පූර්වයෙහි ද මේ පදය පිළිබඳව මහතෙරවරුන්ගේ ධර්ම සාකච්ඡා පහළ වූයේ ම ය. ත්‍රිපිටක චුල්ලනාග තෙරණුවෝ පූර්වභාග සතිපට්ඨාන මාර්ගය යයි කීහ. උන්වහන්සේගේ ආචාර්ය වූ චුල්ල සුමච තෙරණුවෝ මිශ්‍රක මාර්ගය යයි කීහ. ස්වාමීනි, පූර්වභාගයයි. ඇවැත්නි, මිශ්‍රක මාර්ගයයි. ආචාර්යයන් නැවත නැවත කියන කල්හි, ප්‍රතිභාහනය නොකොට ශිෂ්‍ය වූ චුල්ලනාග තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. ප්‍රශ්නය විනිශ්චය නොකොටම නැගිට ගියහ.
ආචාර්ය තෙරණුවෝ නහන කොටුවට යන්නාහු මවිසින් මිශ්‍ර මාර්ගයයි කියන ලදී. චුල්ලනාගයෝ පුර්වභාග මාර්ගයයි ගෙන ව්‍යවහාර කෙරෙති. මෙහි විනිශ්චය කවරදෝහෝයි සූත්‍රාන්තය මුලපටන් අර්ථ පරිවර්ථනය කරමින්, යොහි කොචි භික්ඛවෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භවෙය්‍ය සත්ත වස්සානි, යන මේ ස්ථානයෙහි අර්ථ සැලකූහ. ලෝකෝත්තර මාර්ගය ඉපිද සත්වසක් සිටින්නෙක් නම් නැති මා විසින් කියන ලද මිශ්‍රක මාර්ගය නොලැබෙයි. චුල්ලනාගයන් දක්නා ලද පුර්වභාග මාර්ගයම ලැබේයයි දැන, අටවක පොහෝ දිනය වූයෙන් ධර්මශ්‍රවණයට ඝෝෂා කළ කල්හි ගියහ.
පුරාණ කාලයෙහි තෙරවරු ධර්මශ්‍රවණයට ප්‍රිය කරන්නාහු වෙති. කාල ඝෝෂ ශබ්දය අසා මම පළමුකොටම යෙමි. මම පළමුකොටම යෙමියි එක් පහරින්ම රැස්වෙත්. එදවස චුල්ලනාග තෙරුන්ගේ දේශනා වාරය විය. එහෙයින් ධර්මාසනයෙහි හිඳ විජිනිපත ගෙන පූර්ව ගාථාව වදාළ කල්හි අසුන් පිටුපස සිටියා වූ තෙරුන්ට රහසිගතව හිඳ කියන්නෙමියි, මෙබඳු සිතක් නොවීය. යම්හෙයකින් පුරාණ තෙරුන් වහන්සේලා දොස් පහළ නොකරන්නාහු වෙත් ද, තමාගේ රුචියම ඉක්‍ෂුභාරයක් මෙන් ඔසවාගෙන නොහැසිරෙත්ද කාරණය ගනිත් ද, අකාරණය හරිත් ද, එහෙයින් චුල්ල සුම්ම තෙරුන් වහන්සේ ඇවැත්නි, චුල්ලනාග යයි කීහ. හෙතෙම ආචාර්යයන්ගේ ශබ්දය මෙනැයි ධර්මදේශනාව තබා කිම වහන්ස යයි කීය.
ඇවැත්නි චුල්ලනාගය, මා කියන ලද මිශ්‍ර මාර්ගය, තෙම නො ලැබෙයි. තොප කී පූර්වභාග සතිපට්ඨාන මාර්ගයම ලැබේයයි කීහ.
චුල්ලනාග තෙරුන්නාන්සේ මෙසේ සිතූහ. අපගේ ආචාර්යවරයෝ සර්වපර්යාප්තිධර වූහ. තෙපිටකය බහුශ්‍රැතය, මෙබඳු වූ භික්‍ෂුවක් හටද මෙම ප්‍රශ්නය ප්‍රශ්නයක් විය. අනාගතයෙහි ඇතිවන්නා වූ මගේ සහෝදර පිරිස් මේ ප්‍රශ්නයෙහි ව්‍යාකූල වන්නාහුය. සූත්‍රයක් ගෙන මෙම ප්‍රශ්නය, නිශ්චල කරන්නෙමියි පටිසම්භිදා මාර්ගයෙන් නිදර්ශනයක් ගෙනහැර දක්වා පූර්වභාග සතිපට්ඨාන මාර්ගය එකායන මාර්ගය යයි කියනු ලැබේ.
මග්ගානට්ඨංගිකො සෙට්ඨො, සච්චානං චතුරොපදා
විරාගො සෙට්ඨො ධම්මානං, දිපදානඤ්ච චක්ඛුමා
එසොව මග්ගො නත්‍ථඤ්ඤො - දස්සනස්ස විසුද්ධියා
එතංහි තුම්හෙ පටිපජ්ජථ, මාරස්සෙතං පමොහනං
එතම්හි තුම්හෙ පටිපන්නා දුකඛස්සන්තං කරිස්සථ
(සියලු මාර්ගයන් අතුරෙන්, සම්මාදිටඨි ආදි අංග අටකින් යුත් අරිඅටඟ මඟ උතුම් වෙයි. සියලු සත්‍යයන් අතුරෙන් දුක්ඛං අරියසච්චං යනාදි ක්‍රමයෙන් දැක්වූ සතර පදයෙන් උතුම් වෙති. සියලු ධර්මයන් අතුරෙන් නිර්වාණ නම් වූ විරාග ධර්මය උතුම් වෙයි. දෙපා ඇත්තවුන් අතුරෙන් පසැස් ඇති තථාගතයන් වහන්සේ උතුම් වෙයි. දර්ශන විසුද්ධිය පිණිස මේ උතුම් මගයයි දැක්වූ අටමගම වෙයි. අන්මගක් නොමැත්තේත්ය. තෙපි මේ මග පිළිපදිවු මේ අටමග මාරයා මුලා කරන්නේය, තෙපි මේ මගට පිළිපදින්නාහු සියලු සසර දුක, කෙළවර කරන්නාහුය.)
මෙසේ සූත්‍රයක් ගෙනහැර තැබුවේය.
මග්ගො යනු කුමන අර්ථයෙන් මග්ග නම් වීද? නිවනට පැමිණෙන අර්ථයෙන්, නිවන් කැමතියන් විසින් සෙවිය යුතු අර්ථයෙන් මග්ග නම් වේ. සත්තානං විසුද්ධියා යනු රාගාදි මලයන්ගෙන් ද, අභිජ්ඣා විසම ලෝභාදි වූ උපක්ලේශයන්ගෙන් ද, කිලිටි වූ සිත් ඇති සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස,
එය එසේමැයි. මෙම අරිඅටඟි මගින්ම මෙයින් කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති සාරාසංඛ්‍යයයක්හුගේ මතුයෙහි එකම කල්පයක පහළ වූ, තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර නම් වූ බුදුවරුන් ආදිකොට ශාක්‍ය මුනීන්‍ද්‍රයන් අවසන්කොට ඇති නොයෙක් බුදුවරයෝ ද, නොයෙක් සියගණන් පසේබුදුවරයෝ ද, ගණන්මග ඉක්ම සිටි ආර්ය ශ්‍රාවකයෝ ද යන මේ සත්ත්වයෝ සියලු චිත්ත මලයන් සෝධාහැර පරම විසුද්ධියට පැමිණියාහුය. රූප මලයාගේ වශයෙන් අපිරිසිදු බව පිරිසිදු බව යන දෙදෙනාගේ පැමිණවීමක්ම නැත්තේය. එසේ එසේමැයි :
රූපෙන සංකිලිට්ඨෙන සංකිලිස්සන්ති මානවා
රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති, අනක්ඛාතං මහෙසිනා