ථේරගාථා අටුවාව
(ප්‍රථම භාගය)
ග්‍රන්ථාරම්භකථා
මහාකාරුණික වූ ඤාණ සාගරයාගේ පරතෙර දුටුවා වූ දක්‍ෂ වූ ගැඹුරු පැන විසඳුම් ඇත්තාවූ විසිතුරු නය දෙසුම් ඇත්තා වූ තථාගතයන් වහන්සේට (අනුනට පිහිටවන උතුමන් වහන්සේට) මම වඳිමි.
අට වැදෑරුම් විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ දහමින් යුක්ත වූ ලෝකයෙන් මිදීමට මඟ පෙන්වන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසිනුදු පුදන ලද ඒ උතුම් වූ ධර්‍මරත්නයට මම වඳිමි.
යමෙක් සීලාදි ගුණයන්ගෙන් යුක්තව මගඵලයන්හි පිහිටි සේක්ද ඒ අනුත්තර වූ පුණ්‍ය ක්‍ෂේත්‍රයක් හෙවත් පින් කෙතක් වු ආර්ය සංඝරත්නය මම නමඳිමි.
මෙසේ රත්නත්‍රයට වන්දනා කිරීමෙන් ජනිත වූ යම් පිනක් වේ නම්, ඒ පුණ්‍යානුභාවයෙන් සැමතැන්හි නසන ලද අතුරු ආන්තරා ඇති මම මේ අටුවාව ආරම්භ කරමි.
යම් ඒ කරන ලද කටයුතු ඇති සුභූති ආදී මහරහතන් වහන්සේලා විසින් ද ආමිෂයන්ගෙන් දුරු වූ රහත් තෙරණිවරුන් විසින් ද දේශනා කරන ලද,
ප්‍රීතිමය වාක්‍ය වැනි වූද ගැඹුරු වූ, ආර්ය මාර්ගයෙහි දක්‍ෂ වූ යහපත් වූ ප්‍රකාශන ද ශුන්‍යතා ධර්මයෙන් යුක්ත වූ ද ආර්ය ධර්ම මාර්ගය ප්‍රකාශ කරන්නා වූ ද,
ගාථා වන්ගෙන් යුක්ත වූ ධර්ම ග්‍රන්‍ථ “ථේරගාථා” හා “ථේරිගාථා” යන නම්වලින් ඛුද්දක නිකායෙහි තබා, තාදිගුණ ඇති මහරහතන් වහන්සේලා විසින් සංගායනා කළ සේක.
එම කෘති දෙකෙහි ගැඹුරු ඥානයෙන් බැස අවබෝධ කරගත යුතු වූ ධර්ම කරුණු පිළිබඳ අර්ථවර්ණනාව ඉතා දුෂ්කර වුවත් මවිසින් එය ඉටු කිරීමට කැමැත්තෙමි.
ශාස්තෘ ශාසනයෙහි පිහිටා සිටිමින්, පූර්වාචාරී නම් කේසර සිංහයන්ගේ අර්ථ විනිශ්චයන්හි ද පිහිටමින් එම අර්ථ වර්ණනාව කරමි.
එනිසා එම පුණ්‍ය විනිශ්චයෙහි එල්බ, පෝරාණ අට්ඨකථා න්‍යාය වු නිකාය පසෙහි එන ක්‍රමය ඇසුරු කරමින්,
ඉතා පිරිසිදු වූ මිශ්‍ර නොවූ අර්ථ විනිශ්චයෙහි දක්‍ෂ වු මහාවිහාර වාසීන්ගේ පිළිගැනීමට විරුද්ධ නොවී,
එය නොඉක්මවා, අනුපිළිවෙල කථාවෙන් තොරව යම් පදයක අර්ථ අවබෝධ කර ගැනීම අපහසු ද ඒ පදයන්ගේ අර්ථ විනිශ්චය ප්‍රකටව දක්වමින්,
මෙම යහපත් වූ ථෙරගාථා හා ථෙරිගාථා අර්ථ වර්ණනාව ශක්ති ඇති පරිද්දෙන් සකසා කරන්නෙමි.
මෙසේ ශ්‍රී සද්ධර්මයේ චිර පැවැත්ම කැමති වූ ථෙරථෙරී ගාථාවන්හි අර්ථ භේද විමසනු කැමැති වූ සත්පුරුෂයිනි! සාවධානව මේ අර්ථ වර්ණනාව අසවු.
මේ “ථේරගාථා”, “ථේරිගාථා” යනු මොනවාද? කෙසේ පැවත ආවේද? යනාදී ප්‍රශ්නයන්ට පිළිතුරු ඉහත දැක්වූ ගාථාවන්හි කියන ලද්දේමය. එය ප්‍රකටව දක්වනු සඳහා නැවත මෙසේ පවසනු ලැබේ.
එහි පළමුකොට “ථේරගාථා” යනු “සුභූති” ආදී තෙරවරුන් විසින් පැවසූ ගාථාවෝයි. එහි ඇතැම් ගාථා තමන් වහන්සේලා අවබෝධ කළ, මගඵල සුවය නුවණින් විමසා බලා ප්‍රීති වාක්‍ය වශයෙන් දේශිතය. ඇතැම් ගාථා තමන් වහන්සේලාගේ සමවත් සුව විහරණ, නුවණින් විමසා බැලීම් වශයෙන් දේශිතය. ඇතැම් ගාථා ප්‍රශ්න වශයෙන් දේශිතය. තවත් ගාථා රැසක් පිරිනිවන් පාන සමයෙහි සසුනේ ඇති නිදහස්ශීලී බව ප්‍රකටව දැක්වීම් වශයෙන් දේශනා කර ඇත. ඒ සියලු තෙරවරුන්ගේ ගාථාවෝ, ධර්ම සංගායනා කරන විට එක්රැස් කොට “ථේරගාථා” යන නාමයෙන් ධර්ම සංග්‍රාහක භික්‍ෂූන් වහන්සේ විසින් සංග්‍රහ කරන ලදහ. “ථේරිගාථා” වනාහි තෙරණිවරු සඳහා දේශිතය.
තෙරණිවරුන් විසින් වදාළ ගාථා එක්රැස් කර සංග්‍රහ කර ඇත. එම ථේරගාථාව සහ ථේරි ගාථාව විනය පිටකය, සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය යන තුන් පිටකයන්ගෙන් සූත්‍ර පිටකයෙහි ඇතුළත් වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය යන සූත්‍ර පිටකයේ නිකාය පසින් ඛුද්දක නිකායට ඇතුළත් වේ. සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම හා වේදල්ල යන නවංග ශාසනයෙන් “ගාථා” අංගයෙහි ඇතුළත් වේ.
“ද්වාසීතිං බුද්ධතො ගණ්හි ද්වෙ සහස්සානි භික්ඛුතො
චතුරාසීතිසහස්සානි යෙමෙ ධම්මා පවත්තිනො”
යනුවෙන් “අසූ දෙදාහක් බුද්ධ දේශිත වූත් දෙදහසක් ශ්‍රාවක භාෂිත වූත් අසූහාර දහසක් ධර්ම ස්කන්‍ධය මෙහි පවතින්නේ යැයි”
මෙසේ ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන් විසින් ප්‍රතිඥා කරන ලද සුවාසු දහසක් ධර්ම ස්කන්ධයන් අතරින් ධර්ම ස්කන්ධයක කිහිපයක් සංග්‍රහ කරන ලදී.
එහි ථෙරගාථා පාළිය නිපාත වශයෙන් ඒක නිපාතයේ සිට එක එකක් වැඩිවීම් වශයෙන් දාහතර වන නිපාතය දක්වාත්, දාසය වන නිපාතය, විසිවන නිපාතය, තිස්වන නිපාතය, සතළිස් වන නිපාතය, පනස්වන නිපාතය, සැටවන නිපාතය, සැත්තෑවන නිපාතය යන මේ නිපාත සත ද සමඟ නිපාත විසි එකකින් යුක්ත වේ. වැටීම, හෙළීම (නිපතනං) බහා තැබීම (නික්ඛිපනං) යන අරුතින් “නිපාත” නම් වේ.
එක් එක් ගාථාවන්ගේ හෙලීම, බහා දැමීම, දැක්වීම යනු ඒක නිපාත යයි. මේ ක්‍රමයෙන් සෙසු නිපාතයන් හි ද අර්ථ දත යුතුයි.
එහි ඒක නිපාතයෙහි වග්ග දොළොසකි. එක් එක් වර්ගයේ දහය, දහය බැගින් තෙරවරු එක්සිය විස්සෙකි. ගාථා ද එපමණම වේ. කියන ලදී -
වීසුත්තරසතං ථෙරා කත කිච්චා අනාසවා
එකකම්හි නිපාතම්හි සුසංගීතා මහෙසිහී
“කළ කිස ඇති අරහත් වූ - එක්සිය විස්සක් මහර්ෂී වූ තෙරවරු ඒකක නිපාතයෙහි ගාථා සංග්‍රහ කළහ යනුවෙන්.
දුක නිපාතයෙහි තෙරවරු සතළිස් නවයකි. ගාථා අනූ අටකි. තික නිපාතයෙහි තෙරවරු දාසයකි. ගාථා හතලිස් අටකි. චතුක්ක නිපාතයේ තෙරවරු දහතුන් දෙනෙකි. ගාථා පනස් දෙකකි. පඤ්චක නිපාතයෙහි තෙරවරු දොළොසකි. ගාථා සැටකි. ඡක්ක නිපාතයේ තෙරවරු දා හතරකි. ගාථා අසූ හතරකි. සත්තක නිපාතයෙහි තෙරවරු පස් දෙනෙකි. ගාථා තිස් පහකි. අට්ඨක නිපාතයේ තෙරවරු තිදෙනෙකි. ගාථා විසි හතරකි. නවක නිපාතයේ එක් තෙරනමකි. ගාථා නවයකි. දස නිපාතයෙහි තෙරවරු සත් දෙනෙකි. ගාථා සැත්තෑවකි. එකොළොස්වන නිපාතයේ එක් තෙරනමකි. ගාථා එකොළොසකි. දොළොස් වන නිපාතයේ තෙරවරු දෙනමකි. ගාථා විසි හතරකි. දහතුන්වන නිපාතයේ එක් තෙරනමකි. ගාථා දහතුනකි. දාහතර වන නිපාතයේ තෙරවරු දෙනමකි. ගාථා විසි අටකි. පසළොස්වන නිපාතයක් නැත. දාසය වන නිපාතයෙහි තෙරවරු දෙනමකි. ගාථා තිස් දෙකකි. විසිවන නිපාතයේ තෙරවරු දස නමකි. ගාථා දෙසිය හතළිස් පහකට අධිකය. තිස්වන නිපාතයේ තෙරවරු තුන් නමකි. ගාථා එකසිය පහකි. සතළිස් වන නිපාතයේ එක් තෙර නමකි. ගාථා සතළිස් දෙකකි. පනස් වන නිපාතයෙහි එක් තෙර නමකි. පනස් පහක් ගාථා ඇත. සැටවන නිපාතයේ එක් තෙර නමකි. ගාථා සැට අටකි. සැත්තෑවන නිපාතයේ ද එක් තෙර නමකි. ගාථා සැත්තෑ එකකි. මේ සියල්ල සම්පිණ්ඩනය කළ විට තෙරවරු දෙසිය හැට හතරකි. ගාථා එක් දහස් තුන්සිය හැටකි. එනිසා මෙය කියන ලදී.