සමාධි සම්බොජ්ඣංගයාගේ අත්‍ථි භික්ඛවෙ, සමථ නිමිත්තං අබ්‍යග්ග නිමිත්තං තත්‍ථ යෝනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්සවා සමාධි සම්බොජ්ඣංගස්ස වා උප්පාදාය උප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣංගස්ස භීය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යනුවෙන් මෙසේ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේ. එහි සමථයම සමථ නිමිත්ත වේ. නැවත අවික්ඛෙප (චංචල නොවීම අර්ථයෙන් අබ්‍යග්ග නිමිත්ත නම් වේ.)
යලිදු එකළොස් ධර්ම කෙනෙක් සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවත්නාහුය. වත්‍ථුවිසද කිරියතාව, ඉන්‍ද්‍රිය සමත්ත පටිපාදනතාව, නිමිත්ත කුසලතාව, සුදුසු කාලයේ සිත දැඩිකොට ගන්නා බව, සුදුසු කාලයෙහි සිතට නිග්‍රහ කරන බව, සුදුසු කාලයෙහි සිත සතුටු කරන බවය, සුදුසු කාලයෙහි මධ්‍යස්ථවන බවය, සමාධි රහිත වූ පුද්ගලයන් දුරුකරන බවය. සමාධිගත සිත් ඇති පුද්ගලයන් සේවනය කරන බවය. ධ්‍යාන විමෝක්‍ෂයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන බවය. තද්ධිමුත්ත බවද යන මොවුහුයැ. එහි වත්‍ථුවිසදකිරියතාවයද, ඉන්‍ද්‍රිය සමත්ත පටිපාදනතාවද කී නයින් දතයුත්තාහුයි.
නිමිත්ත කුසලතාව නම් කසිණ නිමිත්ත පිළිබඳව උග්ගහන කුසලතාවයයි. සුදුසු කල්හි සිත දැඩිකොට ගැනීම නම්, යම්කලෙක ඉතා ලිහිල් වූ වීර්ය ඇති බැව් ආදිය නිසා හකුලන සිතක් වේද, එසමයෙහි ධම්මවිචය-විරිය-පීති බොජ්ඣංගයන්ගේ ඉපදවීමෙන් ඒ සිත දැඩිකොට ගැනීමයි. සුදුසු කල්හි සිතට නිග්‍රහ කිරීම නම්, යම්කලෙක අතිශයින් ආරද්ධ වීර්ය ඇතිවීම නිසා විසුරුනා වූ සිතක් වේද, එසමයෙහි පස්සද්ධි-සමාධි-උපෙක්ඛා බොජ්ඣංගයන්ගේ ඉපදවීමෙන් ඒ සිතට නිග්‍රහ කිරීමයි. සුදුසු කාලයෙහි (සිත) සතුටු කරන බවනම් යම් කලෙක සිත ප්‍රඥා ප්‍රයෝගය මද බැවින් හෝ, උපසම සුවය අධිගමය නොකිරීමෙන් හෝ ආස්වාද රහිත වේද, එසමයෙහි අෂ්ටවිධ වූ සංවේග වත්‍ථු ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් සංවේගයට පමුණුවයි.
සංවෙග වස්තු
අෂ්ට සංවේග වස්තු නම් ජාති-ජරා-ව්‍යාධි-මරණ යන සතරය, පස්වැනි වූ අපා දුකය, අතීත වට්ටමූලක දුක, අනාගත වට්ටමූලක දුකය, වර්තමානයෙහි ආහාර සෙවීම් මුල්කොට ඇති දුකය යන මොවුහු වෙති. තුණුරුවන් ගුණ මෙනෙහි කිරීමෙන් ද ප්‍රසාදය උපදවයි. මෙය සුදුසු කාලයෙහි පහදවන බවයයි කියනු ලැබේ.
සුදුසු කාලයෙහි මධ්‍යස්ථ වන බවනම් යම් කලෙක්හි මනා පිළිවෙතට පැමිණ නොහැකුලුනු නො විසුරුණු ආශ්වාද සහිත අරමුණෙහි සමව පැවැති සමථ වීථියට බැසගත් සිත වේද, එකල්හි ඔහුට ප්‍රග්‍රහ-නිග්‍රහ-සම්ප්‍රහර්ෂණයන්හි, උත්සාහයට නොපැමිණෙයි. අසුන් සමව පැවැති කල්හි රියදුරා මෙනි. මෙයට සුදුසු කාලයෙහි මධ්‍යස්ථ වීම යයි කියනු ලැබේ.
සමාධි රහිත පුද්ගලයන් දුරුකිරිම නම්, උපචාර සමාධියට හෝ අර්පණා සමාධියට නොපැමිණි විසුරුණු සිත් ඇති පුද්ගලයන් දුරුකිරීමයි. සමාහිත පුද්ගලයන් සේවනය කිරීම යනු, උපචාර සමාධියෙන් හෝ අර්පණා සමාධියෙන් එකඟ වූ සිත් ඇති පුද්ගලයන් සේවනය භජනය පර්යුපාසනයයි. තද්ධිමුත්තතා නම්, හිඳීම් සිටීම ආදියෙහි සමාධිය ඉපදවීම පිණිසම නැමුනු බැසගත් අභිමුඛ වූ සිත් ඇති බවයි. මෙසේ පිළිපදින්නහුට මේ සමාධි බොජ්ඣංගය උපදී. මෙපරිද්දෙන් උපන් මෙම බොජ්ඣංගයාගේ රහත් මගින් වැඩීමෙන් පරිපූර්ණත්වයට පැමිණේ යයි දැනගනී.
උපෙක්ඛා සම්බොජ්ඣංගය
උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ අත්‍ථි භික්ඛවෙ උපෙක්ඛා සම්බොජ්ඣංගට්ඨානියා ධම්මා තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්සවා උපෙක්ඛා සම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස උපෙක්බා සම්බොජ්ඣංගස්ස භිය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යයි මෙසේ උප්පාදය සිදුවේ. එහි උපෙක්ඛාවම උපෙක්ඛා සම්බොජ්ඣංග ඨානිය ධම්ම නම් වේ.
තව ද ධර්මයෝ පස්දෙනෙක් උපෙක්ඛා බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවත්නාහුය. සත්‍ව මධ්‍යස්ථතාවය, සංස්කාර මධ්‍යස්ථතාවය, සත්ත්ව සංස්කාරයන් මමත්වයෙන් සලකන පුද්ගලයන් දුරුකරන බවය, තදධිමුත්ත භාවය යන මොහුයි.