චතුසම්පජඤ්ඤ පබබ-වර්ණනාව
මෙසේ ඉරියාපථ වශයෙන් කායානුපස්සනාව විභාගකොට දක්වා දැන් චතු සම්පජඤ්ඤ වශයෙන් විභාග කරන්ට පුන චපරං යනාදිය වදාළහ. අභිකන්තෙ, පටිකන්තෙ යන මෙහි, ‘ගමන’ අභිකන්ත යයි කියනු ලැබේ. නැවත්ම පටික්කන්ත යයි කියනු ලැබේ. ඒ දෙකම සතර ඉරියාපථවල ලැබේ. පළමුකොට ගමනෙහි ඉදිරියට කය අභිමුඛ කොට එලවන්නේ අභික්කමති නම් වේ. පෙරළා නවත්නේ පටික්කමති නම් වේ.
සිටීමෙහිද, සිටියේම කය ඉදිරියට නමන්නේ අභික්කමනය කෙරෙයි නම් වේ. පිටිපසට නමන්නේ පටික්කමනය කෙරෙයි. හිඳීමෙහි හුන්නේ ම ආසනයාගේ පූර්ව අවයවයට අභිමුඛව නික්මෙන්නේ අභික්කමනය කරන්නේ නම් වෙයි. පසු අවයවය පෙදෙසට ප්රතිමුඛව හැසිරෙන්නේ පටික්කමනය කරන්නේ නම් වේ. හිඳීමෙහි ද මේ ක්රමයමැයි.
සම්පජානකාරි හොති යනු නුවණින් යුතුව සියලු කටයුතු කරනසුලු වූයේ නැතහොත් මනා නුවණින් යුතුව ඔහු විසින්ම කරණ සුලු වූයේ වෙයි. ඉදිරියට යාම ආදියෙහිදී හෙතෙම නුවණින් දැන කරන්නේමය. කිසි තැනෙක්හිදු සම්පජඤ්ඤය විරහිත වුයේ නොවෙයි.
චතුර්විධ සම්පජඤ්ඤය
එහි සාත්ථක සම්පජඤ්ඤාය, සප්පාය සම්පජඤ්ඤාය, ගෝචර සම්පජඤ්ඤාය අසම්මොහ සම්පජඤ්ඤාය යයි සම්පජඤ්ඤාය චතුර්විධ වෙයි. එම චතුර්විධ සම්පජඤ්ඤයන් අතුරෙහි, ඉදිරියට යාමෙහි සිත උපන් කල්හි, චිත්තයාගේ වශයෙන්ම නොගොස් කම මෙහි ගමන හේතුවෙන් මට වැඩක් වේද? නැද්ද? යනුවෙන් අර්ථ, අනර්ථ විමසා අර්ථ පරිග්ගහණය සාත්ථක සම්පජඤ්ඤ නම් වේ. එහි අර්ථ නම්, චෙතිය දැකීම්, බෝධි දැකීම්, සංඝයා දැකීම්, අශුභ දැකීම් ආදී වශයෙන් ධර්ම වශයෙන් වැඩීමයි. යම්හෙයකින් චෙතිය දැකම බුදුරදුන් අරමුණුකොට උපදනා වූ ද සංඝ දර්ශනයෙන් සංඝයා අරමුණුකොට උපදනා වූ ද ප්රීතිය උපදවා එම ප්රීතියම ක්ෂය වශයෙන් මෙනෙහි කරන්නේ රහත් බවට පැමිණේ ද, තෙරුන් දැක ඔවුන්ගේ අවවාදයෙහි පිහිටා ද අශුභයක් දැක එම අශුභ අරමුණෙහි ප්රථම ධ්යානය උපදවා ද, ඒ ධ්යානයම ක්ෂය වශයෙන් මෙනෙහි කරන්නේ රහත්බව පැමිණේ ද, එහෙයින් මෙම චෙතිය ආදීන්ගේ දර්ශනය සාර්ථක වෙයි. (වැඩ සහිත වෙයි.) තව ද ආමිෂයාගේ වශයෙන් වැඩීමද අර්ථමැයි. එම ආමිෂය ඇසුරුකොට බ්රහ්මචර්යාවට අනුග්රහ පිණිස පිළිපන් බැවින් යයි කිසිවෙක් (කෙචි) කියති.
ඒ ගමනෙහි පහසු අපහසුකම් සලකා පහසුව සියලු ආකාරයෙන් ගැනීම සප්පාය සම්පජඤ්ඤ නම් වේ. ඒ කෙසේ ද යත්, චේතිය දැකීම නිරවශේෂයෙන්ම සාර්ථකයැ. එසේවුවත්, චේතියට මහත් පූජා කරන කල්හි, දස දොලොස් යොදුනක් අතර, පිරිස ඉදින් රැස්වන්නී නම් ස්වකීය සම්පත්තියට සුදුසු පරිදි ස්ත්රීහු ද පුරුෂයෝ ද අබරණ ලා සැරසුනාහු, චිත්ර කර්මයක රූප මෙන් හැසිරෙති. එම පිරිස් අතුරෙහි ද ඒ මහණ හට ඉෂ්ට වූ අරමුණෙහි ලෝභයක් අනිෂ්ට වූ අරමුණෙහි කෝපයත් නොසමව බැලීමෙන් මෝහයත් උපදීනම් කාය සංසර්ග ආපත්තියට පැමිණේ නම්, ජීවිත බ්රහ්මචරියාවන්ට හෝ අනතුරු වේනම් මෙබඳුම චෙතියස්ථානය නොසැප වෙයි. කියන ලද ආකාර වූ අනතුරු නොමැති නම්, සැප වෙයි. සංස දර්ශනයද අරුත් සහිතය. එසේ වුවත් ඇතුල්ගම මිනිස්සු මහමඩු තනවා තයම් රැය ධර්මශ්රවණය කරවන කල්හි, කලින් කී ආකාරයෙන් ම ජනයාගේ රැස්වීම ද අනතුරු ඇති කල්හි සැප වෙයි. මහපිරිස් පිරිවැරූ තෙරුන්ගේ දර්ශනයෙහි ද මෙම නයයි.
අශුභ දර්ශනය ද අරුත් සහිතය. එම අර්ථය දැක්වීම සඳහා කථා වස්තුවක් ද වේ.
අශුභ දර්ශන වස්තුව :
එක් තරුණ වහන්දැ නමක්, හෙරණ පැවිද්දෙකු ගෙන දැහැටි දඬු පිණිස ගියේය. සාමණේර නම මගින් ඉවත්ව ඉදිරියට යන්නේ අශුභ නිමිත්ත දැක, පළමුවන ධ්යානය උපදවා එම ධ්යානයට පාදකකොට සංස්කාර ධර්මයන් මෙනෙහි කරන්නේ තුන්ඵලයන් ප්රත්යක්ෂ කොට මතුමග පිණිස කමටහන් ගෙන සිටියේය.
තරුණ භික්ෂුතෙම ඔහු නොදැක සාමණේරයයි හඬ ගෑය. හෙතෙම මා පැවිදි වූ තැන් සිට භික්ෂුවක් සමග දෙවරෙක කථාවක් නම් නොකළ විරීය. එහෙයින් අන්දවසක මතු විශේෂය (රහත්ඵලය) උපදවන්නෙමියි සිතා, කිම වහන්ස, යයි පිළිතුරු දින. නැවත එවයි කියන ලද්දේ, එක් නයින්ම අවුත්, ස්වාමීනි, පළමුකොට මේ මගින් ගොස්, මා සිටි පෙදෙසෙහි මොහොතක් පෙරදිගට අභිමුඛව සිට බැලුව මැනවැයි කීය. ඒ තරුණ භික්ෂූන් වහන්සේ එසේ කොට ඒ හෙරණුන්දෑ පැමිණි විශේෂයටම පැමිණියහ. මෙසේ එකම අශුභය, දෙදෙනාටම වැඩ පිණිස විය. අනිකෙකුදු ඇත. මෙසේ සාර්ථක වූ මේ අශුභය පුරුෂයා හට මාගම අශුභය නොසැප වෙයි. මාගමටද පුරුෂ අශුභය නොසැප වෙයි. සභාග වූයේම සැප වෙයි. මෙසේ සත්ප්රාය පරිග්රහණය සප්පාය සම්පජඤ්ඤ නම් වේ.