පස්වැනි වර්ගය
කුමාරකාශ්යප ස්ථවිරගාථා වර්ණනාව
“අහො බුද්ධා අහො ධම්මා” යනු ආයුෂ්මත් කුමාර කාශ්යප මහ රහතන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයේදී පින් දහම් කරගනිමින් අවුත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ බමුණු පවුලක ඉපිද තරුණවියට පත් වූහ. අංගුත්තර අටුවාවේ පැවසෙනුයේ සිටු ගෙයක උපන් බවයි. ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මශ්රවණය කරමින් සිටි ඔහු දිනක් එක් භික්ෂුවක් විචිත්ර කථික වූ භික්ෂූන්ගෙන් අග තනතුරෙහි පිහිටුවනු දැක තමා ද ඒ තනතුර කැමති විය. ඒ සඳහා චිත්තාධිෂ්ඨානයක් සිදුකරගත් ඔහු ඊට අනුරූප වූ පින් දහම් රැස්කරමින් අවුත් කාශ්යප භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී ශ්රමණ ධර්ම මැනවින් සපුරා කාම සුගතීන්හිම සැරිසැරීය. අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ රජගහ නුවර සිටු දියණියකගේ කුස පිළිසඳ ගත්තේය. ඒ සිටු දුව ළදරු කාලයේ සිටම පැවිදිවනු කැමති වුවත් දෙමාපියන්ගෙන් අවසර නොලැබුවාය. විවාහ වූ පසුව ගැබ පිහිටි බව නොදත් ඇය කෙසේ හෝ සැමියා සතුටු කරගත්තී ඔහුගේ අනුමැතිය ලබා භික්ෂුණී අරමක පැවිදි වූවාය. ඇයගේ ගැබ මුහුකුරා ගිය විට සෙසු භික්ෂුණීහු ඇය ගැබිණියක් බව දෙව්දත් තෙරුන්ට දැන්වූහ. දෙව්දත් තෙරුන් “ඇය භික්ෂුණියක් නොවේ” යැයි පැවසීය. නැවත භික්ෂුණීහු මේ පිළිබඳව දසබලයන් වහන්සේට දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ මේ පිළිබඳව විනිශ්චය කිරීමට උපාලි තෙරුන්ට නියම කළ සේක. තෙරණුවෝ සැවැත් නුවර වැසියෝ ද විශාඛා මහෝපාසිකාව ද කැඳවා රජු සහිත වූ පිරිස් මැද හිඳ, “මැයගේ ගැබ පැවිද්දට පෙර පිහිටියේ ද? නැතිනම් පැවිද්දට පසුව පිහිටියේ ද?” යි විනිශ්චය කළහ. ගැබ පැවිද්දට පෙර පිහිටියක් බැවින් පැවිද්ද පිරිසිදු යැයි තීන්දුව ප්රකාශ කළ පසු ශාස්තෲන් වහන්සේ “අධිකරණය (නඩුව) මැනවින් විසඳන ලදී” යැයි උපාලි තෙරුන්ට සාධුකාර දුන් සේක.
ඒ භික්ෂුණිය පසුකලෙක රන් පිඬක් හා සමාන පුතකු වැදුවාය. ඒ දරුවා පසේනදි කෙසොල් රජු විසින් පෝෂණය කරන ලදි. ඔහු “කාශ්යප” නාමයෙන් ප්රකට විය. පසුකලෙක සර්වාභරණයෙන් සරසා ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ වූ කාශ්යප කුමරු පැවිදි කරවීය. ඉතා ළදරු අවස්ථාවෙහි පැවිදි වූ බැවින් භාග්යවතුන් වහන්සේ “කාශ්යප කැඳවන්න. මේ ගෙඩිය හෝ කන දැය කාශ්යපට දෙන්න”යි වදාරති. එවිට සෙසු භික්ෂූහු “කවර කාශ්යපටද?” යි විමසති. “කුමාර කාශ්යපට” යැයි බුදුහු පවසති. මෙසේ බුදුරදුන්ගෙන් ද රජු විසින් කුමාරයකු මෙන් පෝෂිත බැවින් ද ලත් “කුමාර කාශ්යප” යන නාමය උන්වහන්සේට වයෝවෘද්ධ අවස්ථාවෙහිත් භාවිත විය.
කුමාර කාශ්යප හිමියෝ පැවිදි වූ දින පටන් ම විදසුන් කමටහන ම වඩති. බුදුවදන් උගනිති. කාශ්යප බුදුන් දවස උන්වහන්සේ සමග පර්වතයකට නැගී එකට මහණදම් පුරා ශුද්ධාවාසයේ උපන් මහා බ්රහ්මයා, කුමාර කාශ්යප තෙරුන් විදසුනට සිත යොමු කළ බව දැන, “මාර්ග ඵල උපදවා ගැනීමට උපායක් කරමි”යි ප්රශ්න පහළොවක් සාදා ගෙනවුත් අන්ධවනයේ විසූ කුමාර කාශ්යප හිමිට දී “මේ ප්රශ්න ශාස්තෲන් වහන්සේගෙන් විමසන්න” යැයි පවසා ගියේය. උන්වහන්සේ එම ප්රශ්න භාග්යවතුන් වහන්සේගෙන් විමසූහ. භාග්යවතුන් වහන්සේ ද ඒවා විසඳූ සේක. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසඳූ මොහොතේම ඒවා ඉගෙන විදසුනට සිත යොමුකළ සේක් රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“මෙයින් කල්ප ලක්ෂයකට පෙර මුලු ලොවටම හිතවත් වූ වීර වූ පදුමුත්තර නම් ලෝකනායකයන් වහන්සේ ලොව පහළ වූ සේක.
මම එකල වේද පරාගත බමුණෙක් වූයෙමි. ප්රකටව විසූ මම දිනක් දිවා විහරණයෙහි යෙදුනෙම්, චතුරාර්ය සත්ය ධර්මය දෙසන්නා වූ සදේව ලෝකයාට දහම් අවබෝධ කරවන්නා වූ මහජනයා ඉදිරියේ විචිත්ර කථිකයන්ට අගතැන්පත් සව්වකු වර්ණනා කරන්නා වූ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි.
ඒ දැක ප්රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේට ආරාධනා කර, නන් රුවනින් බබළන මණ්ඩපයක් නානා වර්ණ ඇති වස්ත්රවලින් සරසා එහි සතියක් ම බුද්ධ ප්රමුඛ සංඝ රත්නයට අග්ර රස භෝජන වැළඳවූයෙමි.
නානා වර්ණ ඇති මලින් ශ්රාවකයන් සහිත බුදුන් පිදූ මම උන්වහන්සේගේ පාමුල වැඳ වැටී එම තනතුර පැතුවෙමි.”
එකල කරුණා රසයට එකම නිධානය වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “පියුමකට බඳු මුහුණ හා ඇස් ඇත්තා වූ ප්රීති ප්රමෝද්ය බහුල වූ හෙයින් නැගුණු ලොම් ඇති හර්ෂයෙන් දැල්වුණු විශාල ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනා වූ, එකම අරමුණට හැරුණු මනා සිත් ඇති මේ බමුණා දෙස බලවු. මෙතෙම විචිත්ර කථිකත්වය නම් වූ මේ තනතුර පතයි.
මෙයින් කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින ගෝත්රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.
උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්ර වූ කුමාර කාශ්යප නම් ශ්රාවකව මෙතෙම උපදින්නේය.
පිදූ විසිතුරු වස්ත්රයන්ගෙන් ද රත්නයන්ගෙන් ද බබළන හෙතෙම විචිත්ර කථික භික්ෂූන් අතුරින් අග්ර බවට පැමිණෙන්නේ ය.”
මෙසේ විවරණ ලද මා ඒ මනා වූ පින්කම නිසාත් චිත්ත ප්රාර්ථනාව නිසාත් මිනිස් සිරුර හැර තව්තිසාවේ උපන්නෙමි.
රඟ මැද නළුවෙකු මෙන් භව නැමති අහසෙහි පරිභ්රමණය කරමින් ශාඛා නම් මුවාගේ පුත්රව මුවදෙනගේ කුස පිළිසිඳ ගතිමි.
එකල මා කුසෙහි වසන කාලයේ මාගේ මවුට මරණ වාරය එළඹිණි. ශාඛා මුවා විසින් අත්හළ මාගේ මව්තොමෝ න්යග්රෝධ මුව රජු වෙත ගියාය.