දකුණු දිගින් පැමිණෙන්නාහු දකුණු දිග උපදනා බඩුගෙන දකුණු දිගින්ම නුවරට වදිත් ද, එපරිද්දෙන් වේදනානුපස්සනා ද්වාරයෙන් පැමිණෙන්නාහු නවප්‍රකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාව වඩා එයින් උපන්නා වූ ආර්ය මාර්ගයෙන් නිවනටම වදනාහුය.
පෑලදිගින් එන්නහු පෑලදිග උපදිනා බඩුගෙන පෑලදොරින් යම්සේ නුවරට වදිත් ද, එපරිද්දෙන් චිත්තානුපස්සනා භාවනා ද්වාරයෙන් පැමිණෙන්නාහු. සොලොස් ප්‍රකාරයකින් චිත්තානුපස්සනා භාවනාව වඩා, චිත්තානු භාවනා බලයෙන් උපන් ආර්ය මාර්ගයෙන් හුදු නිවන් පුරයටම වදනාහුය.
උතුරුදිගින් පැමිණෙන මිනිස්සු උතුරු දෙස උපදින බඩුගෙන උතුරු දොරින් යම්සේ නුවරට පිවිසෙත්ද එපරිද්දෙන්ම, ධම්මානුපස්සනා දොරටුවෙන් පැමිණෙන හික්මෙන ජනයෝ පංචප්‍රකාර වූ ධම්මානුපස්සනා සතිපට්ඨානය භාවනාකොට එයින් උපන් ආර්ය මාර්ගයෙන් නිර්වාණයටම වදනාහුය.
මෙසේ හැසිරීම් වශයෙන් ද එක්තැනක රැස්වීම් වශයෙන් ද එකක්ව සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක්ම කොට වදාරණ ලද්දාහු යයි දතයුතුය.
කතමෙ චත්තාරො යනු කථෙතුකම්‍යතා පුච්ඡායි ඉධ මේ ශාසනයෙහි, භික්ඛවෙ යනු මෙය, ධම්ම පටිග්ගාහක පුග්ගල ආලපනයයි. භික්ඛු යනු පටිපත්ති සම්පාදනය කරන්නා වූ පුද්ගලයා දැක්වීමයි. අන්‍ය වූ ද දෙවි මිනිස්සු ද ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙත්මැයි. එතකුදු වුවත් ශ්‍රේෂ්ඨ බැවින් ද, ප්‍රතිපත්තිය හේතුකොටගෙන භික්‍ෂුභාවය දක්නා හෙයින්ද භික්ඛු යයි වදාළහ. ඒ එසේමැයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවුන් අතුරෙන් භික්‍ෂූහු ශ්‍රේෂ්ඨ වෙති. සර්වප්‍රකාරයෙන්ම අනුශාසනාවට භාජනය වූ බැවිනි. එහෙයින් ශ්‍රේෂ්ඨ බැවින් භික්ඛූ යයි වදාළහ. තවද ශ්‍රේෂ්ඨ වූ භික්‍ෂුව ගත්කල්හි, සෙසු දිව්‍ය මනුෂ්‍යයෝ ද ගන්නා ලද්දාහුම වෙති. රජුගේ ගමනාදියෙහි දී රජු ගැනීමෙන් සෙසු පිරිසද ගත්තා වෙයි. යමෙක් මෙම පිළිවෙතෙහි පිළිපදී ද, හෙතෙම භික්‍ෂු නම් වේයයි ප්‍රතිපත්තිය හේතුකොට භික්‍ෂුභාවය දක්නා හෙයින් ද ‘භික්ඛු’ යයි වදාළහ. පිළිවෙතෙහි යෙදුන තැනැත්තේ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ වේවා භික්‍ෂු යයි ගණන් ගැනීමට යේ මැයි. එයින් වදාළහ.
අලංකතො චෙපි සමං චරෙය්‍ය
සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං
සො බ්‍රාහ්මණො සො සමණො ස භික්ඛු යනුවෙන්
(වස්ත්‍ර ආභරණ ආදියෙන් සැරසුන, යම් පුද්ගලයෙක් කාය විෂමාදිය. හැර සම තත්ත්වයෙහි පවතී ද, සංසිඳුනු කෙලෙස් ඇති බැවින් ශාන්තද, ඉන්‍ද්‍රිය දමනය ඇත්තේ ද, මාර්ග නියමයෙන් නියත වූයේ ද, බඹසර ඇත්තේ ද, සියලු සත්ත්වයන් කෙරෙහි බහා තැබූ කාය දණ්ඩාදිය ඇත්තේ ද, මෙබඳු පුද්ගල තෙම බ්‍රාහ්මණ යයි ද, ශ්‍රමණ යයි ද භික්‍ෂු යයි ද කිය යුතු වේ.)
කාය
කායෙ රූප කයෙහි, මෙහි රූපකය අංග-ප්‍රත්‍යාංගයන්ගේ ද, කේසා ආදී ධර්මයන්ගේද සමූහාර්ථයෙන් හත්‍ථිකාය, රථකාය ආදිය මෙන් කායයයි අදහස් කරන ලදී. තව ද සමූහාර්ථයෙන් යම්සේ කාය වීද, එපරිද්දෙන්ම කුත්සිත වූ කෙසාදීන්ගේ උත්පත්ති ප්‍රදේශය යන අර්ථයෙන් කාය නම් වේ. ආය නම් උත්පත්ති දේශයයි. එහි මේ වචනාර්ථයි. එහි උපදිත්නුයි ආය නමි. කවුරු උපදිත් ද යත්, කුත්සිත වූ කේශ ආදීහුය. එහෙයින් කුත්සිත වූ කේශාදීන්ගේ උත්පත්ති දේශය නුයි කාය නම් වේ. කායානුපස්සි කය අනුව බලනසුලු වූයේ නොහොත් කය අනුව බලමින්,
කායෙ යයි වදාරා යලිත් කායානුපස්සී යයි දෙවෙනි කාය ග්‍රහණය අසම්මිශ්‍ර වශයෙන්, චතුධාතුවවත්‍ථානය, ඝන විනිර්භෝගය (ඝන වෙන්කොට දැක්වීම) දැක්වීම පිණිස කරන ලදැයි දතයුතුයැ. එම දෙවෙනි කාය ශබ්දයාගේ ගැනීමෙන් වේදනාව අනුව බලනසුලු වූයේ හෝ චිත්ත ධර්මයන් අනුව බලනසුලු වූයේ හෝ නොවේ. කය අනුව බලනසුලු වූයේම යයි කායසංඛ්‍යාත වූ වස්තුවෙහි කය අනුවම බලන ආකාරය දැක්වීමෙන් අසම්මිශ්‍ර වශයෙන් වවත්‍ථානය දක්වන ලද්දේ වෙයි. එසේම කයෙහි අංග ප්‍රත්‍යංගයන්ගෙන් තොර වූ එක් ධර්මයක් අනුව බලනසුලු වූයේ නොවෙයි. කේශ-ලෝම ආදියෙන් තොර වූ ස්ත්‍රී පුරුෂයන් අනුව බලනසුලු වූයේ නොද වෙයි. යලි කෙසේ බලනසුලු වූයේද යත්, තව ද, මෙහි කේශ-ලෝම ආදී වූ භුත උපාදාය සමූහයක් නම් වූ යම් ශරීරයක් වේද, එම ශරීරයෙහිද, භූත-උපාදාය-රූපයන්ගෙන් තොර වූ එක් ධර්මයක් අනුව බලන සුලුවූයේ නොවෙයි. වැලි කෙසේ බලනසුලු වූයේ ද යත්, රථයාගේ අවයව පිළිවෙලින් බලන්නකු මෙන් අඟපසඟ සමූහය පිළිවෙළින් බලනසුලු වූයේ නගරයක අවයව පිළිවෙලින් බලන්නකු මෙන් කේශ-ලෝම ආදි සමූහයන් පිළිවෙලින් බලන සුලු වූයේ, කෙසෙල් කඳක පතුරු වෙන් කරන්නෙකු මෙන්ද හිස් වූ අතෙහි මිට විදහා පෙන්වන්නෙකු මෙන් ද භූත-උපාදාය-රූප සමූහය පිළිවෙලින් බලනසුලු වූයේ වේයයි නානාප්‍රකාරයේ සමූහ වශයෙන්ම කාය සංඛ්‍යාත වස්තුවගේ දර්ශනයෙන් ඝන විනිර්භෝගය (සන්තතිය වෙන් කිරීම) දක්වන ලද්දේ වෙයි. මෙම සිරුරෙහි කියන ලද සමූහයෙන් වෙන් වූ කයක් හෝ ස්ත්‍රී ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ අන්කිසි ධර්මයක් හෝ නොම දක්නා ලැබේ. යථොක්ත ධර්ම සමූහයක් පමණක් වූ මේ කයෙහි සත්ත්වයෝ වරදවා ගැනීම කෙරෙති. එයින් කීහු පුරාණාචාර්යයෝ-
යං පස්සති නතං දිට්ඨං යං දිට්ඨං තං න පස්සති
අපස්සං බජ්ඣතෙ මූළ්හො බජ්ඣමානො නමුච්චති
(බාලතම ස්ත්‍රී පුරුෂ ආදි වශයෙන් යමක් දකීද එය කේශ-ලෝම ආදි හෝ අශුභාදි වශයෙන් නොදක්නා ලද වෙයි. ස්ත්‍රී පුරුෂ ආදි වශයෙන් යමක් දක්නා ලදද එය නුවණින් නො දකී. නුවණින් නොදක්නේ සංයෝජනය විසින් බඳනා ලද්දේ වෙයි. බඳිනු ලබන්නා වූ හෙතෙම සසර දුකින් නො මිදෙයි.)
ඝන විනිබ්භොග දස්සනත්‍ථං යයි කියන ලද මෙහි ආදි ශබ්දයෙන් මෙම අර්ථය දතයුතුයි. මෙතෙම වනාහි තෙල ශරීරයෙහි, කය අනුව බලමින් වෙසෙයි. අන්‍ය ධර්මයන් අනුව බලනසුලු වූයේ නොවෙයි කියායි. කුමක් කියන ලද්දේ වේද යත්, ජලය නොවූම මිරිගුවෙහි, මෘගයෝ යම්සේ ජලය යන සංඥා ඇතිව බලන්නාහු වෙත්ද, එපරිද්දෙන් අනිත්‍ය දුක්ඛ-අනාත්ම-අශුභ වූම මේ කයෙහි නිත්‍ය-සුබ-ආත්ම-ශුභ අනුව බලනසුලු වූයේ නොවෙයි. නැවත, කුමක් අනුව බලනසුලු වූයේද යත් කය අනුව බලනසුලු වූයේ, අනිත්‍ය, දුක්ඛ-අනාත්ම-අශුභ ආකාර වූ (කේසාදි) සමූහයක් අනුව බලනසුලු වූයේම යයි කියන ලද්දේ වෙයි.
නැතහොත් මත්තෙහි ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො -පෙ- සො සතොව අස්සසති යනාදි නයින් ආශ්වාස ප්‍රාශ්වාස ආදිකොට ඇති, සුණු වූ අස්ථිකාය අවසන්කොට ඇති යම් මේ කයක් වදාරණ ලද්දේද, ඉධෙකච්චො පඨවිකායං අනිච්චතො අනුපස්සති ආපොකායං තෙජොකායං වායො කායං කෙසකායං, ලොමකායං ඡවිකායං චම්මකායං වංසකායං රුහිරකාරං නහාරුකායං අට්ඨිකායං අට්ඨිමිඤ්ජාකායං යනුවෙන් (පටිසම්භිදා මග්ගයෙහි) කාය ගුණ කියන ලද්දේ වෙයි. (පඨවිධාතු සමූහය, වායෝ ධාතු සමූහය, කේශ සමූහය, රෝම සමූහය, සිවි සමූහය, චර්ම සමූහය, මාංශ සමූහය, රුධිර සමූහය, නහර සමූහය, ඇට සමූහය, ඇටමිදුලු සමූහය, අනිත්‍ය වශයෙන් නැවත නැවත බලයි.) පටිසම්භිදා මග්ගයෙහි යම් නයකුත් වදාරණ ලද්දේ ද, ඒ සමූහය මෙම ශරීරයෙහිලා නැවත නැවත බලන හෙයින් කයෙහි පඨවි ධාතු සමූහය බලනසුලු වූයේ යයි මෙසේත් අර්ථය දතයුතුය.