සන්ධිත ස්ථවිරගාථා වර්ණනාව
“අස්සත්ථෙ හරිතොභාසෙ” යනු ආයුෂ්මත් සන්ධිත තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් පැමිණ, මින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේදී එක් ගොපල්ලෙක් ව උපන්හ. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි එක්තරා තෙර නමකගෙන් බුදුගුණ ඇතුළත් ධර්ම දේශනාවක් ශ්රවණය කළ ගොපලු තෙම පහන් සිතින් “භාග්යවතුන් වහන්සේ කොහිද?”යි ඇසීය. උන්වහන්සේ පිරිනිවි බව අසා “මෙසේ මහානුභාව සම්පන්න බුදුවරු පවා අනිත්ය ධර්මයට පත්වෙති. අහෝ සංසාරය අස්ථිරය. අනිත්යය” යනුවෙන් අනිත්ය සංඥාව උපදවා ගත්තේය. ධර්මදේශනා කළ තෙරණුවෝ ඔහු බෝධි පූජාවට යොමු කළහ. ඉන්පසු ඔහු වරින් වර බෝ ගස සමීපයට පැමිණ බුදුගුණ සිහිකරමින් බෝධියට වන්දනා මාන කළේය. මේ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට ධනවත් පවුලක ඉපිද, “සන්ධිත” යැයි ප්රකට විය. වැඩිවියට පත්ව අනිත්ය ප්රතිසංයුක්ත ධර්ම කථාවක් අසා සංවේග උපදවා ගෙන පැවිදි වූ සන්ධිත හිමියෝ විදසුනෙහි සිත පිහිටුවා, ඤාණයේ මුහුකුරායෑමක් සමග නොබෝ දිනකින් ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් වූහ. තම පෙර විසූ කඳ පිළිවෙල සිහිපත් කළ උන්වහන්සේ සිඛි භාග්යවතුන් වහන්සේගේ කාලයේ සිදුකළ බෝධි වන්දනාව, බුද්ධ පූජාව හා අනිත්ය සංඥා ප්රතිලාභය සිහිපත්ව, ඒ ආශ්රයෙන් දැන් තමන්වහන්සේගේ විශේෂාධිගමය ප්රකාශ කිරීමට මේ ගාථා දෙක වදාළහ.
“අස්සත්ථෙ හරිතොභාසෙ සංවිරූළ්හම්හි පාදපෙ,
එකං බුද්ධගුතං සඤ්ඤං අලභිත්ථං පතිස්සතො”
එකං බුද්ධගුතං සඤ්ඤං අලභිත්ථං පතිස්සතො”
“එකතිංසෙ ඉතො කප්පෙ යං සඤ්ඤං අලභිං තදා,
තස්සා සඤ්ඤාය වාහසා පත්තො මෙ ආසවක්ඛයො” තී.
තස්සා සඤ්ඤාය වාහසා පත්තො මෙ ආසවක්ඛයො” තී.
මෙහි “අස්සත්ථෙ” සැනසීම (අශ්වත්ථ) ලැබූ තැන, දැන් අපගේ භාග්යවතුන් වහන්සේගේ බෝධි වෘක්ෂය වූ ඇසතු ගස තිබෙන තැන එදා සිඛි භාග්යවතුන් වහන්සේගේ ඇටඹ බෝ රුක විය. එය සැනසීම ලබාදෙන (සියලු බුදුවරුන්ටම) ස්ථානයේ පිහිටි හෙයින් “අස්වත්ථ” නම් විය. සත්ත්වයන්ට ආශ්වාස (සැනසීම) උදාකර දෙන බැවින් අස්සත්ථ නම් වේ. ඇතැම්හු ඇසතු බෝ රුක මුල හිඳ එදා බුද්ධානුස්සතිය වැඩූ බැවින් තෙරුන් වහන්සේ “අස්සත්ථ” යැයි පැවසූ බව කියති. “හරිතොභාසෙ” කොළපාට වූ ස්ඵටික මාණික්යමය වර්ණයෙන් බබළන “සංවිරූළ්හම්හි” මනාව වැඩුණු, මනාව පිහිටි, ඝන විචිත්ර කොළ, දළු වලින් වැඩී වැසීගත් යන අර්ථයයි. “පාදපෙ” වෘක්ෂයේ “එකං බුද්ධගතං සඤ්ඤං අලභිත්ථං පතිස්සතො” බුද්ධාරම්ණය අරමුණේ එකම ස්වභාව ඇති බැවින් එකම අරමුණකි. “ඉතිපිසො භගවා” ආදී වශයෙන් බුද්ධානුස්සති සංඥාව බුදුගුණ හෝ බුදුවරු පිළිබඳ පිහිට වූ සිතැති බැවින් ඒ පිළිබඳ සිහියෙන් යුක්තව.
එම බුද්ධ සංඥාව කවර දිනෙක උපදවා ගත්තේ ද? යන්න දැක්වීමට “එකතිංසෙ ඉතො කප්පෙ” යනුවෙන් මේ මහා භද්ර කල්පයට පෙර ආරෝහණ වශයෙන් තිස් එක් වන කල්පයේදී ය. “යං සඤ්ඤං” යම් ඒ බුද්ධානුස්සති සහගත වූ සංඥාවක්. යම් ඒ බුදුවරුන්ගේ පවා අනිත්යතාව දැක, එය සිහිපත් කිරීමෙන් සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්ය සංඥාව ලැබුවෙමි. “තස්සා සඤ්ඤාය වාහසා” මෙසේ දැක්වූ සංඥාව හේතුවෙන්, එය උපකාරීවීමෙන් දැන් මම ආශ්රවයන් ක්ෂය කළෙමි. දැන් මම අනාශ්රව වූයෙම් නිවණ අවබෝධ කළෙමි. මේ තෙරුන්ගේ අපදාන පාළියේ එන ගාථා දෙක ද මෙය ම වේ.
“පළාවන් පැහැ ඇති මනාව වැඩුණු බෝ රුක් මුල සිහියෙන් යුතුව හුන්නෙම් මේ බුද්ධානුස්සති සංඥාව ලැබුවෙමි. මීට කල්ප තිස් එකකට පෙර යම් බුද්ධානුස්සති සංඥාවක් ලැබුවෙම් ද, එහි බලයෙන් මම ආශ්රවයන් ක්ෂය කළෙමි. මීට කල්ප දහතුනකට පෙර දී සත් රුවනින් බබළන මහත් බල ඇති ධම්මික නම් ක්ෂත්රියෙක් වීමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය කරන ලද්දෙමි.
සන්ධිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
පස්වන වර්ගයේ ගාථා වර්ණනාව සමාප්තයි.
දුක නිපාතයේ අර්ථ වර්ණනාව නිමියේය.
3. තික නිපාතය
අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා වර්ණනාව
“අයොනිසුද්ධිමන්වෙසං” යනු ආයුෂ්මත් අංගණික භාරද්වාජ තෙරණුවන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින්දහම් රැස්කරගෙන අවුත්, මීට කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත් වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පහන් සිතින් පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය. ඔහු ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් පැමිණ මේ බුද්ධෝත්පාද කාලයේ දී හිමවත සමීපයේ වූ “උක්කට්ඨ” නම් නුවර මහත් ධනවත් බමුණු ගෙයක ඉපිද අංගාණික භාරද්වාජ යැයි ප්රකට විය. වැඩිවියට පත් ඒ බමුණු කුමරු සිප් සතර හදාරා අවසන, ගිහිගෙන් නික්මීමේ අදහස් ඇති වූ බැවින් පිරිවැජියෙකු ලෙස පැවිදිව පඤ්චතාජනාදී අමර තපස් කරමින් ඒ ඒ තැන හැසිරුණේය. දිනක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙනු දැක පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත පැමිණ ධර්මශ්රවණය කළ පිරිවැජි තෙම, මිසදිටු ගැනීම් අත්හැර සසුනේ පැවිදි විය. විදසුන් කමටහන වැඩූ උන්වහන්සේ නොබෝ දිනකින්ම ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“ශ්රේෂ්ඨ උතුම් වූ ධීර වූ මහර්ෂී වූ කෙලෙස් සතුරන් ජයගන්නා සුලු වූ ඒ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට සතුටු සිතින් පැහැදුණු සිතින් මම වැන්දෙමි.
මීට කල්ප තිස් එකකට පෙර දී යම් බුදුවරයෙකුට මම වැන්දෙම් ද එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ වන්දනාවේ විපාක මෙබඳුය.