චූළක ස්ථවිරගාථා වර්ණනාව
“නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා” යනු ආයුෂ්මත් චූලක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කවරේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් අවුත්. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටු කුලයේ ඉපිද වැඩිවියට පත් වූහ. ඔහු දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් ඡත්තපණ්ණි ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බමුණු පවුලක “චූලක” නමින් ඉපිද වැඩිවියට පත් විය. ධනපාල (නාලාගිරි) ඇතු දමනයේදී ලැබූ ශ්රද්ධාවෙන් පැවිදි වූ චූලක හිමියෝ ඉන්දසාල ගුහාවෙහි වෙසෙමින් මහණදම් පිරූහ. උන්වහන්සේ දිනක් ගුහා දොරකඩ මේඝයක් ගැඹුරු - මිහිරි හඬ නංවමින් (ගොරවමින්) සිය දහස් ගණන් විදුලිය ගසමින්, කුඹුක් ගසක මුදුන මෙන් අහස පුරවා වැසි වැසීමට පටන් ගත්තේය. මොණර සමූහයා ද මේඝයේ ගර්ජනාව අසා තුටු පහටුව කේකාර හඬ නංවමින් ඒ ඒ දෙස නටමින් හැසිරුණහ. තෙරුන්ගේ ද ආවාසය තුළට වැසි සුළං හමාවිත් දුරු වූ ග්රීෂ්මය ඇතිව, සන්සිඳුණු කරජකාය, සුදුසු වූ සෘතු සම්පත්ති ලැබීමෙන් යෝග්ය බවට පැමිණියේ සිත එකඟ විය. එනිසා සිත කමටහන් මාර්ගයට බැස ගත්තේය. මේ බව දැනගත් තෙරණුවෝ කාල සම්පත්තිය ප්රකටව දැක්වීම් වශයෙන් තමා භාවනාවට උත්සාහවත් කරමින් මේ ගාථා දෙක වදාළහ.
“නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා, සුනීලගීවා සුඛුමා සුගජ්ජිනො,
සුසද්දලා චා පි මහාමහී අයං, සුබ්යාපිතම්බූ සුවලාහකං නබං”
සුසද්දලා චා පි මහාමහී අයං, සුබ්යාපිතම්බූ සුවලාහකං නබං”
“සුකල්ලරූපො සුමනස්ස ඣාය තං, සුනික්ඛමො සාධු සුබුද්ධ සාසනෙ,
සුසුක්ක සුක්කං නිපුණං සුදුද්දසං, ඵුසාහි තං උත්තම මච්චුතං පදං” තී.
සුසුක්ක සුක්කං නිපුණං සුදුද්දසං, ඵුසාහි තං උත්තම මච්චුතං පදං” තී.
මෙහි “නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා සුනීලගීවා සුඛුමා සුගජ්ජිනො” හිසෙහි උස්ව පිහිටි සුන්දර වූ ශිඛාවකින් සමන්විත බැවින් “සුසිඛා” නම් වූ. මනා සිළු ඇති. නානාවිධ වර්ණයන්ගෙන්, නොයෙක් සුන්දරත්වයන්ගෙන් යුක්ත භද්ර වූ පිල්කළඹකින් යුතු බැවින් “සුපෙඛුණා” නම් මනා පිල් කළඹක් ඇති. රාජීව වර්ණයට සමාන වූ සුන්දර නිල්වන් ගෙලකින් සමන්විත වූ බැවින් “සුනීලගීවා” නිල්වන් මනා ගෙල ඇති, මුවක් (හොටයක්) ඇති බැවින් “සුමුඛා” මනා මුවතුඩු ඇති. මනෝඥ වූ නාද ඇති බැවින් “සුගජ්ජිනො” මනහර නාද ඇති. මයුරයෝ ෂඩ්ජ සංවාදන සහිත කේකාර ශබ්දයෙන් නාද කරති. ගායනා කරති. “සුසද්දලාචාපි මහාමහී අයං” මේ මහා පොළොව මනා වූ සුන්දර වූ නිල් තණ ඇත්තීය. “සුබ්යාපිතම්බු” අභිනවයෙන් වැසි ලැබුණු බැවින් ඒ ඒ තැන මනාව ඉසී ගිය - පැතිර ගිය දිය ඇත්තීය. මනාව දිය වැල් ගලා ප්රදේශයම ප්රාණවත් කර ඇත. “සුසුද්ධතම්බූ” යන පාඨය ද යෙදේ. එහි අර්ථය ඉතා පිරිසිදු දිය දහරා පැතිරී යන්නයි. “සුවලාහකං නභං” දැක්වේ. අහස නිල් උපුල් ඇලි හා සමාන වූ හාත්පස මනාව පුරවා සිටි සුන්දර වළාවන්ගෙන් මේඝයන්ගෙන් පිරුණු,
“සුකල්ල රූපො සුමනස්ස ඣාය තං” දැන් යෝග්ය සෘතු සම්පත්තිය ලැබීමෙන් මනාවූ සිත් ඇතිව අතිශයින් යෝග්ය වූ භාවනාවට සුදුසු වූ ශරීර ඇත. එනිසා ධ්යාන වඩව. පංචනීවරණයන්ගෙන් දුරු වූ - නොමැඩලූ සිත් ඇති බැවින් සුන්දර සිත් ඇති යෝගාවචරයා ඒ ඒ ආරම්මණ හා ලක්ෂණාදි වශයෙන් ඇති කමටහනක් ගෙන ඒ අනුව ධ්යාන වඩව. “සුනික්ඛමො -පෙ- අච්චුතං පදං” මෙසේ ධ්යාන කරන්නෙක් ව මනා වූ, යහපත් වූ සම්මා සම්බුද්ධ ශාසනයෙහි, ගිහිගෙන් යහපත්ව නික්මවූත් පැවිදිව ඉතා යහපත් වූ සිල් ඇතිව, යහපත් වූ පිරිසිදු භාවයෙන් සියලුම කෙලෙස්වල වසඟත්වයට නොපැමිණි බැවින් යහපත් වූ, තීක්ෂණ වූ ප්රඥාවටම ගෝචර වන බැවින් තියුණු වූ, ඉතා ගැඹුරු බැවින් යහපත් වූ තීක්ෂණ වූ ප්රඥාවටම ගෝචර වන බැවින් තියුණු වූ, ඉතා ගැඹුරු බැවින් දැකීමට අපහසු වූ ප්රණීත භාවයෙන් හා ශ්රේෂ්ඨ භාවයෙන් උතුම් වූ, නිත්ය වූ ස්වභාව ඇති බැවින් අමරණීය වූ නිර්වාණ ධර්මය ස්පර්ශ කරව! තමාම ප්රත්යක්ෂව අවබෝධ කර ගැනීමෙන් යහපත් පිළිවෙත සාක්ෂාත් කරගනුව!”
තෙරුන් වහන්සේ මේ අයුරින් තමන්ටම උපදෙස් දෙමින්, යෝග්ය වූ සෘතු සම්පත් ලැබීමෙන් සන්සුන් වූ සිත් ඇතිව විදසුනෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“පසළොස්වක් පුන් පෝදින සඳ මෙන් ද බබළන කිණිහිරි රුකක් මෙන් ද දිළිසෙන පන් ගසක් මෙන් ද බබළන්නා වූ ලෝක නායකයන් වහන්සේ දුටුවෙමි.
එකල මම ඡත්තපණ්ණි ඵලයක් ගෙන ශාස්තෲන් වහන්සේට පිළිගැන්වූයෙමි.
මීට කල්ප තිස් එකකට පෙර මම යම් ඵල දානයක් දුන්නෙම් ද එතැන් පටන් මේ දක්වා මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මට සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ තෙරණුවෝ තම පිළිවෙත සිහිපත් කිරීමෙන් උපන් ප්රීති සොම්නස්භාව ඇතිව, “තදන්ති මොරා” ආදී ගාථා දෙක නැවත වදාළහ. එනිසා මෙම ගාථා දේශනාවම උන්වහන්සේගේ රහත් බව ප්රකාශ කිරීම ද විය.
චූලක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අනුපම ස්ථවිරගාථා වර්ණනාව
“නන්දමානාගතං චිත්තං” යනු ආයුෂ්මත් අනූපම තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කවරේ ද? පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින් දහම් රැස් කරගෙන පැමිණ, මීට කල්ප තිස් හතකට පෙර දී සිටු කුලයක උපන් උන්වහන්සේ; තුරුණුවියට පත්ව දිනක් පදුම නම් පසේ බුදුරජාණන් වහන්සේ වීථියෙහි පිඬු පිණිස හැසිරෙනු දැක - පහන් සිතින් රුක් අඟුන මලින් (ආකුලී පුප්ථ) උන්වහන්සේ පිදූහ. ඒ පින්කමේ විපාක ලෙස දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රට ධනවත් පවුලක ඉපිද අපමණ වූ රූප සම්පත් ලැබීමෙන් අනූපම යන නම ලබා නිසිවියට පත්වත්ම උපනිශ්රය සම්පත් නිසා කාමයන් හැර දමා පැවිදිව විදසුන් කමටහන් වඩමින් අරණ්යයෙහි විසූහ. උන්වහන්සේගේ සිත බාහිර අරමුණුවල දුවයි. කමටහනෙහි සිත බිඳ වැටේ. අනූපම තෙරණුවෝ ඔබිනොබ දුවයන සිතට නිග්රහ කරමින් මේ ගාථා දෙකින් අවවාද කළහ.