විසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“න උක්ඛිපෙ නො ච පරික්ඛිපෙ පරෙ” යනු ආයුෂ්මත් විසාඛ පංචාලිපුත්ත තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන පින්දහම් රැස්කර ගත් සේක්, මීට කල්ප දාහතරකට පෙර දී ප්‍රත්‍යන්ත ගමක දිළිඳු කුලයක ඉපිද වැඩිවියට පත් වූහ. දිනක් ඵල වැල සොයමින් හැසිරෙන ඒ ගමේ මිනිසුන් සමඟ අරණ්‍යයට ගොස්, එහි දී එක් පසේ බුදුවරයකු දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වල්ලි ඵල දුන්නේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී මගධ රටෙහි මාණ්ඩලික රාජ කුලයක ඉපිද “විසාඛ” නමින් ද පංචාලි රජ දුවගේ පුතු බැවින් පංචාලි පුත්ත යනුවෙන් ද ප්‍රකට විය. පියා මියගිය කල්හි රජ වූ ඔහු ශාස්තෲන් වහන්සේ තම සමීපයට වැඩම කළ කාලයේදී උන්වහන්සේ වෙත ගොස්, ධර්ම ශ්‍රවණය කොට ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වී උන්වහන්සේ සමගම සැවැත් නුවරට ගොස් විදසුන් වඩා නොබෝ කලකින්ම ෂඩ් අභිඥා උපදවා ගත් මහරහතන් වහන්සේ නමක් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“එකල සියලු ජනයා සමග පැමිණි මම වනයට ගියෙමි. ඵලවැල සොයමින් වනයේ හැසිරුණු අපි බොහෝ ඵලවැල නෙලා ගත්තෙමු.
තමන් වහන්සේම සත්‍ය අවබෝධ කරගත්, අපරාජිත වූ පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකු දැක, පැහැදුණු සිත් ඇති මම සතුටු සිතින් වල්ලි ගෙඩියක් පිදුවෙමි.
මීට කල්ප දාහතරකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එදා සිට ම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ තෙරුන් වහන්සේ ඥාතීන්ට අනුකම්පාවෙන් නැවත උපන් බිමට වැඩම කළහ. එහි මිනිස්සු වරින් වර තෙරුන් වහන්සේ වෙත පැමිණ ධර්මශ්‍රවණය කිරීමට පුරුදු වූහ. එක් දිනක් “ස්වාමීනි! ධර්මකථිකයා කවර අංගයන්ගෙන් සමන්විත වුයේ ද?”යි මිනිස්සු ධර්මකථිකයාගේ ලක්‍ෂණ විමසූහ. තෙරුන් වහන්සේ ඔවුන්ට ධර්මකථිකයාගේ ලක්‍ෂණ විමසූහ. තෙරුන් වහන්සේ ඔවුන්ට ධර්මකථිකයාගේ ලක්‍ෂණ පැවසීමට මේ ගාථා දෙක වදාළහ.
“න උක්ඛිපෙ, නොච පරික්ඛපෙ පරෙ, න ඔක්ඛිපෙ, පාරගතං ත ඵරයෙ,
න චත්තවණ්ණං පරිසාසු ඛ්‍යාහරෙ, අනුද්ධතො සම්මිතභාණි සුබ්බතො”
“සුසුඛමනිපුණත්‍ථ දස්සිනා, මතිකුසලෙන නිවාත වුත්තිනා,
සංසෙවිත බුද්ධසීලිනා නිබ්බාණං නහි තෙන දුල්ලභං” තී.
මෙහි “න උක්ඛිපෙ” තමා හුවා නො දක්වන්නේය. ජාති ආදියෙන් ද බහුශ්‍රැත භාවාදියෙන් ද තමා උසස් කර දැක්වීම නො කරන්නේය. “නො ච පරික්ඛිපෙ පරෙ” අන්‍ය පුද්ගලයන් ද එලෙසින්ම ජාති ආදියෙන් හෙළා නොදකින්නේය. ගුණ විනාශ කිරීම් වශයෙන් පහත් කර නො සලකන්නේ ය. අනුන් පහත් කොට නො බලන්නේය යන අරුත් ඇති “න ඔක්ඛිපෙ” යන්න මෙයටම සම්බන්ධය. “අන්‍යයන්ට දොස් නො කියන්නේය” යන අර්ථයයි. ඇතැම්හු මෙය “න උක්ඛිපෙ” යන්න මෙයටම සම්බන්ධය. “අන්‍යයන්ට දොස් නො කියන්නේය” යන අර්ථයයි. ඇතැම්හු මෙය “න උක්ඛිපෙ” යැයි කියති. එහි ද එම අර්ථයම ය. “පාරගතං” සංසාරයේ පරතෙරට මෙන් අභිඥාවන්හි පරතෙරට ගිය, ක්‍ෂීණාශ්‍රව වූ ත්‍රිවිද්‍යාපත් ෂඩ් අභිඥාලාභී වූ රහතන් වහන්සේ නො ගටන්නේය. කම්පා නො කරන්නේය. පහර නො දෙන්නේය. “න චත්තවණ්ණං පරිසාසු ඛ්‍යාහරෙ”, තමාගේ වර්ණනාව, ගුණ ආදිය ලාභ සත්කාර කීර්ති අපේක්‍ෂාවෙන් ක්‍ෂත්‍රීය පිරිස් ආදියෙහි නො කියන්නේය. “අනුද්ධතො” යනු නොවිසිරුණු සිත් ඇතිව, නොසන්සුන් සිත් ඇත්තාගේ වචන නො පිළිගනියි. “සම්මිතභාණි”, මනාව පමණ දැන කථා කරන්නේය. සුදුසු කාලයෙහි, කරුණු සහිත වූ මුල මැද අග යහපත් වූ අර්ථවත් වූ වචනම කථා කරන ස්වභාව ඇත්තේ යන අර්ථයයි. මෙයින් බැහැර වූ කථිකයාගේ වදන් නොපිළිගත යුත්තේය. “සුබ්බතො” යනු මනා වූ පැවතුම් ඇති සිල්වතෙක් වේ. “සියා” යන ක්‍රියාපදය රැගෙන මෙතැනට යෙදිය යුතුයි.
මෙසේ ධර්ම කථිකයාගේ ලක්‍ෂණ ඉතා සංක්‍ෂිප්තව වදාළ තෙරණුවෝ එම ගුණ මහිම තමා කෙරෙහි ඇති බැවින්, ඒවායේ ස්ථිරව පිහිටා මහජනයා බොහෝ සේ පැහැදුණු බව දැන - “මෙබඳු ගුණමහිම ඇති ධර්ම කථිකයාට සසරින් මිදීම අරමුණු කරගත්තහුට නිවණ දුර්ලභ නොවේ. ඉතා සුලභම වේ” යැයි දක්වමින් මේ “සුසුඛුමනිපුනත්‍ථදස්සිනා” යන දෙවන ගාථාව වදාළහ. එහි අර්ථ ඉහත පැවසූ පරිදිම දත යුතුයි.
විසාඛ පංචාලිපුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
චූළක ස්ථවිරගාථා වර්ණනාව
“නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා” යනු ආයුෂ්මත් චූලක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කවරේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් අවුත්. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටු කුලයේ ඉපිද වැඩිවියට පත් වූහ. ඔහු දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් ඡත්තපණ්ණි ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බමුණු පවුලක “චූලක” නමින් ඉපිද වැඩිවියට පත් විය. ධනපාල (නාලාගිරි) ඇතු දමනයේදී ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ චූලක හිමියෝ ඉන්දසාල ගුහාවෙහි වෙසෙමින් මහණදම් පිරූහ. උන්වහන්සේ දිනක් ගුහා දොරකඩ මේඝයක් ගැඹුරු - මිහිරි හඬ නංවමින් (ගොරවමින්) සිය දහස් ගණන් විදුලිය ගසමින්, කුඹුක් ගසක මුදුන මෙන් අහස පුරවා වැසි වැසීමට පටන් ගත්තේය. මොණර සමූහයා ද මේඝයේ ගර්ජනාව අසා තුටු පහටුව කේකාර හඬ නංවමින් ඒ ඒ දෙස නටමින් හැසිරුණහ. තෙරුන්ගේ ද ආවාසය තුළට වැසි සුළං හමාවිත් දුරු වූ ග්‍රීෂ්මය ඇතිව, සන්සිඳුණු කරජකාය, සුදුසු වූ සෘතු සම්පත්ති ලැබීමෙන් යෝග්‍ය බවට පැමිණියේ සිත එකඟ විය. එනිසා සිත කමටහන් මාර්ගයට බැස ගත්තේය. මේ බව දැනගත් තෙරණුවෝ කාල සම්පත්තිය ප්‍රකටව දැක්වීම් වශයෙන් තමා භාවනාවට උත්සාහවත් කරමින් මේ ගාථා දෙක වදාළහ.
“නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා, සුනීලගීවා සුඛුමා සුගජ්ජිනො,
සුසද්දලා චා පි මහාමහී අයං, සුබ්‍යාපිතම්බූ සුවලාහකං නබං”
“සුකල්ලරූපො සුමනස්ස ඣාය තං, සුනික්ඛමො සාධු සුබුද්ධ සාසනෙ,
සුසුක්ක සුක්කං නිපුණං සුදුද්දසං, ඵුසාහි තං උත්තම මච්චුතං පදං” තී.
මෙහි “නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා සුනීලගීවා සුඛුමා සුගජ්ජිනො” හිසෙහි උස්ව පිහිටි සුන්දර වූ ශිඛාවකින් සමන්විත බැවින් “සුසිඛා” නම් වූ. මනා සිළු ඇති. නානාවිධ වර්ණයන්ගෙන්, නොයෙක් සුන්දරත්‍වයන්ගෙන් යුක්ත භද්‍ර වූ පිල්කළඹකින් යුතු බැවින් “සුපෙඛුණා” නම් මනා පිල් කළඹක් ඇති. රාජීව වර්ණයට සමාන වූ සුන්දර නිල්වන් ගෙලකින් සමන්විත වූ බැවින් “සුනීලගීවා” නිල්වන් මනා ගෙල ඇති, මුවක් (හොටයක්) ඇති බැවින් “සුමුඛා” මනා මුවතුඩු ඇති. මනෝඥ වූ නාද ඇති බැවින් “සුගජ්ජිනො” මනහර නාද ඇති. මයුරයෝ ෂඩ්ජ සංවාදන සහිත කේකාර ශබ්දයෙන් නාද කරති. ගායනා කරති. “සුසද්දලාචාපි මහාමහී අයං” මේ මහා පොළොව මනා වූ සුන්දර වූ නිල් තණ ඇත්තීය. “සුබ්‍යාපිතම්බු” අභිනවයෙන් වැසි ලැබුණු බැවින් ඒ ඒ තැන මනාව ඉසී ගිය - පැතිර ගිය දිය ඇත්තීය. මනාව දිය වැල් ගලා ප්‍රදේශයම ප්‍රාණවත් කර ඇත. “සුසුද්ධතම්බූ” යන පාඨය ද යෙදේ. එහි අර්ථය ඉතා පිරිසිදු දිය දහරා පැතිරී යන්නයි. “සුවලාහකං නභං” දැක්වේ. අහස නිල් උපුල් ඇලි හා සමාන වූ හාත්පස මනාව පුරවා සිටි සුන්දර වළාවන්ගෙන් මේඝයන්ගෙන් පිරුණු,