ඉදින් සතියම සතිපට්ඨාන වීනම් කුමක් හෙයින් සතිපට්ඨානා යනුවෙන් බහුවචන වීද යත්? සති බොහෝ බැවිනි. සැබව, ආලම්බන භේදයෙන් සතීහු බොහෝ වෙති. එකල්හි මග්ගො යනුවෙන් කුමක් හෙයින් එකවචන වීද යත්, මාර්ග අර්ථයෙන් එකක් බැවිනි. සැබව, මේ සතර සතීහුම මාර්ග අර්ථයෙන් එකක් බවට යෙති. මෙසේ වදාරණ ලදී. මග්ගොති කෙනට්ඨෙන මග්ගො, නිබ්බානගමනට්ඨෙන නිබ්බානත්ථිකෙහි, මග්ගනීයට්ඨෙන ච යයි තව ද මේ සතිපට්ඨානයාගේ සතරදෙනම අපර භාගයෙහි කායාදි ආලම්බනයන්හි, කෘත්ය සිද්ධ කරමින් නිර්වාණය කරා පැමිණෙත් ද, මුලපටන්ම නිර්වාණාර්ථීන් විසින් සෙවීම කරනු ලැබෙත් ද, එහෙයින් සතරම එක මාර්ගයකැයි කියනු ලැබෙත්. මෙසේ ඇති කල්හි වචනානුසන්ධියෙන් අනුසන්ධි සහිත වූම දේශනාතොමෝ වෙයි. මාරසෙනප්පමද්දනං වො භික්ඛවෙ, මග්ගං දෙසිස්සාමි තං සුණාථ, -පෙ- කතමාච භික්ඛවෙ, මාරසෙනප්පමද්දනො මග්ගො යදිදං සත්ත බොජඣංගා යනාදියෙහි මෙනි. මාරසෙනප්පමද්දනො යනුද සත්තබොජ්ඣංගා යනුද යම්සේ අර්ථ වශයෙන් එකක් වූයේ ව්යඤ්ජනයම විවිධ වේද, එසේම එකායන මග්ගො යනුද, චත්තාරො සතිපට්ඨානා යනුද අර්ථ වශයෙන් එකකි. ව්යඤ්ජනයම විවිධ වෙයි. එහෙයින් මාර්ගාර්ථයෙන් එකක් බැවින් ඒකවචනය ආලම්බන භේදයෙන් සති බහුත්වයෙන් බහුවචන යයි දතයුතුයැ.
සතිපට්ඨාන හතරක්ම දේශනා කිරීම
කුමක් හෙයින් භාග්යවත්හු විසින් නොඅඩු වූ නොවැඩි වූ සතිපට්ඨාන හතරක්ම වදාරණ ලද්දාහුද? හික්මෙන ජනතාවට හිතවත් බැවිනි. සැබව, තණ්හා චරිත දිට්ඨි චරිත, සමථයානික, විපස්සනා යානිකයන් අතුරෙහි ද මන්ද තික්ඛ වශයෙන් දෙපරිද්දකින් පවත්නා වූ වෙනෙය්ය ජනයන් අතුරෙහි මන්දබුද්ධික තණ්හා චරිතයාට ඕළාරික වූ කායානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වේ.
තික්ඛ (තීෂණ වූ) තෘෂ්ණ චරිතයාට සියුම් වූ වෙදනානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වේ.
දෘෂ්ටි චරිතය පිළිබඳ වූ ද මද නුවණ ඇත්තහුට ඉතා ප්රභේදයකට නොපැමිණි චිත්තානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි.
තියුණු නුවණ ඇත්තහුට ඉතා ප්රභේදයට පැමිණි ධම්මානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි.
සමථයානිකයා පිළිබඳ වූ, මන්දබුද්ධිකයාට පහසුවෙන් අවබෝධ කළහැකි නිමිති ඇති පළමුවන සතිපට්ඨානය විසුද්ධිමාර්ගය වෙයි.
තියුණු නුවණ ඇත්තාට මහත් වූ අරමුණෙහි නොපිහිටන හෙයින් දෙවෙනි සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි.
විපස්සනායානික වුද, මන්දප්රාඥයාට ඉතා ප්රභේදයට නොපැමිණි අරමුණු ඇති, තුන්වන සතිපට්ඨානය විසුද්ධිමාර්ගය වෙයි.
තියුණු නුවණ ඇත්තාට ඉතා ප්රභේදයට පැමිණි අරමුණු ඇති සතරවෙනි සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි. එහෙයින් නොඅඩු වූ නොවැඩි වූ සතිපට්ඨාන හතරක්ම වදාරණ ලද්දාහුය.
සුභ-සුබ-නිච්ච-අත්තභාවයන් පිළිබඳ විපර්යාසයන්ගේ ප්රහාණය පිණිස හෝ (සතිපට්ඨාන හතරක් වදාරණ ලද්දාහුය) එසේමැයි, කය අශුභය. ඒ කයෙහිදු සත්ත්වයෝ සුභයයි පෙරලා ගැනීමෙන් විපර්යාසයට පැමිණියාහුය. ඔවුන්ට එහි අශුභභාවය දැක්වීමෙන් ඒ විපර්යාසයාගේ ප්රහාණය පිණිස පළමුවන සතිපට්ඨානය වදාරණ ලදී.
සුඛය නිත්ය ආත්මය යයි, ගත්තා වූද වේදනාවන් අතුරෙහි වේදනා තොමෝ දුක්ය. චිත්තය අනිත්යය. ධර්මයෝ අනාත්මයෝය. එම වේදනා ආදියෙහි ද සත්ත්වයෝ, සුඛ, නිත්ය, ආත්ම වශයෙන් ගැනීමෙන් විපර්යාසයට පැමිණියාහුය. ඔවුනට එහි දුක්ඛාදී භාවය දැක්වීමෙන් එම විපර්යාසයන්ගේ ප්රහාණය පිණිස සෙසු සතිපට්ඨාන තුන වදාරණ ලද්දාහු යයි මෙසේ ශුභ-සුබ-නිත්ය-ආත්ම භාව විපර්යාසයන්ගේ ප්රහාණය පිණිස හෝ නොඅඩු වූ ද, නොවැඩි වූ ද සතිපට්ඨාන වදාරණ ලද්දාහු යයි දතයුතු.
තවද හුදෙක් විපර්යාසයන්ගේ ප්රහාණය පිණිසම නො වෙයි. චතුර්විධ වූ ඕඝ-යෝග-ආසව-ග්රන්ථ-උපාදාන-අගති යන මොවුන්ගේ ප්රහාණය පිණිසද සතර වැදෑරුම් ආහාරයන්ගේ පිරිසිඳ දැනීම පිණිසද සතරක්ම වදාරණ ලද්දාහු යයි දතයුතු. මේ වනාහි ප්රකරණ ක්රමයයි.
අට්ඨකථාවෙහි වනාහි හැසිරීම් වශයෙන් ද එක්තැනක එක්රැස්වීම් වශයෙන් ද, එකක්ම වූ සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් වීයයි මෙතෙක් කියන ලදී. ඒ එසේමැයි. දොරටු සතරක් ඇති නගරයෙහි පැදුම් දිගින් පැමිණෙන මිනිස්සු පැදුම්දිග උපදින්නා වූ බඩු ගෙන පැදුම් දොරින් යම්සේ නුවරට පිවිසෙත් ද, දකුණු දිගින් - පෑළ දිගින් - උතුරු දිගින් - උතුරුදිග උපදින බඩුගෙන උතුරු දොරටුවෙන් නුවරට පිවිසෙත් ද, මේ කරුණින් මෙබඳු උපමා ඇත්තේ යයි දතයුතුය.
එය එසේමැයි. නිවන නගරයක් මෙනි. ආර්ය අෂ්ටාංගික වූ ලොව්තුරුමග මහත් වූ දොර මෙනි. කායාදීහු ප්රාචීන දිශාදීන් මෙනි.
පැදුම් දිගින් පැමිණෙන මිනිස්සු පැදුම්දිග උපදින බඩුගෙන පැදුම් දොරටුවෙන් යම්සේ නුවරටම පිවිසෙත් ද එසේම කායානුපස්සනා ද්වාරයෙන් පැමිණෙන්නාහු තුදුස් ප්රකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය භාවනාකොට කායානුපස්සනා භාවනා බලයෙන් උපන්නා වූ ආර්ය මාර්ගයෙන් එකම නිවනට වදනාහුය.