බොජ්ඣංග පබ්බ වර්ණනාව
මෙසේ සවැදෑරුම් අධ්යාත්මික බාහිර ආයතනයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව විස්තරකොට දැන් බොජ්ඣංගයන්ගේ වශයෙන් විභාග කරනු පිණිස පුන චපරං යනාදිය වදාළහ. එහි බොජ්ඣංගෙසු යනු සත්ය අවබෝධ කරන සත්ත්වයාගේ අංග වූ, සන්තං ප්රතිලාභ වශයෙන් විද්යමාන වූ, සතිසම්බොජ්ඣංගං සති නම් වූ බොජ්ඣංගය මෙහි ආරබ්ධ විදර්ශකගේ පටන් යෝගාවචර තෙම මොනවට අවබෝධ කෙරේද, එහෙයින් සමබෝධි නම් වේ. නැතහොත් එම යෝගාවචර තෙම ‘සතිය’ ආදිකොට ඇති යම් සත් ධර්මයක්හුගේ එකතුවක් හේතුකොට ගෙන අවබෝධ කෙරේ ද, කෙලෙස් නිද්රාවෙන් නැගී සිටී ද, නැතහොත් සත්යයන් ප්රතිවෙධ කෙරේද, කෙලෙස් නින්දෙන් නැගී සිටී ද, නොහොත් සත්යයන් ප්රතිවෙධ කෙරේද, ඒ ධර්මයන්ගේ එකතුව සම්බෝධි නම් වේ. ඒ සම්බොධිහුගේ හෝ ඒ සම්බොධියගේ අංගනුයි සම්බොජ්ඣංග නම් වේ. එයින් කීහ. සති සංඛාතං බොජ්ඣංගං යයි සෙසු බොජ්ඣංගවලද මේ ක්රමයෙන්ම වචනාර්ථ දතයුතුය.
අසන්තං යනු නොලැබීම් වශයෙන් අවිද්යමාන වූ යථා ච අනුප්පන්නස්ස යනාදියෙහි වනාහි පළමුකොට සති සම්බොජ්ඣංගයාගේ - අත්ථි භික්ඛවෙ, සති සම්බොජ්ඣංගට්ඨානීයා ධම්මා තත්ථ යොනිසො මනසිකාරො බහුලීකරා අයමාහාරො අනුප්පන්නස්ස වා සති සම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සති සම්බොජ්ඣංගස්ස භිය්යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යනුවෙන් සති සම්බොජ්ඣංගයට කරුණු වූ ධර්ම වෙති. යෝනිසෝ මනසිකාරය කී ලක්ෂණ ඇත්තේමය. ඒ යෝනිසෝ මනසිකාරය එම සතියෙහි බහුලව පවත්නහුට සති සම්බොජ්ඣංගය උපදී.
ධර්මයෝ සතරදෙනෙක් සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවතිත්, සති සම්පජඤ්ඤය මුළා සිහි ඇති පුගුලන් වර්ජනය කිරීම, එළඹ සිටි සිහියෙන් යුතු පුද්ගලයන් ඇසුරු කිරීම, එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් වෙත නැමුනු බව යන මොහුයි. එය එසේමැයි, අභික්කන්තාදි සත් තන්හි සාර්ථක ආදි සම්පජඤ්ඤයාගේ වශයෙන් ද, බත් සඟවා තැබූ කවුඩෙකු මෙන් මුළා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කිරීමෙන් ද තිස්ස දත්ත අභය තෙරවරුන් වැනි වූ එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් සේවනය කිරීමෙන් ද, හිඳීම, සිටීම් ආදියෙහි සිහිය ඉපදවීම පිණිස නැමුනු අවනත වූ අභිමුඛ සිත් ඇති බැවින් ද, සති සම්බොජ්ඣංගය උපදී. මෙසේ සතර කරුණින් උපන් සති සම්බොජ්ඣංගය වනාහි රහත් මගින් භාවනා සම්පූර්ණ වේයයි දැනගනී.
ධම්මවිචය සම්බොජ්ඣංගය
ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වනාහි අත්ථි භික්ඛවෙ, කුසලා කුසලා ධම්මා -පෙ- කණ්හ සුක්ක සප්පටිභාගා ධම්මා තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචය සම්බොජ්ඣංගස්ස භීය්යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තන්ති යයි මෙපරිද්දෙන් ඉපදීම වෙයි.
තව ද ධර්මයෝ සත්දෙනෙක් ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවතිත්, පටිපුච්ඡකතා (හාත්පසින් විමසා බැලීම) බාහිර අභ්යන්තර වස්තූන්ගේ පිරිසිදු බව, ඉන්ද්රිය සම මත්ත පටිපාදනා (ඉන්ද්රියයන්ගේ සමබව පිළියෙල කිරීම) මෝඩ පුද්ගලයන් දුරුකිරීම ප්රඥාවත් පුද්ගලයන් ඇසුරු කිරීම, ගම්භීර ඤාණචරිය පච්ච වෙක්ඛනා, (=ගැඹුරු වූ, නුවණැත්තන් විසින් අවබෝධ කළයුතු ධර්මයන් ප්රත්යවේක්ෂා කිරිම) තදධිමුත්තතා (එය නැඹුරු වූ සිත් ඇති බව) යන මොහුයි.
වත්ථුවිසද කිරියා
වත්ථු විසද කිරියා යනු අභ්යන්තර බාහිර වස්තූන්ගේ පිරිසිදු බව ඇති කිරිමයි. යම්හෙයකින් යම්විටක ඔහුගේ කෙස් ලොම් නිය ඉතා දික් වෙත් ද, ශරීරයෙහි හෝ උස්සන්න වූ දෝෂ ඇත්තේ ඩහදිය මල වැකුනේත් වේද එහි අධ්යාත්මක වස්තු අවිසද වූයේ අපිරිසිදු වූයේ වෙයි. යම්විටක සිවුරු දිරූයේ කිලිටි වූයේ දුගඳ වූයේ වෙද, සෙනස්න හෝ එසේ වූයේ වේද එකල්හි බාහිර වස්තු අවිසද වූයේ අපිරිසිදු වූයේ වෙයි. එහෙයින් කෙස් ආදිය කැපීමෙන් ද ඌර්ධව විරේචන අධො විරේචන ආදියෙන් ශරීරයාගේ සැහැල්ලු බව කිරීමෙන් ද අඟ ඉලීමෙන් හා නෑමෙන්ද ආධ්යාත්මික වස්තු පිරිසිදු කළ යුතුය.
මැසීම් සේදීම් රැඳීම් පිරිබඩ කිරීම් (අළුත්වැඩියා කිරීම්) ආදියෙන් බාහිර වස්තු පිරිසිදු කළ යුතුය. මෙම අධ්යාත්මික බාහිර වස්තූන්ගේ පිරිසිදුභාවය නැති වූ කල්හි චිත්ත චෛතසිකයන් පිළිබඳ ඤාණයද අපිරිසිදු වූයේ වෙයි. එසේමැයි. අපිරිසිදු වූ පහන්වැටි තෙල් නිසා උපන් පහන් සිලුවෙහි ආලෝකය මෙනි. නැවත පිරිසිදු වූ අධ්යාත්මික බාහිර වස්තුවෙහි චිත්ත චෛතසිකයන් උපන් කල්හි ඤාණයත් පිරිසිදු වෙයි. පිරිසිදු වූ පහන්වැටි තෙල් නිසා උපන් පහන් සිලුවෙහි ආලෝකය මෙනි. එහෙයින් කියන ලදී. වස්තුවිසද කිරියාව ධම්මවිචය බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවතී යයි.
ඉන්ද්රිය සමත්වය
ඉන්ද්රිය සමත්ත පටිපාදනා නම්, සද්ධා ආදි ඉන්ද්රියයන්ගේ සමබව ඇතිකර ගැනීමයි. ඉදින් මෙම යෝගාවචරයාට වනාහි යම් හෙයකින් සද්ධා ඉන්ද්රිය බලවත් වේද, අනිත් ඉන්ද්රියයෝ හීන වෙත් ද, එබැවින් විරිය ඉන්ද්රිය පග්ගහ කෘත්ය ද. (උත්සාහය) සති ඉන්ද්රිය උපට්ඨාන කෘත්යයද සමාධි ඉන්ද්රිය අවික්ෂේප කෘත්යය ප්රඥා ඉන්ද්රිය දස්සන කෘත්යයද කරන්ට නොහැකි වෙයි. එබැවින් ඒ ශ්රද්ධෙන්ද්රිය ධර්මස්වභාවය ප්රත්යවේක්ෂා කිරීමෙන් හෝ යම් ආකාරයකින් මෙනෙහි කරන්නහුට බලවත් වුයේනම්, එපරිද්දෙන් මෙනෙහි නොකිරීමෙන් හෝ ගෙවා දැමිය යුතුය. මෙම කරුණෙහිලා වක්කලී තෙරුන්ගේ වස්තුව නිදර්ශන වෙයි. යම්හෙයකින් විරිය ඉන්ද්රිය බලවත් වීනම් එකල්හි ශ්රද්ධා ඉන්ද්රිය අධිමෝක්ෂ කෘත්යය කරන්ට අපොහොසත් වෙයි. අනිකුත් ඉන්ද්රියයෝ ද අනිකුත් කෘත්ය භේදය කරන්ට නොපොහොසත් වෙයි. එහෙයින් එම විරිය ඉන්ද්රියද ඔහු විසින් ශ්රද්ධා ආදිය වැඩීමෙන් ගෙවිය යුතුය. මෙපරිද්දෙන් සෙස්සෙහිදු එක් ඉන්ද්රියයක්හුගේ බලවත් බව ඇතිකල්හි සෙසු ඉන්ද්රියයන්ගේ ස්වකීය කෘත්යයන්හි අසමත් බව දතයුතුය.