වජ්ජිත ස්ථවිරගාථා වර්ණනාව
“සංසරං දීඝමද්ධානං” යනු ආයුෂ්මත් වජ්ජිත තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින්දහම් රැස්කරමින් අවුත්, මීට කල්ප හැටපහකට පෙර එක් ප්රත්යන්ත ගමක උපන්හ. වැඩිවියට පත්ව වනයේ හැසිරෙන්නෙක් වූ ඔහු දිනක් උපශාන්ත නම් පසේ බුදුරදුන් පර්වත ගුහාවක වෙසෙනු දුටුවේය. උන්වහන්සේ සන්සුන් පැවතුම් දැක පැහැදුනු සිත් ඇති වැඳි තෙම සපුමලින් බුදුන් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට ධනවත් පවුලක උපන් එකුමරු, උපන් දිනය් පටන්ම ස්ත්රියකගේ අතට ගියවිට හඬයි. බඹලොවින් චුතව මෙහි උපන් බැවින් ස්ත්රී ස්පර්ශය නො ඉවසයි. ඒ කුමරා ස්ත්රී ස්පර්ශය වර්ජිත වූ බැවින් “වජ්ජිත” නම තබන ලදි. තුරුණුවියට පත්ව ශාස්තෲන් වහන්සේගේ යමා මහ පෙළහර දුටු වජ්ජිත, ලැබූ ශ්රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. විදසුන් වඩා එදිනම ෂඩ් අභිඥා ලාභී මහතෙරනමක් වූ උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“එකල උපශාන්ත නම් පසේ බුදුරජාණන් වහන්සේ පර්වත ගුහාවක වාසය කළහ. ඒ නරෝත්තමයන් වහන්සේ සමීපයට එක් සපුමලක් ගත් මම ගියෙමි.
අපරාජිත වූ තථාගතයන් වහන්සේට දෝතින්ම ඒ මල පිදුවෙමි.
මීට කල්ප හැටපහකට පෙර යම් පුෂ්ප පූජාවක් ම විසින් කළෙම් ද එදා සිට අද දක්වා මම දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ තම පෙර විසූ කඳ පිළිවෙල සිහිපත් කර බලා ධර්ම සංවේගයට පත් වූ සේක්, මේ ගාථා දෙක වදාළහ.
“සංසරං දීඝමද්ධානං ගතීසු පරිවත්තියං,
අපස්සං අරිය සච්චානි අන්ධභූතො පුථුජ්ජනො”
අපස්සං අරිය සච්චානි අන්ධභූතො පුථුජ්ජනො”
“තස්ස මෙ අප්පමත්තස්ස සංසාරා විනළීකතා,
ගති සබ්බා සමුච්ඡින්නා, නත්ථි දානි පුනබ්භවො” තී
ගති සබ්බා සමුච්ඡින්නා, නත්ථි දානි පුනබ්භවො” තී
මෙහි “සංසරං” යනු ඒ ඒ භවයෙහි සැරිසරමින් දැඩිව ගැනීම්, බැඳගැනීම් වශයෙන් නැවත නැවත ඒ ඒ භවයේ හැසිරුණෙමි. “දීඝමද්ධානං” බොහෝ කාලයක්, අනාදිමත් සසර, අප්රමාණ කාලයක්. “ගතීසු” සැප දුක් කර්මයන්ගේ විපාක වශයෙන් සුගති දුගති ආත්ම භාවයන්හි. “පරිවත්තිසං” ගැටෙන්නාක් මෙන් පෙරළෙමින් චුති-උප්පත්ති වශයෙන් නැවත නැවත පෙරළුනෙමි. ඉපදුනෙමි. එසේවීමට හේතු මෙසේ දක්වයි. “අපස්සං අරිය සච්චානී අන්ධභූතො පුථුජ්ජනො” දුක්ඛාදි චතුරාර්ය සත්ය ධර්මය නුවණැසින් නුදුටු, අවබෝධ නොකළ බැවින් ම අවිද්යාවෙන් අන්ධ වූ හෙයින් අන්ධ වූ. වෙන්ව සිතමින්, වෙන්වීම් ජනනය කරන බැවින් “පුථුජ්ජන” නම් වූ පුහුදුන්-නූගත් වූ බැවින් සසර ඒ ඒ ගතිවල සැරිසැරුවෙමි. මෙනිසා බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළහ -
“මහණෙනි! මම ද නුඹලා ද මේ චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ නොකළ, ප්රත්යක්ෂ නොකළ බැවින් මේ දීර්ඝ සංසාරයෙහි සැරිසැරුවෙමි.”
ඉහතින් පැවසූ ලෙසම පෙර පුහුදුන්ව සසර සැරිසැරූ මම දැන් ශාස්තෲන් වහන්සේ පෙන්වූ මාර්ගය අනුගමනය කිරීමෙන් අප්රමාදීව - අප්රමාදී පිළිවෙතින් කටයුතු කර සමථ-විදර්ශනා භාවනාවෙන් මස්තකප්රාප්ත කොටගෙන සිටියෙමි. “සංසාරා විනළීකතා” මෙහි සත්ත්වයෝ සැරිසරනුයි “සංසාර” නම් වූ සංසාරික පැවැත්මට හේතුවන කර්ම ක්ලේශයන් අග්රමාර්ගයෙන් මුළුමනින්ම සිඳලූයෙමි. ක්ෂය කෙළෙමි මුල් නැති කළෙමි. “ගති සබ්බා සමුච්ඡින්නා” මෙසේ සසර පැවැත්මට හේතුවන කර්ම ක්ලේශයන් මුලිනුපුටා දැමූ හෙයින් නිරය ආදී වූ සියලුම ගතිවල මතු ඉපදීම නැති කළෙමි. විධ්වංසනය කළෙමි. එසේ ම “මා හට මතු නැවත පුනර්භවයක් නැත.” මෙම ප්රකාශයම තෙරුන්ගේ රහත් බව පැවසීම විය.
වජ්ජිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.