උද්දේස වාර වර්ණනාව
එකායනො අයං භික්ඛවෙ මග්ගො යනුවෙන් කුමන හේතුවක් නිසා බුදුරදහු මෙම සූත්රය වදාළ සේක්ද? කුරුරට වැසියන්ගේ ගැඹුරු දහම් අවබෝධයෙහි හැකියාවක් ඇති බැවිනි. කුරුරට වැසි භික්ෂු භික්ෂුණීහුද උපාසක උපාසිකාවෝ ද සුදුසු දේශගුණය, සුදුසු ප්රත්යය සම්පූර්ණ බැවින් ඒ රටෙහි වූ සැපවත් වූ සෘතු-ප්රත්යය සේවනය කිරීමෙන් නිතර නිරෝගී වූ සිරුරු ඇත්තාහු ද යෝගය සිත් ඇත්තාහු ද වෙති. ඔවුහු චිත්ත-ශරීර යහපත් බැවින් එයින් ලද ඥාන බල ඇත්තාහු, ගැඹුරු දහම් පිළිගැනීම සමර්ථයෝ වෙති. ඒ කරුණ නිසා බුදුරදහු ඔවුන්ගේ මෙම ගැඹුරු දහම් පිළිගැනීමේ සමර්ථ බව දන්නා සේක් එක්විසි තැනක රහත් බව දක්වා වූ කමටහන්හි පිහිටුවා මේ ගැඹුරු අරුත් ඇති සතිපට්ඨාන සූත්රය වදාළ සේක.
ඒ එසේමැයි. යම්සේ මිනිසෙක් රුවන් කරඬුවක් ලැබ එහි විවිධ පුෂ්පයන් බහාලන්නේද, කුඩා රන් මංජුසාවක් (පෙට්ටියක්) ලැබ සත්රුවන් බහාලන්නේ ද එපරිද්දෙන් භාග්යවත්හු කුරුරට වැසි පිරිස ලැබ ගැඹුරු වූ දේශනා දෙසූ සේක. එහෙයින්ම මෙහිදී අන්ය වූ ගැඹුරු අරුත් ඇති දික්සඟියෙහි මහානිදාන මහාසතිපට්ඨාන මැදුම් සඟියෙහි සාරෝපම, රුක්ඛුපම, රට්ඨපාල, මාගන්දිය, ආනඤ්ජසප්පාය යන අන්ය වූ සූත්රයන්ද දෙසූ සේක.
තවද එම ජනපදයෙහි සිවුපිරිසම සතිපට්ඨාන භාවනානුයෝගී වූවාහුම වෙසෙති. යටත් පිරිසෙන් දාස කම්කරු පිරිවර ජනයෝ ද සතිපට්ඨාන සම්බන්ධ වූම කථාවන් කරති. පැන්තොට නූල්කටින තැන ආදි තන්හිද නිරර්ථක කථා නො කරති. ඉදින් කිසි ස්ත්රියක් මෑණියෙනි, තෙපි කිනම් සතිපට්ඨාන භාවනාවක් මෙනෙහි කෙරෙහි දැයි විචාරණ ලද්දී කිසිවක් නැතැයි කියානම් ඇයට ගරහති. තිගේ ජීවිතයට නින්දා වේවා, ජීවත් වන්නියක වුවද තී මළතැනැත්තියක සමානයයි (පවසා) ඉක්බිති ඇයට යලිදු මෙසේ නොකරවයි අවවාදකොට එක්තරා සතිපට්ඨානයක් උගන්වති. යම් ස්ත්රියක් මම අසවල් සතිපට්ඨාන මෙනෙහි කරමි යයි කී කල්හි ඇයට සාධු, සාධු යයි සාධුකාර දී තිගේ ජීවිතය සොඳුරු වූවකි. තී නම් මිනිස් බවට පැමිණියා වෙයි. තී සඳහා බුදුවරයෝ උපදින්නාහු යයි මේ ආදි වචනවලින් ප්රශංසා කරති. තව ද මේ ජනපදයෙහි මිනිස් ජාති ඇත්තාහුට සතිපට්ඨාන මනසිකාරයෙහි යෙදුනාහු නොවෙති. ඔවුන් ඇසුරුකොට වාසය කරන්නා වූ තිරිසන් ගතයෝ පවා සතිපට්ඨාන මනසිකාරය මෙනෙහි කරති. තිරිසන් සතුන්ගේ සතිපට්ඨාන මෙනෙහි කිරීම පිළිබඳ මේ වස්තුවකි.
සතිපට්ඨාන මෙනෙහි කළ ගිරා පෝතකයෙක්
එක්තරා නළු පිරිසක් සුවපෝතකයෙකු ගෙන හික්මවමින් ඒ නළු සමූහය තෙම මෙහෙණි අසපුවක් ඇසුරු කර යනකල සුවපෝතකයා සිහිනොකොට ගියේය. සාමණේරීහු ඒ සුවපෝතකයා ගෙන පෝෂණය කළාහුය. ඔහුට බුද්ධරක්ඛිත යයි නමක්ද තැබුහ. දිනක් ඉදිරියෙහි සිටි සුවපෝතකයා දැක, මහාස්ථවිරී තොමෝ බුද්ධරක්ඛිතයයි (කථා කළාය)
ආර්යාවනි, කිමදැයි (ඇසීය)
තාගේ කිසියම් භාවනා මෙනෙහි කිරීමක් ඇත්ද,
ආර්යාවනි නැත,
ඇවත පැවිද්දන් සමීපයෙහි වසන්නහු විසින් නම් හරණල ද (භාවනාවෙන් තොර) ආත්මභාවයක් ඇත්තෙක් වන්ට නොවටී. කිසියම් මෙනෙහි කිරීමක් කැමතිවිය යුත්තේය. තෙපි වනාහි අනිකක් නොහැකි වන්නෙහි, අට්ඨි, අට්ඨි යයි හැදෑරීම කරව, හෙතෙම තෙරණියගේ අවවාදයෙහි සිට අට්ඨි අට්ඨි යයි හදාරමින් වෙසෙයි.
එක්දිනක් උදෑසනම තොරණෑ අග සිට ළහිරු රැස් තප්නා වූ ඒ සුවපෝතකයා එක් ලිහිණියෙක් නියමැදුරෙන් අල්වා ගති. හෙතෙම කී කී යයි ශබ්ද කළේය. සාමණේරීහු ඔහුගේ ශබ්දය අසා, ආර්යාවෙනි, බුද්ධරක්ඛිත ලිහිණියෙකු විසින් ගන්නා ලද්දේය. ඔහු මුදවන්නෙමු යයි ගල් ආදිය ගෙන ලුහුබැඳ මිදවූවාහුය. ගෙනවුත් ඉදිරියෙහි තබන ලද ඔහුට තෙරණිය මෙසේ කීවාය.
බුද්ධරක්ඛිතය ලිහිණියා විසින් ගත්කල්හි කුමක් සිතුවෙහිද?
අනිකක් නොසිතීමි. ඇට රැසක්ම ඇට රැසක් ගෙනයයි. කවර තැනෙක්හි නමුත් විසිර යන්නේය. ආර්යාවෙනි, මෙසේ අට්ඨි සංඥාවම සිතුවෙමියි,
සාධු, සාධු බුද්ධරක්ඛිතය අනාගතයෙහි භවක්ෂය කිරීම පිණිස තම ප්රත්යය වන්නේ යයි, මෙසේ ඒ කුරු ජනපදයෙහි තිරිසන් ගණයෝ පවා සතිපට්ඨාන මෙනෙහි කිරීමෙහි යෙදුනාහුය. එහෙයින් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන වෘද්ධියම දන්නා සේක් මෙම සුත්රය වදාළහ.