අනුපම ස්ථවිරගාථා වර්ණනාව
“නන්‍දමානාගතං චිත්තං” යනු ආයුෂ්මත් අනූපම තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කවරේ ද? පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින් දහම් රැස් කරගෙන පැමිණ, මීට කල්ප තිස් හතකට පෙර දී සිටු කුලයක උපන් උන්වහන්සේ; තුරුණුවියට පත්ව දිනක් පදුම නම් පසේ බුදුරජාණන් වහන්සේ වීථියෙහි පිඬු පිණිස හැසිරෙනු දැක - පහන් සිතින් රුක් අඟුන මලින් (ආකුලී පුප්ථ) උන්වහන්සේ පිදූහ. ඒ පින්කමේ විපාක ලෙස දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට ධනවත් පවුලක ඉපිද අපමණ වූ රූප සම්පත් ලැබීමෙන් අනූපම යන නම ලබා නිසිවියට පත්වත්ම උපනිශ්‍රය සම්පත් නිසා කාමයන් හැර දමා පැවිදිව විදසුන් කමටහන් වඩමින් අරණ්‍යයෙහි විසූහ. උන්වහන්සේගේ සිත බාහිර අරමුණුවල දුවයි. කමටහනෙහි සිත බිඳ වැටේ. අනූපම තෙරණුවෝ ඔබිනොබ දුවයන සිතට නිග්‍රහ කරමින් මේ ගාථා දෙකින් අවවාද කළහ.
“නන්‍දමානාගතං චිත්තං සුලමාරොපමානකං,
තෙන තෙනෙව වජසි යෙන සූලං කලිංගරං”
“තාහං චිත්තකලිං බ්‍රෑමි, තං බ්‍රෑමි චිත්ත දුබ්භකං,
සත්‍ථා තෙ දුල්ලභො ලද්ධො, මානත්‍ථෙ මං නියොජයී” තී.
මෙහි “නන්‍දමානාගතං චිත්තං” සතුටුවෙමින් ආවාවූ. ඒ ඒ භවයෙහි සතුටවෙමින් යම් තණ්හාවක් නිසා ආවා වූ ඒ ඒ තැන ඇලෙමින් සතුටුවෙමින් පැවති සංසාරික වූ සිත, මේ භවයට ද සතුටුවෙමින් ප්‍රීතිවෙමින් පැමිණියේය. උපන්නේ ය. “සූලමාරොපමානකං” සත්ත්වයා දුකෙහි පිහිටුවන බැවින් හුලක් බඳු වූ. කර්මක්ලේශයන් විසින් ඒ ඒ භවයෙහි මෙපමණ කාලයක් භව නමැති හුලට නැංවූයෙමි. “තෙන තෙනෙව වජසි යෙන සූලං කලිංගරං” හුල නම් වූ භවය යම් යම් තැනකට යයි ද ඒ ඒ තැනට දම්ගෙඩිය නම් වූ කාමගුණද පැමිණේ. ඒ ඒ තැන්වලට පාපී සිත ගමන් කරයි. ඒ ඒ භවයට යෑමෙන් තමාට වන අනර්ථය නොසලකයි.
“තාහං චිත්ත කලිං බ්‍රෑමි” එනිසා, ප්‍රමාදී වන බැවින් “එම්බා චිත්තය! නුඹ කාලකණ්ණියෙකි”යි මම කියමි. නැවත ද මම එය කියමි. “එම්බා චිත්ත ද්‍රෝහිය! සිත නැමති තමාට බොහෝ උපකාර කරන සන්තානයට අනර්ථ ඇති කරන බැවින් නුඹ ද්‍රෝහියෙකි”යි මම කියමි. “චිත්ත දුබ්භකං” යනුවෙනි. මෙය “චිත්ත දුබ්භගා” ලෙස ද යෙදේ. “සිත නම් වූ අභාග්‍ය සම්පන්න, අල්ප පින් ඇත්ත” යන අර්ථයයි. මෙසේ කුමක් නිසා කියම් ද? “සත්‍ථා තෙ දුල්ලභො ලද්ධො මානත්‍ථෙ මං නියොජයී” කල්ප අසංඛ්‍ය ගණනක් ලෝකය බුදුවරුන්ගෙන් ශූන්‍යව පවතී. ශාස්තෲන් වහන්සේ පහළ වූ කල්හි දු මිනිසත් බව ලබාගැනීම් ආදිය ද අතිශයින් දුර්ලභම වේ. මිනිසත් බව ලැබුවත් ඔවුන්ට ශාස්තෲන් වහන්සේ දැකීම - ධර්‍මශ්‍රවණය දුර්ලභ වේ. “මෙසේ දුර්ලභ වූ ශාස්තෲන් වහන්සේ දැකීමට නුඹට හැකි විය. එය ලත් අවස්ථාවෙහි, දැන් මෙම අවස්ථාවෙහි මම අනර්ථයෙහි, අහිත දෙයෙහි යොදවා අනාගතයේ ද මාහට අනර්ථ වූ දුක් වූ අකුසල ධර්මයන්හි මා නොයොදව!” තෙරණුවෝ මෙසේ තම සිතට අවවාද දී, සිත දමනය කර විදසුනෙහි සිත වඩා රහත් බවට පත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“එකල චිත්‍රකූට පර්වතයේ දී පදුම නම් පසේ බුදුහු වැඩ විසූහ. සියල්ල තමන් වහන්සේම අවබෝධ කරගත්, අපරාජිත වූ බුදුපියාණන් වහන්සේ දුටු මම පිපුණු රුකඟුන ගසකින් මල් නෙලාගෙන, පස්මරුන් දිනූ පදුම බුදුරදුන් වෙත ගොස් ඒ මල් පිදුවෙමි.
මීට කල්ප තිස් එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අනූපම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වජ්ජිත ස්ථවිරගාථා වර්ණනාව
“සංසරං දීඝමද්ධානං” යනු ආයුෂ්මත් වජ්ජිත තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින්දහම් රැස්කරමින් අවුත්, මීට කල්ප හැටපහකට පෙර එක් ප්‍රත්‍යන්ත ගමක උපන්හ. වැඩිවියට පත්ව වනයේ හැසිරෙන්නෙක් වූ ඔහු දිනක් උපශාන්ත නම් පසේ බුදුරදුන් පර්වත ගුහාවක වෙසෙනු දුටුවේය. උන්වහන්සේ සන්සුන් පැවතුම් දැක පැහැදුනු සිත් ඇති වැඳි තෙම සපුමලින් බුදුන් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට ධනවත් පවුලක උපන් එකුමරු, උපන් දිනය් පටන්ම ස්ත්‍රියකගේ අතට ගියවිට හඬයි. බඹලොවින් චුතව මෙහි උපන් බැවින් ස්ත්‍රී ස්පර්ශය නො ඉවසයි. ඒ කුමරා ස්ත්‍රී ස්පර්ශය වර්ජිත වූ බැවින් “වජ්ජිත” නම තබන ලදි. තුරුණුවියට පත්ව ශාස්තෲන් වහන්සේගේ යමා මහ පෙළහර දුටු වජ්ජිත, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. විදසුන් වඩා එදිනම ෂඩ් අභිඥා ලාභී මහතෙරනමක් වූ උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.