බ්රහ්මාලි ස්ථවිරගාථා වර්ණනාව
“කස්සින්ද්රියානි සමථං ගතානි” යනු ආයුෂ්මත් බ්රහ්මාලි තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් පැමිණ, විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක උපන්හ. වැඩිවියට පත් සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස වැඩම කරනු දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වැඳ වාර ඵලයක් පූජා කළේය. ශාස්තෲන් වහන්සේ පුණ්යානුමෝදනා කර වැඩම වූ සේක. ඒ පින්කමේ විපාක වශයෙන් දෙවි මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද, “බ්රහ්මාලී” නමින් ප්රකට විය. වැඩිවියට පත් බ්රහ්මාලි බමුණා පූර්ව හේතු සම්පත් මගින් මෙහෙයවනු ලබන්නේ, සසර පිළිබඳව හටගත් සංවේග ඇතිව, එබඳුම අදහස් ඇති කල්යාණ මිත්ර ඇසුරින් උපකාර ලැබ බුදුසසුනේ පැවිදි විය. තම චරිතයට ගැලපෙන කමටහනක් ගෙන එය වඩමින් අරණ්යායතනයක වැඩ සිටි උන්වහන්සේ, ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලකින්ම විදසුන් වඩා ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“දායකයන්ගේ අනේක පූජාවන් පිළිගන්නා වූ රන්වන් පාටින් බබළන බුදුරජාණන් වහන්සේ වීථියට පිඬු සිඟා වැඩම කළ සේක. මම උන්වහන්සේට වාර ඵලයක් පිළිගැන්වූයෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵලදානයක් දුන්නෙම් ද එදා සිට මේ දක්වා මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ මාර්ග හා ඵල සුවයෙන් කල් යවන උන්වහන්සේ, දිනක් තමා විසූ අරණ්යායතනයේ භික්ෂූන්ගේ අධ්යාත්මික ගුණධර්ම විමසන පධාන පරිග්රාහක තෙරුන්වහන්සේ විසින් එම ආරණ්යායතනයේ භික්ෂූන් සඳහා දෙසූ වීර්ය අනුව යෙදුණු ප්රශ්නයට පිළිතුරු දෙමින් මෙම ගාථා දෙක වදාළහ.
“කස්සින්ද්රියානි සමථං ගතානී, අස්සා යථා සාරථීනා සුදන්තා,
පහීණමානස්ස අනාසවස්ස, දෙවාපි තස්ස පිහයන්ති තාදිනො?”
පහීණමානස්ස අනාසවස්ස, දෙවාපි තස්ස පිහයන්ති තාදිනො?”
“මයහින්ද්රියානි සමථං ගතානි, අස්සා යථා සාරථීනා සුදන්තා,
පහීණමානස්ස අනාසවස්ස, දෙවාපි මය්හං පිහයන්ති තාදිනො” තී.
පහීණමානස්ස අනාසවස්ස, දෙවාපි මය්හං පිහයන්ති තාදිනො” තී.
එහි අර්ථ මෙසේය - “මේ අරණ්යායතනයේ වසන භික්ෂූන් අතරින් කවර නම් ථෙර, නවක, මධ්යම භික්ෂුවක් දක්ෂ වූ රියදුරෙකු විසින් අශ්වයන් මනාව දමනය කරගන්නාක් මෙන්, මනස සය වැනි වූ ඉඳුරන් සය සන්සිඳුනු බවට, දමනය කරගත් බවට, නිර්විෂ ඇති බවට පැමිණියේ ද? කවර නම් භික්ෂුවක් නව වැදෑරුම් මානය දුරුකර සිටි බැවින් දුරු කළ මාන ඇතිව, සිවු ආශ්රව ධර්ම අභාවයෙන් අනාශ්රව වූයේ, මනෝඥ වූ තාදී ගුණයන්ට පැමිණියේ, තාදී ගුණ නිසා දෙවියන්ටද ප්රියවූවෙක්, යහපත් පිළිවෙත් දැක්වීමෙන් ද ආදරයෙන් ද වැඩෙන බැවින් මිනිසුන්ට ප්රියවූවෙක් වන්නේ ද?”
මෙම ගාථාවේ පූර්ව අර්ධයෙන් අනාගාමී මාර්ගාවබෝධය පිළිබඳව විමසන ලදි. අනාගාමී පුද්ගලයාට ද ඉඳුරන් මගින් ප්රහීණ කළ කාමරාග ව්යාපාද ඇති බැවින් සමථය නිර්විෂ බවට පැමිණියේ වේ. සෙසු පාද දෙකින් අර්හත් මාර්ගාවබෝධය පිළිබඳව විමසන ලදි. රහතන් වහන්සේට මානය ප්රහීණ වූයේ අනාශ්රව වූයේ තාදීහු යැයි පවසති.
ඉක්බිති බ්රහ්මාලි තෙරුන් පධාන පරිග්ගාහක තෙරුන් විසින් වදහළ ගාථාව වන “කස්සින්ද්රියානි” යන ගාථාව නැවත ප්රකාශ කළේය. එහි අර්ථ තමා වෙත ඇති බව දක්වමින් ඉන් පසුව “මය්හින්ද්රියානි” යනාදී දෙවැනි ගාථාව ප්රකාශ කරමින්, උන්වහන්සේ සිය රහත්බව විදහා දැක්වූහ. එහි “මය්හින්ද්රියානි” යනු මගේ ඇස් ආදි ඉඳුරන් සයයි. ඉතිරි පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
බ්රහ්මාලි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
මෝඝරාජ ස්ථවිරගාථා වර්ණනාව
“ඡවි පාපක චිත්ත භද්දකා” යනු ආයුෂ්මත් මෝඝරාජ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයේ හිඳිමින් ධර්මශ්රවණය කරන ඔහු; ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් රූක්ෂ සිවුරු දරන භික්ෂූන් අතර අග්රස්ථානයෙහි තබනු දැක, ඒ තනතුර පතාගෙන ඒ ඒ භවයේදී කුසලතා සම්පූර්ණ කළේය. අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ දවස බමුණු කුලයක ඉපිද බ්රාහ්මණ ශිල්ප ශාස්ත්රයන්හි පරතෙරට ගොස් බමුණු කුමරුවන්ට සිප්සතර ඉගැන්වූ හෙතෙම දිනක් අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ භික්සු සංඝයා පිරිවරා වැඩම වනු දුටුවේය. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා පසඟ පිහිටුවා වැඳ හිසේ ඇඳිලි බැඳගෙන, “යාවතා රූපිනො සත්තා” යන ගාථා සයෙන් උන්වහන්සේට ස්තූතිකොට බඳුනක් පුරවා මී පැණි පිළිගැන්වීය. මී පැණි පිළිගත් ශාස්තෲන් වහන්සේ පුණ්යානුමෝදනා කළ සේක.