2. දුක නිපාතය
ප්‍රථම වර්‍ගය
උත්තර ස්ථවිරගාථා වර්ණනාව
දුක නිපාතයෙහි “නත්‍ථි කොචි භවො නිච්චො” යනු ආයුෂ්මත් උත්තර තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මෙතෙම පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව නිවන් පතාගෙන ඒ ඒ භවයේ දී පින් රැස්කරමින් අවුත් සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී විද්‍යාධරයෙක් ව ඉපිද අහසෙහි සැරිසරයි. එසමයෙහි ශාස්තෲන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස ම වනයේ එක් රුකක් මුල හුන්සේක. අහසින් යමින් සිටි විද්‍යාධරයා සවණක් ගණ බුදුරැස් විහිදුවමින් සිටි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇත්තේ, අහසින් බැස, ඉතා පිරිසිදු වූ මහත්වූ කිණිහිරි මලින් භාග්‍යවතුන් වහන්සේ පිදුවේය. බුද්ධානුභාවය නිසා එම මල් ශාස්තෲන් වහන්සේගේ මස්තකයෙහි ඡත්‍රයක් ලෙස පිහිටියේය. ඒ දුටු විද්‍යාධරයා බෙහෙවින් ප්‍රසන්න වූ සිත් ඇතිව, ඊට පසුකලෙක දී මියගොස් තව්තිසා දෙව්ලොව ඉපිද, මහත් වූ දිව්‍ය සැප සම්පත් විඳිමින් ආයු ඇතිතෙක් එහි සැපවිද, ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර බමුණු මහසල් කුලයක උපන්නේය. උත්තර නමින් ප්‍රකට වූ මේ බමුණු කුමරු වැඩිවියට පත්වත්ම සියලු බ්‍රාහ්මණ ශිල්පශාස්ත්‍රයෙහි පරතෙරට ගොස්, ජාතියෙන් ද රූපයෙන් ද ඉගෙනීමෙන් ද වයසින් ද ශිෂ්ට වූ හැසිරීමෙන් ද ලොව සම්භාවනීයත්‍වයට පත්විය. මේ උත්තර බමුණාගේ සම්පත් දුටු වයස්කාර නම් මගධ මහාමාත්‍යයා තම දුවණිය ඔහුට විවාහ කරදීමට කැමතිව, තම අදහස දන්වන ලදි. උත්තර බමුණාගේ සිත ගිහිගෙයින් නික්මීමෙහි ඇලී තිබූ බැවින් එම යෝජනාව ප්‍රතික්‍ෂේප කර, වරින් වර ධර්‍මසේනාපති සැරියුත් තෙරුන් ඇසුරු කරමින් උන්වහන්සේ සමීපයේ හිඳ ධර්මය ඇසීය. ධර්‍මශ්‍රවණයෙන් උපදවාගත් ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ උත්තර භික්‍ෂුව වත් පිළිවෙතින් යුක්තව සැරියුත් තෙරුන්ට උපස්ථාන කළේය.
එසමයෙහි සැරියුත් තෙරුන්ට එක්තරා ආබාධයක් ඇතිවිය. උන්වහන්සේට බෙහෙත් ගෙන ඒමට උදෑසනින්ම විහාරයෙන් නික්මුණු උත්තර සාමණේරයෝ පා සිවුරු රැගෙන වඩිනුයේ අතරමග එක් විල් තෙරක පාත්‍රය තබා ජලය ගෙන මුව සෝදමින් සිටියහ. මේ වේලාවෙහි ම එක්තරා උමං සොරකු රාජපුරුෂයන් විසින් ලුහුබඳිනුයේ ප්‍රධාන දොරටුවෙන් ම නගරයට පිවිස පලායන්නේ, තමන් විසින් සොරාගත් රන්බඩු විල්තෙර තිබූ පාත්‍රයේ දමා පලා ගියේය. මුව සෝදාගත් සාමණේරයෝ පාත්‍රය සමීපයට පැමිණියහ. එවිටම රාජපුරුෂයෝ එතැනට පැමිණ, පාත්‍රයේ ම බඩු දැක, “මේ සොරාය, මොහු විසින් සොරකම කරන ලදැ”යි සාමණේරයන් දැඩිව අල්ලා බැඳ වස්සකාර බමුණාට දැක්වූහ. එකල වස්සකාර ඇමතියා රාජ නියෝගයෙන් අධිකරණ කටයුතු විමසයි. හෙතෙම උත්තර සාමණේරයන් හැඳිනගෙන, “නුඹ පෙර මගේ වචනය පිළිනොගෙන පිරිසිදු පාසණ්ඩයන් කෙරෙහි පැවිදිවීයැ”යි බඳින ලද වෛර ඇති බැවින් නඩුව නොවිමසාම” මොහු දිවැස් හුළ තබව”යි නියෝග කළේය.
ඉක්බිති ඔහුගේ නුවණ මුහුකුරා ගිය බව දුටු භාග්‍යවතුන් වහන්සේ, එතැනට ගොස් සෙළවෙන්නා වූ නිය නම් මැණික් රැසින් ශෝභමාන වූ වැගිරෙන දෑහිගුල් රන් රස දහරක් වැනි වූ දැලින් බැඳුණු මෘදු - තරුණ දිගු ඇඟිලි සහිත බබලන ශ්‍රී හස්තය උත්තර සාමණේරයන්ගේ හිසෙහි තබා, “උත්තරය! මේ නුඹගේ පෙර කර්මයක විපාකයයි. එහිදී නුඹ විසින් ප්‍රත්‍යවේක්‍ෂා බලයෙන් ඉවසාගැනීම කළයුතුයි” යනුවෙන් වදාරා සාමණේරයන්ගේ අදහසට අනුකූල වූ ධර්‍මයක් දේශනා කළසේක. උත්තර සාමණේරයෝ අමාවෙන් අභිෂේක කරන ලද්දාක් මෙන් ශාස්තෲන් වහන්සේගේ හස්ත ස්පර්ශයෙන් හටගත් සතුටින් මහත් වූ ප්‍රීතියක් විඳිනුයේ නුවණ මුහුකුරා ගිය පරිදි විදසුන් මාර්ගය වඩා, ශාස්තෲන් වහන්සේ දෙසූ විලසින් ම මගපිළිවෙලින් සියලු කෙලෙස් ක්‍ෂය කොට ෂඩ්අභිඥාලාභී වූහ. උත්තර තෙරුන් විසින් අපදාන පාළියේදී මෙසේ පවසන ලදි.
“දෙතිස් මහ පුරිස ලකුණින් හෙබි සුමේධ නම් බුදුරජාණන් වහන්සේ, විවේක සැප කැමතිව හිමවතට එළඹිසේක.
පුරුෂෝත්තම වූ කරුණාවෙන් අග්‍ර වූ බුදුපියාණන් වහන්සේ හිමවතෙහි පලක් බැඳ වැඩහුන් සේක.
එකල මම අහසෙහි හැසිරෙන විද්‍යාධරයෙක් වූයෙමි. මනාව සෑදූ ත්‍රිශූලයක් ගෙන අහසෙහි හැසිරුණෙමි.
කඳු මුදුනක වූ ගින්නක් මෙන් ද පුන් පෝදා සඳ මෙන් ද මනාව පිපුණු සල් ගසක් මෙන් ද බුදුරජාණෝ වනයෙහි බබළති.
ඒ සවණක් ගණ බුදුරැස් වනයෙන් නික්මෙයි. නළ වනයේ හටගත් ගින්නක් බඳු බුදුරැස් දැක සිත පැහැදවූයෙමි.
ඒ මේ අතර බැලූ මම දිව සුවඳ හමන කිණිහිරි මල් දැක ඉන් මල් තුනක් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදුවෙමි.
ඒ පිදූ මල් තුන බුද්ධානුභාවයෙන් නැටි උඩට හා පෙති යටට සිටිනසේ අහසෙහි සිටිමින් බුදුරදුන්ට සෙවන සැපයුවේය.
මැනවින් කළ ඒ කර්මය හා චිත්ත ප්‍රාර්ථනාව නිසා මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
එහි මැනවින් නිර්මිත මගේ විමානය “කණිකාරී” නමින් හැඳින්විණි. එය යොදුන් සැටක් උසය, තිස් යොදුනක් පුළුල් ය.
භාග දහසක් ඇති එහි ගෝලාකාර මුදුන් සීයකි. ධජ පතාකයන් ගෙන් පිරි නිල්වන් වූ ඒ මගේ විමානයෙහි ලක්‍ෂයක් ප්‍රධාන ශාලා පහළ විය.
එහි කැමති තැනක කැමතිතාක් රන්මය, මැණික්මය, පද්මරාග මාණික්‍යමය, මිණිමය, රිදීමය ආසන පහළ වේ.
එහි පුලුන් කොට්ට සහිත දෙදාවලු එක්දාවලු ඇතිරිලි හා කොට්ටවලින් පිරි මා හැඟි යහන් ද ඇත.
යම් කලෙක භවනයෙන් නික්ම දිව්‍ය සමූහයා පිරිවරා යනු කැමතිව දිව්‍ය චාරිකාවට එළඹුණු කල්හිම මල් වියන් මා පිරිවරා ගනියි.
මගේ මස්තකයේ හාත්පස සියක් යොදුන් ප්‍රදේශය කිණිහිරි මලින් වැසේ.
හැටදාහක් තූර්ය වාදකයෝ උදේ සවස මට උවටැන් කරති. රෑ දහවල් ඔවුහු මා පිරිවරා ගෙන සිටිති.