චතුසච්ච පබ්බ වර්ණනාව
මෙසේ සම්බොජ්ඣංගයන්ගේ වශයෙන් ධම්මානුපස්සනා සතිපට්ඨානය විභාගකොට දැන් චතුස්සත්‍යයන්ගේ වශයෙන් විභාග කරනු පිණිස පුන චපරං යනාදිය වදාළ සේක.
එහි ඉදං දුකඛන්ති යථාභූතං පජානාති යනුවෙන් මෙහි තණ්හාව හැර ත්‍රෛභූමක ධර්මයන් දුකයයි යථා ස්වභාව වශයෙන් දැනගනී. නැවත දුක්ඛයාගේ මව වූ උපදවන්නී වූ පූර්ව තෘෂ්ණාව මේ දුක්ඛ සමුදය යයි ද ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ නොපැවැත්ම වූ නිර්වාණය මේ දුක්ඛ නිරෝධය යයි ද, දුක පිසිද දැන ගන්නා වූ සමුදය දුරු කරන්නා වූ නිරෝධය පසක් කරන්නා වූ ආර්ය මාර්ගය, මේ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාව යයි ද යථා ස්වභාව වශයෙන් දැනගනී යන අර්ථයි. අවශේෂ වූ ආර්ය සත්‍ය කථාව විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය.
ඉති අජ්ඣත්තං වා යනුවෙන් මෙසේ තමාගේ චතුස්සත්‍යයන් හෝ පරිග්‍රහණය කොට අනිකෙකුගේ හෝ කලෙක තමාගේ හෝ කලෙක අනිකෙකුගේ හෝ චතුරාර්ය සත්‍යයන් පරිග්‍රහණය කොට ආර්ය සත්‍ය ධර්මයන්හි ධම්මානුපස්සීව වාසය කරයි. මේ සත්‍ය වර්ණනාවේ සමුදය-වය වනාහි චතුස්සත්‍යයන්ගේ අවිපරීත ස්වභාවයෙන් උත්පත්ති නිවෘත්ති වශයෙන් දතයුත්තාහුය. මෙයින් මත්තෙහි කී ක්‍රමයමයි.
හුදෙක් මෙහි චතුසච්ච පිරිසිඳ දන්නා වූ සතිය දුක්ඛ සත්‍යයයි මෙසේ යෝජනාකොට සච්ච පරිග්ගාහක භික්‍ෂුවගේ නිර්වාණය අරමුණු කොට සංසාර වට්ටයෙන් නික්ම යන ද්වාරය යයි දතයුතු. සෙස්ස එබඳුමැයි.
චතුසච්ච පබ්බ නිමි.
මෙතෙකින්, ආනාපානං, චතුඉරියාපථං, චතු සම්පජඤ්ඤං, දවත්තිංසාකාරං, චතුධාතු වවත්‍ථානං, නවසිවථිකා, වෙදනානු පස්සනා, චිත්තානු පස්සනා, නීවරණ පරිග්ගහ, ඛන්‍ධ පරිග්ගහ, ආයතන පරිග්ගහ, බොජ්ඣංග පරිග්ගහ, සච්ච පරිග්ගහ යයි එක්විසි කර්මස්ථාන කෙනෙක් වදාරණ ලද්දාහුමය.
එම කම්මට්ඨානයන් අතුරෙහි ආනාපාන සතිය ද්වත්තිංසාකාරය නවසිවථිකා යන එකලොස් අර්පණා කර්මස්ථානයෝ වෙති. දීඝභාණක මහාසීව ස්ථවිරයන් වහන්සේ නවසීවථිකයෝ ආදිනවානු පස්සනා වශයෙන් වදාරණ ලද්දාහු යයි කීහ. එහෙයින් උන්වහන්සේගේ මතයෙහි අර්පණා කර්මස්ථානයෝ දෙදෙනෙක්ම වෙති. සෙස්සෝ උපචාර කර්මස්ථානයෝය.
තව ද මේ සියලු කම්මට්ඨානයන්හි කිම අනිවෙසය (ප්‍රවේශය) උපදී ද නො උපදී ද යත්, නූපදනේ නොවෙයි. ඉරියාපථ, සම්පජඤ්ඤ, නීවරණ. බොජ්ඣංග කම්මට්ඨානයන්හි යම් හෙයකින් අභිනිවේශය නූපදීද සෙසු කම්මට්ඨානයන්හි උපදීද එහෙයින් මහාසීව තෙරණුවෝ මෙසේ කීවාහුය. මේ ඉරියාපථයෙහි අභිනිවේශය වෙයි. යම් හෙයකින් මේ යෝගාවචර තෙම සතර ඉරියාපථයෝ මට ඇත්දෝ හෝ නොහොත් නැද්ද, මට චතු සම්පජඤ්ඤයෝ ඇත්ද, නැත්ද, මට පංච නීවරණයෝ ඇත්ද, නැත්ද, මට සත්ත බොජ්ඣංගයෝ ඇද්ද, නැද්ද යනුවෙන් මෙසේ පරිග්‍රහ කෙරේ ද, එහෙයින් සියලු තන්හි අභිනිවෙසය වේයයි (දතයුතු.)
යොහි කොචි භික්ඛවෙ යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ එවං භවෙය්‍ය ආදියෙහි පටන් කියන ලද භාවනා අනුක්‍රමයෙන් වඩන්නේද, පාටිකංඛං කැමති විය යුතුයි. අවශ්‍යයෙන් වන සුලුය යන අර්ථයි. අඤ්ඤා රහත්ඵලය සති වා උපාදිසෙසෙ, උපාදානයන්ගේ ඉතුරුවක් ඇතිකල්හි, උපාදානයක් ප්‍රහීණ නොවූ කල්හි අනාගාමිතා. අනාගාමි බව.
මෙසේ සත් වසක් හුගේ වශයෙන් ශාසනයාගේ නෛර්යාණික බව දක්වා, නැවත එයිනුදු ඉතා මද වූ කලෙක නෛර්යාණික බව වන්නේ යයි, දක්වන්නාහු තිට්ඨන්තු භික්ඛවෙ යනාදිය වදාළහ. මෙම සියලුම කාල විශේෂය මධ්‍යම වෙනෙය්‍ය පුද්ගලයාගේ වශයෙන් වදාරණ ලදී. තියුණු නුවණ ඇති පුද්ගලයා සඳහා උදෑසන අනුශාසනා කරන ලද්දේ සවස් කාලයෙහි අධිගමයට පැමිණෙන්නේ යයි කියන ලදී.
මෙපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, මගේ ශාසනය මෙසේ නෛර්යාණික යයි දක්වා එක්විසි තැන්හිම රහත්ඵලය කුළු ගැන්වීමෙන් දේශනා කළ දේශනාව නිමවා වදාරන සේක්, එකායනො අයං භික්ඛවෙ, මග්ගො -පෙ- ඉති යන්තං වුත්තං ඉද මෙතං පටිච්ච වුත්තං යනුවෙන් වදාළ සේක. සෙස්ස ප්‍රකට වූ අර්ථ ඇත්තේම වෙයි.
සතිපට්ඨාන සුත්ත වර්ණනාව නිමි.
මැදුම් සඟි අටුවාවේ මූල පරියාය වග්ග නම් වූ ප්‍රථම වර්ගය නිමි.