක්ද යන්න මෙහි කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකු හෝ ගමනක් නො වෙයි. කුමන කරුණකින් යේ ද යන මෙහි චිත්ත ක්රියා වායෝ ධාතුගේ පැතිරීමෙන් යෙයි. එහෙයින් මෙම මහණ මෙසේ දැනගනී. ‘යන්නෙමියි සිතක් උපදී ද, ඒ සිත වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. වායෝධාතුව ගමන් කරන්නා වූ ආකාරය කාය විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්තකිරිය වායෝ ධාතුහුගේ පැතිරීමෙන් සකල ශරීරයාගේ ඉදිරියට එලවීම ගමන යයි කියනු ලැබේ.
සිටීම යනුවෙන් සිතක් උපදී, එය වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. වායෝ ධාතුව විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්ත-කිරිය-වායො ධාතූන්ගේ පැතිරීමේ හේතුවෙන් සකල ශරීරයාගේ කෙළවර පටන් ඔසවන ලද බව සිටීම යයි කියනු ලැබේ.
හිඳිමියි යනුවෙන් සිතක් උපදීද, එම සිත වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. වායො ධාතුව කාය විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්ත-කිරිය-වායෝ ධාතුහුගේ පැතිරීමෙන් යට සිරුරේ හැකිළීම හා උඩ සිරුරේ ඔසවන ලද බව හිඳීම යයි කියනු ලැබේ.
නිදමියි යනුවෙන් සිතක් උපදිද, ඒ සිත ක්රියා වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. එම වායෝ ධාතුව කාය විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්ත-කිරිය-වායෝ ධාතුන්ගේ පැතිරීම හේතුකොට ගෙන සකල ශරීරයාගේ සරසට දිගුකිරිම සයනය යයි කියනු ලැබේ.
මෙසේ දැනගන්නා වූ ඔහුට මෙබඳු සිතක් පහළ වෙයි. ‘සත්තව තෙම සිටියි යයි කියනු ලැබේ. කිසි සත්ත්වයෙක් යන්නේ හෝ සිටියේ හෝ නැති අනිකක් ඇති, ගැල යයි, ගැල සිටියි යයි යම්සේ කියනු ලැබේ ද, යන්නා වූ සිටින්නා වූ ගැලක් නම් නැත්තේ ද, එසේ වුවත් ගොනුන් සතර දෙනෙකු යෙදූ දක්ෂ වූ රියදුරෙකු පදවන කල්හි ගැල යයි ගැල සිටියි යයි, යම්කිසි ව්යවහාර මාත්රයක් වේද, එපරිද්දෙන්ම ගමන් නොකරන අරුතින් කය ගැලක් මෙනි, චිත්තජ වායෝ ධාතුව ගොනු මෙනි. සිත රියදුරා මෙනි. යෙමියි, සිටිමියි සිත උපන් කල්හි වායො ධාතුව කාය විඥප්තිය උපදවමින්, උපදී. වායෝ ධාතුහුගේ පැතිරීම හේතුකොට ගෙන, ගමනාදිය පවතිත් එහෙයින් සත්ත්වතෙම යෙයි සත්ත්ව තෙම සිටි මම යමි, මම සිටිමි යනු ව්යවහාර මාත්රයක්ම වේ. එයින් කීහ -
නාවා මාලුතවෙගෙන, ජීයාවෙගෙන තෙජනං
යථා යාති තථාකායො යාතිවාතාහතො අයං
යථා යාති තථාකායො යාතිවාතාහතො අයං
යන්ත සුත්ත වසෙනෙව, චිත්ත සුත්ත වසෙනිදං
පයූත්තං කාය යන්තම්පි යාති, ඨාති නිසීදති
පයූත්තං කාය යන්තම්පි යාති, ඨාති නිසීදති
කොනාම එත්ථ සො සත්තො යො විනා හෙතු පච්චයෙ
අත්තනො ආනුභාවෙන තිට්ඨෙවා යදිවා වජෙ
අත්තනො ආනුභාවෙන තිට්ඨෙවා යදිවා වජෙ
(පවන වේගයෙන් නැව ද, දුනුදිය වේගයෙන් හීය ද, යම්සේ යේද, එපරිද්දෙන් වාතයෙන් පහලා වූ මේ කය යයි,
යොදන ලද මේ ශරීර නමැති යන්ත්රය යන්ත්ර සුත්රයාගේ වශයෙන් මෙන් චිත්ත සූත්රයාගේ වශයෙන් යෙයි. සිටී. හිඳී.
මේ ලෝකයෙහි, යම් සත්ත්වයෙක් තෙම හේතුප්රත්යයෝ හැර තමාගේ ආනුභාවයෙන්, සිටින්නේ හෝ යන්නේ හෝ වේද, ඒ සත්ත්ව තෙම කිනම් වේද, එබඳු සත්ත්වයෙක් නැත යන අර්ථයි.)
එහෙයින් මෙසේ හේතුප්රත්යයන්ගේ වශයෙන් ම පවත්නා වූ ගමන ආදිය සලකන්නා වූ මේ යෝගාවචර තෙම ගචඡන්තො වා ගච්ඡාමීති පජානාති, ඨි තො වා නිසින්නො වා සයානොවා සයානොම්හීති පජානාති යනුවෙන් යන්නේ හෝ යන්නෙමී දැනගනී. සිටියේ හෝ සිටියේ වෙමියි දැනගනී. හුන්නේ හෝ හුන්නේ වෙමියි දැනගනියි. නිදන්නේ හෝ නිදන්නේ වෙමියි දැනගනී යයි දතයුතුය.
යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති යන මේ වචනය සර්වසංගාහික වචනයකි. මෙසේ කියන ලද වෙයි. යම් ආකාරයකින් හෝ ඔහුගේ කය සිටියේ වේද, ඒ ඒ ආකාරයෙන් එය දැන ගනී. ගමනාකාරයෙන් සිටියේ යන්නේ යයි දැනගනියි. සිටීම-හිඳීම-නිදීම යන ආකාරයන්ගෙන් සිටියේ, සිටින්නේ යයිද හිඳගත්තේ යයි ද) නිදන්නේ යයි ද දැනගනී.
ඉති අජ්ඣත්තං මෙසේ තමාගේ හෝ සතර ඉරියව් පරිග්රහණයෙන් ඉරියාපථ කයෙහි, කායානුපස්සනා භාවනාවෙහි යෙදුනේ වාසය කරයි. බහිද්ධා වා, අනුන්ගේ හෝ සතර ඉරියව් පරිග්රහණයෙන්, අජ්ඣත්ත බහිද්ධා වා කලෙක තමාගේ ද, කලෙක අන්යයාගේ ද සතර ඉරියව් පරිග්රහණයෙන් කයෙහි කය අනුව බලමින් වාසය කෙරෙයි.
සමුදය ධම්මානු පස්සී යන ආදී තන්හි අවිජ්ජාව ඇතිකල්හි රූප ඇතිවේයයි ආදි ක්රමයෙන් පස් ආකාරයකින් රූපස්කන්ධයාගේ ඇතිවීමද, නැතිවීමද, ගෙනහැර දැක්විය යුතුය. එය එසේමැයි. ඒ සඳහා මෙහි සමුදය ධම්මානුපස්සී යන ආදිය කියන ලද්දේය. අත්ථි කායොති වා පනස්ස යන ආදිය කී නයමැයි,
මෙහිදු සතර ඉරියව් පිළිගන්න. සිහිය දුක්ඛ සත්ය වේ. එම සිහිය උපදවන පුර්ව තණ්හාව සමුදය සත්ය වේ. එම දෙවැදෑරුම් සිහියේ නොපැවැත්ම නිරෝධ සත්ය නම් වේ. දුක දැනගන්නා වූ සමුදය දුරුකරන්නා වූ නිරෝධය අරමුණු කරන්නා වූ ආර්ය මාර්ගය මාර්ග සත්ය නම් වේ. මෙසේ චතුස්සත්ය වශයෙන් උත්සාහකොට නිවනට පැමිණේ යයි මෙම සතර ඉරියාපථ පරිග්ගාහ වූ භික්ෂුවට රහත්බව තෙක් නිවන්දොර වේයයි දතයුතුයැ.
ඉරියාපථ පබ්බය නිමියේය.
චතුසම්පජඤ්ඤ පබබ-වර්ණනාව
මෙසේ ඉරියාපථ වශයෙන් කායානුපස්සනාව විභාගකොට දක්වා දැන් චතු සම්පජඤ්ඤ වශයෙන් විභාග කරන්ට පුන චපරං යනාදිය වදාළහ. අභිකන්තෙ, පටිකන්තෙ යන මෙහි, ‘ගමන’ අභිකන්ත යයි කියනු ලැබේ. නැවත්ම පටික්කන්ත යයි කියනු ලැබේ. ඒ දෙකම සතර ඉරියාපථවල ලැබේ. පළමුකොට ගමනෙහි ඉදිරියට කය අභිමුඛ කොට එලවන්නේ අභික්කමති නම් වේ. පෙරළා නවත්නේ පටික්කමති නම් වේ.
සිටීමෙහිද, සිටියේම කය ඉදිරියට නමන්නේ අභික්කමනය කෙරෙයි නම් වේ. පිටිපසට නමන්නේ පටික්කමනය කෙරෙයි. හිඳීමෙහි හුන්නේ ම ආසනයාගේ පූර්ව අවයවයට අභිමුඛව නික්මෙන්නේ අභික්කමනය කරන්නේ නම් වෙයි. පසු අවයවය පෙදෙසට ප්රතිමුඛව හැසිරෙන්නේ පටික්කමනය කරන්නේ නම් වේ. හිඳීමෙහි ද මේ ක්රමයමැයි.