මෝඝරාජ ස්ථවිරගාථා වර්ණනාව
“ඡවි පාපක චිත්ත භද්දකා” යනු ආයුෂ්මත් මෝඝරාජ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයේ හිඳිමින් ධර්මශ්රවණය කරන ඔහු; ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් රූක්ෂ සිවුරු දරන භික්ෂූන් අතර අග්රස්ථානයෙහි තබනු දැක, ඒ තනතුර පතාගෙන ඒ ඒ භවයේදී කුසලතා සම්පූර්ණ කළේය. අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ දවස බමුණු කුලයක ඉපිද බ්රාහ්මණ ශිල්ප ශාස්ත්රයන්හි පරතෙරට ගොස් බමුණු කුමරුවන්ට සිප්සතර ඉගැන්වූ හෙතෙම දිනක් අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ භික්සු සංඝයා පිරිවරා වැඩම වනු දුටුවේය. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා පසඟ පිහිටුවා වැඳ හිසේ ඇඳිලි බැඳගෙන, “යාවතා රූපිනො සත්තා” යන ගාථා සයෙන් උන්වහන්සේට ස්තූතිකොට බඳුනක් පුරවා මී පැණි පිළිගැන්වීය. මී පැණි පිළිගත් ශාස්තෲන් වහන්සේ පුණ්යානුමෝදනා කළ සේක.
මේ පින්කම්වල බලයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා පැමිණි ඔහු කාශ්යප භාග්යවතුන් වහන්සේගේ කාලයේදී කාෂ්ඨවාහන නම් රජුගේ ඇමතියකුව ඉපිද, එරජු විසින් ශාස්තෲන් වහන්සේ කැඳවාගෙන ඒම සඳහා පුරුෂයන් දාහයක් සමඟ ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්ම ශ්රවණය කොට, ලැබූ ශ්රද්ධාවෙන් පැවිදි වී වසර විසි දාහක් මහණ දම් පුරා ඉන් චුතව එක් බුද්ධාන්තරයක්ම දෙව්ලොව සැප වින්දේය. පසුව මේ බුද්ධෝත්පාද කාලයේ දී මෝඝරාජ නමින් බමුණු පවුලක උපන් හෙතෙම බාවාරි නම් බ්රාහ්මණ පඬිවරයා සමීපයේ ශිල්ප උගත්තේය. හටගත් සංවේගයෙන් ගිහිගේ කළකිරී තාපසයෙකු ලෙස පැවිදි වූ මෝඝරාජ, තවුසන් දාහක් පිරිවරා ගෙන අජිතාදී තවුසන් සමඟ ගුරුවරයා විසින් ශාස්තෲන් වහන්සේ සමීපයට යවන ලද්දේ, ඒ පිරිසේ පහළොස් වැනියාව සිට බුදුරදුන්ගෙන් ප්රශ්න විමසා එය විසඳා දුන් කල්හිම රහත් බවට පත් විය. අපදාන පාළියේ මෝඝරාජ හිමියෝ මෙසේ පවසති.
“සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්තා වූ, අපරාජිත වූ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව වීථියට පිළිපන් සේක.
ශිෂ්යයන් විසින් පිරිවරා ගත් මම ගෙදරින් නික්මුණෙමි. නික්ම යන්නා වූ මම ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
සිරසෙහි ඇඳිලි බැඳ බුදුරදුන්ට වැඳි මම සිත පහදවා ගෙන ලෝක නාථයන් වහන්සේ සමඟ පිළිසඳර කථා කළෙමි.
“යම් පමණ රූපාවචර බ්රහ්මයෝ වෙත් ද එසේම අරූපාවචර බ්රහ්මයෝ වෙත් ද අසංඥතල වැසි බ්රහ්මයෝ වෙත් ද ඒ සියලු දෙන ඔබ වහන්සේගේ ඤාණයෙහි ඇතුළත් වෙති. ඔබ නුවණට ඔවුහු පෙනෙති.
යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියේ ඔබන්නේ නම් දියේ කිසියම් ප්රාණියෙක් වෙත් ද ඒ සියලු දෙන දෑස තුළට වැදගනිති.
රූපී සත්ත්වයන්ගේ ද අරූපී සත්ත්වයන්ගේ ද යම් චේතනාවක් වේ නම් සියළුම ඒ චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුලත් වෙති.”
“ඔබ වහන්සේ අඳුරෙන් වැසුණු මේ ලෝකයා නඟා සිටුවන සේක. ඔවුහු ඔබ වහන්සේගේ ධර්මය අසා සැකය නම් සැඩපහර තරණය කරති.
ලෝකවාසී සත්ත්වයෝ අවිද්යාවෙන් වසාගත්හ. මෝහන්ධකාරයෙන් වෙලී පවතියි. ඔබවහන්සේගේ නුවණ බැබළෙන කල්හි ලෝවැසියෝ නැසූ මෝහන්ධකාර ඇත්තෝ වෙති.
ඔබ වහන්සේ සෑම දෙනාගේම මහා මෝහන්ධකාරය දුරු කරන්නා වු ඇසක් වන සේක. බොහෝ ජනයා ඔබවහන්සේගේ ධර්මය අසා කෙලෙස් ගිනි නිවාගනිති.”
මෙසේ යාවතා රූපිනො සත්තා” ආදී ගාථා හයකින් බුදුගුණ වැනූ මම; පිරිසිදු දඩුවෙල් බෑ මී පැණි සැළියක් පුරවා දෝතින්ම ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
“මී වැළඳූ මහර්ෂී වූ මහා වීර වූ බුදුරජාණන් වහන්සේ අහසට නැඟී වැඩම කළ සේක.
අහසෙහි සිටි නරශ්රේෂ්ඨ වූ අත්ථදස්සි ශාස්තෲහු මගේ සිත පහදවමින් මෙසේ වදාළහ.
“මෙසේ බුදුනුවණ යමෙකු විසින් පසසන ලද ද යමෙක් බුද්ධ ශ්රේෂ්ඨයන්ට ස්තූති කළේ ද ඔහු චිත්ත ප්රසාදය කරණ කොට ගෙන දුගතියකට නො යන්නේ ය.
ඔහු දෙව්ලොව දාහතර වරක් දෙව්රජය කරන්නේය. පෘථිවි රජකම අටසිය වරක් කරමින් පොළවෙහි වෙසෙන්නේය.
සක්විති රජව පන්සිය වරක් උපදින්නේය. පෘථිවියේ ලබන ප්රදේශ රාජ සම්පත් ගණන් කළ නොහැක.