3. තික නිපාතය
අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා වර්ණනාව
“අයොනිසුද්ධිමන්වෙසං” යනු ආයුෂ්මත් අංගණික භාරද්වාජ තෙරණුවන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී සසරින් මිදීම සඳහා පින්දහම් රැස්කරගෙන අවුත්, මීට කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත් වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පහන් සිතින් පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ ඇඳිලි බැඳගෙන සිටියේය. ඔහු ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් පැමිණ මේ බුද්ධෝත්පාද කාලයේ දී හිමවත සමීපයේ වූ “උක්කට්ඨ” නම් නුවර මහත් ධනවත් බමුණු ගෙයක ඉපිද අංගාණික භාරද්වාජ යැයි ප්රකට විය. වැඩිවියට පත් ඒ බමුණු කුමරු සිප් සතර හදාරා අවසන, ගිහිගෙන් නික්මීමේ අදහස් ඇති වූ බැවින් පිරිවැජියෙකු ලෙස පැවිදිව පඤ්චතාජනාදී අමර තපස් කරමින් ඒ ඒ තැන හැසිරුණේය. දිනක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙනු දැක පැහැදුණු සිතින් උන්වහන්සේ වෙත පැමිණ ධර්මශ්රවණය කළ පිරිවැජි තෙම, මිසදිටු ගැනීම් අත්හැර සසුනේ පැවිදි විය. විදසුන් කමටහන වැඩූ උන්වහන්සේ නොබෝ දිනකින්ම ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“ශ්රේෂ්ඨ උතුම් වූ ධීර වූ මහර්ෂී වූ කෙලෙස් සතුරන් ජයගන්නා සුලු වූ ඒ බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට සතුටු සිතින් පැහැදුණු සිතින් මම වැන්දෙමි.
මීට කල්ප තිස් එකකට පෙර දී යම් බුදුවරයෙකුට මම වැන්දෙම් ද එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ වන්දනාවේ විපාක මෙබඳුය.
[missing trans]
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභීව විමුක්ති සුව විඳිමින් විසූ උන්වහන්සේ ඤාතීන්ට අනුකම්පා පිණිස තම උපන් බිමට වැඩමවා දහම් දෙසමින් බොහෝ ඤාතීහු සරණ සිල්හි පිහිටුවා, ඉන්පසු කුරු රට කුණ්ඩිය නම් නියම් ගම සමීපයේ වූ අරණ්යයක විසූහ. කිසියම් කටයුත්තකට උග්ගාරාමයට ගිය උන්වහන්සේට උත්තරා පථයෙන් පැමිණි, පෙර දැක පුරුදු හිත මිත්ර බමුණු පිරිසක් හමු විය. ඔවුහු තෙරුන් හැඳිනගෙන, “පින්වත් භාරද්වාජය! නුඹ කුමක් දැක බමුණු දහම හැර දමා මේ බුදුසමය පිළිගත්තෙහි ද?” යි විචාළහ. එවිට ඔවුන්ට “මේ බුදු සසුනින් පිටත් වෙනම දහමක සංසාර ශුද්ධියක් නැත”යි පවසමින් තෙරණුවෝ මේ පළමු ගාථාව වදාළහ.
“අයොනි සුද්ධිමන්වෙසං අග්ගිං පරිචරිං වනෙ,
සුද්ධිමග්ගං අජානන්තො අකාසිං අමරං තපං” තී
සුද්ධිමග්ගං අජානන්තො අකාසිං අමරං තපං” තී
එහි “අයොනී” අනුවණින්, අනුපායයෙන් “සුද්ධිං” සංසාර ශුද්ධිය, භවයෙන් මිදීම. “අන්වෙසං” සොයමින්, පරීක්ෂා කරමින්. “අග්ගිං පරිචරිං වනෙ” මේ ශුද්ධි මාර්ගය’යි යන අදහසින් වනයේ ගිනි ශාලාවක්, ගිනි ගෙයක් කොට යාග ද්රව්ය ගිනිදෙවියා පිදුවෙමි. වේද ග්රන්ථයන්හි පැවසූ පරිදි ගිනි දෙවි පිදුවෙමි. “සුද්ධිමග්ගං අජානන්තො අකාසිං අමරං තපං” සසරින් මිදෙන නිවන් මග නොදත් මම ගිනි පිදීම මෙන්ම “පඤ්ච තාපන ආදී ශරීරයට දැඩි දුක් දෙන ක්රියාමාර්ගවලින් (අත්තකිලමථානුයෝගයෙන්) පිරිසිඳු වන මඟ යැ”යි යන අදහසින් හැසිරුණෙමි. එම ඉගැන්වීම් පිළිපැද්දෙමි.
මෙසේ මේ තෙරණුවෝ අසපුවෙන් අසපුවට යන්නාක් මෙන් වේදයෙහි කී පරිදි ගිනි පිදීම් ආදී දෙයින් සංසාරික ශුද්ධියක් නොලැබූ බව දක්වා, බාහිර සමයන්හි මිදීමක් නොමැති බව පෙන්වා දී දැන් “මේ බුදුසසුනෙහි දී ම විසින් සංසාරික ශුද්ධිය අවබෝධ කළෙමි”යි දක්වමින් මේ දෙවන ගාථාව වදාළහ.
“තං සුඛෙන සුඛං ලද්ධං පස්ස ධම්ම සුධම්මතං,
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං” තී.
එහි “තං” යම් ඒ අර්ථයක් සඳහා වූ සංසාරික ශුද්ධියක් සොයමින්, එය ලබා ගන්නා නිවැරදි මඟ නොදැන ගිනිපිදීම්, අමර තපස් කරන ලද්දෙම් ද, ඒ නිවන් සැපය සමථ විදර්ශනාදී සුවය සඳහා වූ ප්රතිපදාවෙන් අත්තකිලමථානුයෝගයට නොපැමිණි ම විසින් ලැබූවෙමි. පැමිණියෙමි. අවබෝධ කළෙමි. “පස්සධම්ම සුධම්මතං” ශාස්තෲන් වහන්සේගේ ශාසන ධර්මයේ සුධර්මත්වය හෙවත් විපරීත නොවූ නෛර්ය්යාණික ධර්ම ස්වභාවය බලවු. දැනගනිවු. යනුවෙන් ධර්මයට ඇමතීම් වශයෙන් කියයි. නැතිනම් තමාටම ආමන්ත්රණය කරයි. එම උතුම් නිවන සැපත හෙවත් සංසාරික ශුද්ධි තමා ලබාගත් බව දක්වමින්,