ධම්මපාල ස්ථවිරගාථා වර්ණනාව
“යො හවෙ දහරො භික්‍ඛු” යනු ආයුෂ්මත් ධම්මපාල තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයේදී පින්දහම් රැස් කරගෙන අවුත් අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. කිසියම් කටයුත්තකට වනයට පිවිසි සිටුකුමරු ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් පුලිල ඵලයක් පූජා කළේය. ඒ පින්කම නිසා දෙව්මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී අප තථාගතයන් වහන්සේගේ පිරිනිවණින් පසුව අවන්ති රට බමුණු පවුලක ධම්මපාල නමින් ඉපිද, වැඩිවිය පැමිණ තක්සිලා නුවරට ගොස් සිප්සතර හැදෑරීය. සිප් ඉගෙන තම නිවස බලා එන කල්හි අතරමග වූ එක්තරා රමණීය විහාරයක් දැක එහි ගොස් එක්තරා තෙරනමක් දැක, වැඳ උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලැබූ ශ්‍රද්ධා ඇති ධම්මපාල කුමරු බුදුසසුනේ පැවිදි වී විදසුන් වඩා ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් බවට පත් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“වනයෙහි දී මහත් කීර්ති ඇති අත්‍ථදස්සි බුදුරජාණන් වහන්සේ දැක පහන් සිත් ඇති මම සතුටු සිතින් පුලිල ගෙඩියක් උන්වහන්සේට පිදුවෙමි.
මීට කල්ප එක් දහස් අටසීයකට පෙර කළ එම ඵල දානයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම කෙළෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
ෂඩ් අභිඥාලාභීව සමාපත්ති සුවයෙන් කල් යවන උන්වහන්සේ එක් දිනක් ඒ විහාරයේ සාමණේර දෙනමක් ගස් අග සිට මල් කඩනු බලා සිටියහ. එක් නමක් නැග සිටි අත්ත එක්වරම බිඳී බිම වැටෙනු දුටු තෙරණුවෝ සෘද්ධි ආනුභාවයෙන් වහාම අතින් අල්ලාගෙන නිරුපද්‍රිතව ම බිම තබා ඒ දෙදෙනාටම ධර්ම දේශනා කරමින් මේ ගාථා දෙක වදාළහ.
“යො භවෙ දහරො භික්‍ඛු යුඤ්ජති බුද්ධ සාසනෙ,
ජාගරො පති සුත්තෙසු අමොඝං තස්ස ජීවිතං,
“තස්මා සද්ධං ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං,
අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානුසාසනං” තී.
එහි “යො” යනු අනියම් වචනයකි. “භවෙ” දැඩි අර්ථයේ නිපාතයකි. “දහරො” තරුණ, ලාබාල, පිඬු සිඟායන්නේ නුයි (භික්ඛනීති) “භික්‍ඛු” නම් වේ. යම් තරුණ භික්‍ෂුවක් ඒකාන්තයෙන්. “යුඤ්ජති” උත්සාහ කරයි. වෑයම් කරයි. “ජාගරො” නිදිවරණ ස්වභාවයෙන් යුක්තව, නිදන්නන් අතර ශ්‍රද්ධාදි සිත්වලින් යුතුව නිදි වරන්නේද. මේ පාඨයේ අර්ථය මෙසේ දත යුතුයි. “යම් තරුණ භික්‍ෂුවක්; “ඒ මම වයසට ගොස් ධර්මය අවබෝධ කරගනිමි”යි නොසිතා බුදුන්ගේ සාසනයෙහි අප්‍රමාදීව පිළිවෙත්හි යෙදෙයි. සමථ විදර්ශනා භාවනාවන්හි අභ්‍යාස කරයි. එබඳු භික්‍ෂුව අවිද්‍යා නින්දට වැටුණු ප්‍රමාදී වූ නිදාගන්නන් අතරින් ශ්‍රද්ධා ආදී නිදිවැරීම් දහම්හි සිත පිහිටුවා නිදි වරයි. එසේම ආත්මාර්ථ පරාර්ථ සාධනය කරගත් උන්වහන්සේ හිස් නොවූ, වඳ නොවූ ජීවිතයක් ගත කරති. උන්වහන්සේට ශ්‍රද්ධාව ඇත. “කර්ම විපාක ඇත.” ආදී වශයෙන් පවත්නා කර්මඵල ශ්‍රද්ධාවද ඇත. ශ්‍රද්ධාව හා බැඳුණු සීලය ද ඒ ආශ්‍රිත චතුපාරිශුද්ධි ශීලය ද උන්වහන්සේට ඇත. “භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයහ. ධර්මය මැනවින් දේශිතය. සංඝයා මනා පැවතුම් ඇත්තෝය” යනුවෙන් තුනුරුවන් කෙරෙහි පවතින අචල වූ ප්‍රසාදය ඇත. විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාව පිරිසිඳ දැනීම් වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට ද හැකියාව ලබයි. නුවණැතිව ධර්මයෙන් හටගත් ප්‍රඥාවෙන් යුක්ත වූ භික්‍ෂුව බුදුවරුන්ගේ අනුශාසනාව අනුව සිටිමින්, එය නිතර සිහිකරමින් ඇවිලගත් තම හිස මධ්‍යස්ථ මාර්ගයෙහි යොදවයි. මැදුම් පිළිවෙතේ යෙදී ඒ සඳහා වීර්ය කරන්නේය” යන අර්ථයයි.
ධම්මපාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
බ්‍රහ්මාලි ස්ථවිරගාථා වර්ණනාව
“කස්සින්‍ද්‍රියානි සමථං ගතානි” යනු ආයුෂ්මත් බ්‍රහ්මාලි තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් රැස් කරමින් පැමිණ, විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක උපන්හ. වැඩිවියට පත් සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස වැඩම කරනු දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වැඳ වාර ඵලයක් පූජා කළේය. ශාස්තෲන් වහන්සේ පුණ්‍යානුමෝදනා කර වැඩම වූ සේක. ඒ පින්කමේ විපාක වශයෙන් දෙවි මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු පවුලක ඉපිද, “බ්‍රහ්මාලී” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් බ්‍රහ්මාලි බමුණා පූර්ව හේතු සම්පත් මගින් මෙහෙයවනු ලබන්නේ, සසර පිළිබඳව හටගත් සංවේග ඇතිව, එබඳුම අදහස් ඇති කල්‍යාණ මිත්‍ර ඇසුරින් උපකාර ලැබ බුදුසසුනේ පැවිදි විය. තම චරිතයට ගැලපෙන කමටහනක් ගෙන එය වඩමින් අරණ්‍යායතනයක වැඩ සිටි උන්වහන්සේ, ඤාණය මුහුකුරා ගොස් නොබෝ කලකින්ම විදසුන් වඩා ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.