(බෝධ්‍යාංග භාවනාව ද, තපෝ ගුණයද හැර සැපයක් නැත. ඉන්‍ද්‍රිය සංවරය හැර සුවයක් නැති, නිර්වාණය හැර සත්ත්වයන්ට සුවයක් නොදකිමි.)
දෙව් පුත්තෙම දේශනාවසානයෙහි පන්සියයක් අප්සරාවන් සමග සෝවාන් ඵලයෙහි පිහිටියේය. තම සැපත ස්ථාවරභාවයට පත්කරගෙන දෙව් ලොවටම ගියේය. මෙසේ මෙම මාර්ගය භාවිත කරන ලද්දේ ශක්‍ර ආදීන්ට මෙන් දොම්නස නැතිකිරීම පිණිස පවතී යයි දතයුතුය.
ඤායස්ස අධිගමාය යනු ‘ඤාය’ යයි අරිඅටඟි මග කියනු ලැබේ. එම අටඟි මාර්ගයාගේ අධිගමය පිණිස, පැමිණීම පිණිසයයි කියන ලද වෙයි ඒ එසේමැයි. පූර්වභාගයෙහිම මේ ලෞකික සතිපට්ඨාන මාර්ගය වඩන ලද්දේ ලෝකෝත්තර මාර්ගයාගේ අධිගමය පිණිස පවතීයයි එහෙයින් කියන ලදි ඤායස්ස අධිගමාය කියා.
නිබ්බානස්ස සචඡිකිරියාය යනු තණ්හා නම් වූ මානයෙන් වෙන් වූ බැවින් නිබ්බාන යයි ලැබූ නාම ඇති අමෘතයාගේ සාක්‍ෂාත් කිරීම පිණිස තමා විසින් පසක් කිරීම පිණිසය කියන ලද්දේ වෙයි. එසේමැයි මෙම මාර්ගය භාවිතා කරන ලද්දේ පිළිවෙලින් නිවන් ප්‍රත්‍යක්‍ෂ කිරීම සිද්ධ වෙයි. එයින් වදාළහ නිබ්බානස්ස සච්ඡිකිරියාය කියා.
එහි කිසිසේත්, සත්ත්වයන්ගේ විසුද්ධිය යයි කී කල්හි ශෝකය ඉක්මවීම ආදිය අර්ථ වශයෙන් සිද්ධ වූවාහුම වෙත්ද, එසේ වුවත් ශාසන යුක්තියෙහි දක්‍ෂ වූවන් තබා අන්‍යයන්ට ප්‍රකට නොවෙති. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ පළමුකොට ජනයා ශාසන යුත්තියෙහි දක්‍ෂකොට පසුව දහම් නොදෙසන සේක්ද, ඒ ඒ සූත්‍රයෙන් ඒ ඒ අර්ථය හඟවන සේක්ද, එහෙයින් මේ සතිපට්ඨාන සූත්‍රයෙහි යම් යම් අර්ථයක් එකායන මාර්ගය සිද්ධ කෙරේද, ඒ ඒ අර්ථය ප්‍රකටකොට දක්වන සේක්, සොක පරිද්දවානං සමතික්කමාය යනාදිය වදාළහ.
නැතහොත් එකායන මාර්ගයෙන් සත්ත්වයන්ගේ යම් විසුද්ධියක් යම්හෙයකින් පවතීද එම විසුද්ධි තොමෝ සෝක-පරිදේවයන්ගේ ඉක්මවීම, දුක් දොම්නස් නැතිකිරීමෙන් වේද, දුක් දොම්නස් නැතිකිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගය අධිගමයෙන් වේද, එහෙයින් මෙම ක්‍රමයද දක්වන සේක් සත්තානං විසුද්ධියා යයි වදාරා මේ එකායන මාර්ගයේ සොක පරිද්දවානං සමතික්කමාය යනාදිය වදාළහ.
ඒකායන මාර්ගය
තව ද මේ ඒකායන මාර්ගයාගේ ගුණ කීමකි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ, ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං, පරියොසාන කල්‍යාණං සත්‍ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙස්සාමි යදිදං ජ ඡක්කානී යයි ඡ ඡක්ක දේශනාවෙහි අටපදයකින් ගුණය වදාළ සේක් ද යම්සේ අරියවංස දේශනාවෙහි, චත්තාරො මෙ භික්ඛවෙ, අරියවංසා, අග්ගඤ්ඤා, රත්තඤ්ඤා වංසඤ්ඤා, පොරාණා අසංකිණ්ණා අසංකිණ්ණපුබ්බා න සංකීයන්ති, න සංකීයිස්සන්ති, අප්පතිකුට්ඨා සමණෙහි බ්‍රහ්මණොසි විඤ්ඤූහි යයි, නව පදයකින් ගුණය වදාළ සේක් ද, [missing trans]
කුමක් සඳහාද යත්, භික්‍ෂූන්ගේ උත්සාහය ඉපදවීම පිණිසයැ. ඒ සැබව ගුණකථනය අසා භික්‍ෂූහු මේ මාර්ගය තෙම ළය තැවීම නම් වූ ශෝකයද, වචනයෙන් වැලපීම් නම් වූ පරිදේව ද කායික වූ අමධුර දුකද, සිත ඇසුරු කළ අමධුර වූ දොම්නස ද යන මේ සතර උවදුරු දුරුකෙරේ. විසුද්ධිය ද, අරිඅටඟි මග ද, නිවන ද යන මෙම විශේෂතා තුන එලවාලයි. හටගත් උත්සාහ ඇත්තාහු මෙම ධර්ම දේශනාව ඉගෙනගත යුතුය. පුහුණු කළ යුතුය. බැලිය යුතුයැ. වනපොත් කළයුතුය. මෙම මාර්ගයත් වැඩිය යුතුයයි සිතන්නහුද එයින් එම භික්‍ෂූන්ට උත්සාහය උපදවන පිණිස ගුණ වදාළ සේක. කම්බල වාණිජාදිහු කම්බලාදීන්ගේ ගුණකථනය මෙනි.
ඒ එසේමැයි. යම්සේ පඬු පලස් වෙළෙන්දකු විසින් ලක්‍ෂයක් වටිනා පලස් ගනිවු යයි උද්ඝෝෂණය කළ කල්හිදු මිනිස්සු අසවල් පලස යයි පළමුකොට නොදනිත් ද, යම් හෙයකින් දුගඳ වූ රළුපහස් ඇති කේසකම්බල ව්‍යාල කම්බලාදීහුද කම්බලයයි ද කියනු ලැබෙත් ද, එහෙයිනි. එසේ වුවත් යම්විටෙක එම වෙළෙඳා විසින් ගන්ධාර දේශයෙහි උපදවන ලද, රත්පලස්, සියුම්යැ. බබලන්නේයැ. සුවපහස් ඇත්තේ යයි උද්ඝෝෂණය කරන ලද්දේ වේද, එවිට යමෙක් පොහොසත් වෙත්ද, ඔවුහු ගනිත්, යමෙක් නොපොහොසත් ද ඔහුත් දකිනු කැමැත්තාහු වෙත් ද, එපරිද්දෙන්ම එකායනො අයං භික්ඛවෙ, මග්ගො යයි වදාළ කල්හි ද, අසවල් මගයි. පළමුකොට ප්‍රකට නොවෙයි. යම් හෙයකින් නන්වැදෑරුම් නෛර්යාණික නොවූ මාර්ගයෝ ද මාර්ගයයි කියාම කියනු ලැබෙත් ද එහෙයිනි. සත්තානං විසුද්ධියා යනාදිය වදාළ කල්හි, මෙම ඒකායන මාර්ගය තෙම සියලු උවදුරු දුරු කරන්නේය. විශේෂ ගුණ තුන එලවයි. හටගත් උත්සාහ ඇත්තාහු මෙම දේශනාව ඉගෙනගත යුතුය. පුහුණු කළයුතුය. දැරිය යුතුය. වනපොත් කළයුතුය. මෙසේ මේ මාර්ගයන් වැඩිය යුතුකොට සිතන්නාහු යයි ගුණ වදාරණ සේක් සත්තානං විසුද්ධියා යනාදිය වදාළහ. ලක්‍ෂයක් අගනා පාණ්ඩුකම්බල වෙළෙඳාගේ උපමාව යම්සේ ද, එසේ රක්තජාම්බොනද, සුවර්ණ උදකප්‍රාසාද මාණික්‍ය රත්න විසුද්ධ වූ මුතුමැණික් රත්න, රෝමකපවාළ ආදි වු වෙළෙඳුන්ගේ උපමාද මෙහිලා දැක්විය යුත්තාහුය.