කායානුපස්සනා ආනාපාන පබ්බ වර්ණනාව
දක්‍ෂ වූ කුලුපොතු තෙම මහත් වු හුණ ගසක් ලැබ, ඝන කලාල සියුම් කලාල කරඬු පෙට්ටි ආදී උපකරණයන් කරනු කැමැත්තේ සරසට පලා එයින් එක එක හුණකඩක් ගෙන පලා ඒ ඒ උපකරණ යම්සේ කරන්නේ ද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාවෙන් සත්ත්වයන්ගේ අනේකප්‍රකාර විශේෂ අධිගමයට පැමිණවීම කරනු කැමැත්තාහ. එකම සම්මා සතිය, චත්තාරො සතිපට්ඨානා කතමෙ චත්තාරො ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී යනාදි නයින් අරමුණු වශයෙන් සතර පරිද්දෙකින් වෙන්කොට එහි එක එක සතිපට්ඨානය ගෙන විස්තර කරන සේක් කථඤ්ච භික්ඛවෙ යනාදි නයින් නිද්දෙස වාරය දේශනා කිරීමට පටන්ගත් සේක.
එම නිද්දේස වාරයෙහි කථඤ්ච යනාදිය විස්තර කරනු පිණිස වූ ප්‍රච්ඡාය, විමසීමය. මේ වනාහි මෙහි කෙටි අරුතයි. මහණෙනි, කවර ප්‍රකාරයකින් මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේදැයි සියලු ප්‍රච්ඡාවන්හි විමසීන්හි මේ ක්‍රමයමැයි. ඉධ භික්ඛවෙ භික්ඛු මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, යම්හෙයකින් මෙහි මේ ඉධ ශබ්දය තෙම සර්වප්‍රකාරයෙන් කායානුපස්සනා නිපදවන්නා වූ පුද්ගලයා හට ඇසුරට ඇති ශාසනය දක්වන්නේ ද, අන් සසුනක එබඳු බව වලකන්නේ ද වෙයි. මෙය වදාළේය. ඉධෙව භික්ඛවෙ සමණො -පෙ- සුඤ්ඤාපරප්පවාදා සමණෙහි අඤ්ඤෙ එහෙයින් කියන ලදී. මෙම සසුනෙහි මහණතෙම යයි.
සෙනසුන්
අරඤ්ඤගතො වා -පෙ- සුඤ්ඤාගාරගතො වා යන මෙයින් එම යෝගියා හට සතිපට්ඨාන භාවනාවට සුදුසු සෙනසුනක් ගැනීම දැක්වීමයි. යම්හෙයකින් මේ භික්‍ෂුවගේ බොහෝකලක් රූපාදි අරමුණෙහි විසුරුණ සිත කමටහන් මාර්ගයට බැසගැනීම නොකැමති වේද, කුළුගොනෙකු යෙදූ රියක් මෙන් නොමගටම දිවේද, එහෙයින් ගොපලුතෙම කුළුදෙනගේ සියලු කිරි බී වැඩුනු කුළුවස්සා දමනය කරනු කැමැතිව දෙනු කෙරෙන් වෙන්කොට එක්පසෙක මහත් කණුවක් සිටුවා එහි යම්සේ යොතකින් බඳින්නේ ද, එකල එම වසුතෙම ඔබ මොබ පලායන්ට නොහැකිව එම කනුව කරාම එළඹ යම්සේ හිඳින්නේ හෝ හෝ නේ හෝ වේ ද, එපරිද්දෙන්ම මේ මහණ විසින් ද බොහෝ කලක් රූප අරමුණු ආදිය නිසා උපදනා වූ ආශ්වාද නමැති රස පානයෙන් වැඩුනු නොදැමුනු සිත දමනය කරනු කැමැත්තාහු, රූපාරම්මණයෙන් වෙන්කොට ආරණ්‍යකට හෝ රුක්මුලකට හෝ, ශුන්‍යගාරයකට හෝ ඇතුළත්ව සතිපට්ඨාන අරමුණු නමැති කණුවෙහි සිහිය නමැති යොතින් බැන්ද යුතුයැ. මෙසේ එම යෝගිහුගේ සිත ඔබනොබ සැලේ ද, පෙර හෝ අනාදිමත් සසරෙහි හෝ පුරුදු කළ අරමුණු නොලබන්නේ සිහි නමැති පොත බිඳ පලායන්ට අපොහොසත් වූයේ ඒ සතිපට්ඨාන අරමුණෙහි මැ එළඹ හිඳින්නේ ද හෝනේ ද වෙයි. එයින් කීය පුරාණචාර්යවරයෝ :-
යථා ථම්භෙ නිබන්‍ධෙය්‍ය, වච්ඡං දම්මං නරො ඉධ,
බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං සතියාරම්මණෙ දළ්හං යි
(මේ ලෝකයෙහි මිනිස්තෙම, දමනය කරනු කැමති වස්සා කණුවෙහි යම්සේ බඳනේ ද, එපරිද්දෙන් මහණතෙම තමාගේ සිත, සිහියෙන් අරමුණෙහි ස්ථිරකොට බඳින්නේය.)
මෙසේ ඔහුට එම සෙනසුන භාවනාවට අනුරූප වූයේ වෙයි. එහෙයින් කියන ලදී. මේ ඔහුට සතිපට්ඨාන භාවනාවට අනුරූප වූ සෙනසුන් ගැනීම දැක්වීමයි.
තව ද යම්හෙයකින්, කායානුපස්සනාවේ හිස වැනි වූ සියලු බුදුවරයන්ගේ ද, පසේ බුදුවරයන්ගේ ද, බුද්ධශ්‍රාවකයන්ගේ ද, විශේෂ අධිගමයට හා ඉහාත්ම සැපවිහරණයට කරුණු වූ මේ ආනාපානසති කමටහන ස්ත්‍රී-පුරුෂ-හස්ති-අශ්ව ආදීන්ගේ ශබ්දයෙන් ආකූල වූ ග්‍රාමාන්ත සෙනසුන අතනොහැර සම්පාදනය කිරීම පහසු නොවේ. කුමක් හෙයින්ද, ශබ්දය වූ කලී ධ්‍යානයට (කණ්ටක) බාධාවකි. අගාමක වූ අරණ්‍යය මෙයට පහසුය. යෝගාවචර විසින් මෙම කමටහන ගෙන, ආනාපාන සතරවන ධ්‍යානය උපදවා එම ධ්‍යානයට පාදකකොට සංඛාර ධර්මය සම්මර්ශනය කොට අග්‍රඵලය වූ රහත්බවට පැමිණීමට පහසු වේද, එබැවින් එම යෝගියාට සුදුසු වූ සෙනසුන දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ, අරඤ්ඤගතොවා යනාදිය වදාළහ.