අජ්ජුන ස්ථවිරගාථා වර්ණනාව
“අසක්ඛිං වත අත්තානං” යනු ආයුෂ්මත් අජ්ජුණ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහිදී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී නිවන්පතා ගෙන කුසල දහම් රැස් කරගත් අජ්ජුණ තෙරණුවෝ; විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිංහයෙකුව උපන්හ. දිනක් එක් ගසක් මුල හුන් ශාස්තෲන් වහන්සේ දුටු එම සිංහයා, “මෙතෙම ඒකාන්තයෙන් මේ කැලයේ සිටින සියලු දෙනාටම ශ්‍රේෂ්ඨ වූ පුරුෂ සිංහයා වන්නේය”යි පැහැදුණු සිතින් පිපුණු සල් අත්තක් කඩා ඉන් ශාස්තෲන් වහන්සේ පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තිරිසන් බවින් මිදී දෙව්ලොව ඉපිද කාම සුගතීන්හි ම සැරිසැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර සිටු ගෙයක ඉපිද අජ්ජුණ නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් වූ අජ්ජුණ නිගණ්ඨයන් සමීපයේ කළ පුහුණුවීම් ඇතිව “මම මෙසේ නිවණ අවබෝධ කරගන්නෙමි”යි නිවන් ප්‍රාර්ථනා කරගෙන, ළදරු කාලයේදී ම නිගණ්ඨයන් සමීපයේ පැවිදි විය. එහි හරයක් නොමැති බව දැක වෙසෙන කල්හි, ශාස්තෲන් වහන්සේගේ යමක මහා ප්රාතිහාර්ය දැක ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදිව විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් විය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වේ.
“එකල්හි විශිෂ්ට ජන්ම ඇති මහා කෙසරු ඇති සිහරජෙක් වූයෙමි. ගිරිදුර්ගයක් සොයන්නෙම් බුදුරජාණන් වහන්සේ දිටිමි.
දැක මෙසේ සිතීමි. “මේ මහාවීරයන් වහන්සේ මහජනයා කෙළෙස් ගින්නෙන් නිවති. මම ඒ දේවතාතිදේව වූ නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙම් නම් යහපති.”
මෙසේ සිතූ මම සල් අත්තක් බිඳ කෝෂය සහිත සල්මලක් ගෙනාවෙමි. බුදුරදුන් වෙත පැමිණ ඒ උතුම් මල පූජා කළෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් උදාර වූ මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් නවවන කල්පයේ මහත් බල ඇති විරෝචන නම් සක්විති රජවරු තිදෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව, අනුත්තර වූ සුවයේ හෙවත් නිවනෙහි අවබෝධයෙන් හටගත් ප්‍රීති වේගයෙන් උදන් අනන සේක්; උන්වහන්සේ මේ ගාථාව වදාළ සේක.
“අසක්ඛිං වත අත්තානං, උද්ධාතුං උදකා ථලං,
වුය්හමානො මහොඝෙව, සච්චානි පටිවිජ්ඣහ”
වුය්හමානො මහොඝෙව, සච්චානි පටිවිජ්ඣහ”
එහි “අසක්ඛිං” යනු හැකි වූයෙමි. “වත” යනු විශ්මයාර්ථයේ නිපාතයකි. අති විෂ්මයට පත්වීමක් ලෙස සත්‍ය ප්‍රතිවේධය දැක්වේ. එනිසා මෙය කියන ලදි.
“මහණෙනි! නුඹලා කුමක් සිතවුද? අතිශය දුෂ්කර වූ ද අතිශයින් අමාරු වූ ද සත් කඩකඩ බිඳී සෙමර වල්ගයක කෙළවරින් කෙළවර ගැලපීමටත් වඩා දුෂ්කර වූ අවබෝධයකි.” යනාදී ලෙස චතුරාර්ය සත්‍යාවබෝධයේ දුෂ්කර බව කියන ලදී.
“අත්තානං” යනු තමාගේ ආධ්‍යාත්මය සඳහා කියන ලද්දකි. ඔහු වෙනත් අයෙකු නොවේ. තමාම ය. “උද්ධාතුං” යනු උඩට ගැනීමට “උද්ධටං” පාඨය ද යෙදේ. “උදකා” යනු සංසාර මහෝඝය නම් වූ ජලයයි. “ඵලං” නිවන නම් වූ ගොඩබිමයි. “වුය්හමානො මහොඝෙව” යනු මහා සාගරයට ගසාගෙන යන්නකු මෙන් මෙහි අදහස මෙසේය. - යම්සේ ගැඹුරු පැතිරුණු පිහිටක් නැති මහත් වූ සැඬ පහරක මහත් වේගයෙන් ගසාගෙන යන පුරුෂයකු දැක; කිසියම් වැඩ කැමති අයෙක් ළංකරන ලද, කිසිවකු නැති ශක්තිමත් නැවක් ලැබ, ඊට තමා සුවසේ නැගීමට දිය පහරින් උඩට ඒමට හැකිවේද, ගොඩබිමට පැමිණෙන්නේ ද මේ ආකාරයෙන්ම මම සසර නම් මහා සැඬ පහරෙහි කෙළෙස් ආදියෙන් ගසාගෙන යනු ලබන්නෙම්; ශාස්තෲන් වහන්සේ විසින් එළවන ලද සමථ විදර්ශනාදියෙන් අලංකෘත ආර්ය මාර්ගය නම් නැව දැක, ඊට තමාම නැගී නිවන නම් ගොඩබිමට (ක්ෂේමභූමියට) පැමිණීමට සමත් වූයෙමි. අහෝ! එය පුදුමයකි. යම්සේ එම හැකියාව ලැබුවේ ද එය දැක්වීමට “සච්චානි පවිවිජ්ඣහං” යනුවෙන් කියන ලදි. යම් සේ මම දුක්ඛාදි චතුරාර්ය සත්‍යය ධර්මය පිරිසිඳ දැන, ප්රහාණය කර, සාක්ෂාත් කර, වඩා අවබෝධ කරගත්තෙම් ද ආර්ය මාර්ග ඤාණයෙන් අවබෝධ කරගත්තෙම් ද එහෙයින් “මම ඒකාන්තයෙන් තමාම දියෙන් ගොඩ වී ගොඩබිමට පැමිණීමට හැකියාව ලැබුවෙමි.” යනුවෙන් පද පිළිවෙල දත යුතුයි.
අජ්ජුණ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
දේවසභ ස්ථවිරගාථා වර්ණනාව
“උත්තිණ්ණා පඞ්ක පලිපා” යනු ආයුෂ්මත් දේවසහ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහිදී ඒ ඒ භවයන්හිදී නිවන් පතාගෙන, සසරින් මිදීමට පින් රැස් කරගත්හ. සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී පරවියකුව ඉපිද, එක් දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේට එක් පියල් ඵලයක් පූජා කළේය. ශාස්තෲන් වහන්සේ එම පරවියාගේ පැහැදීම වැඩි කිරීම සඳහා එම ඵලය වැළඳූ සේක. ඉන් දැඩි සතුටට පත් පහන් සිත් ඇති පරවියා වරින් වර උන්වහන්සේ වෙත පැමිණ වැඳ සිත පහදවා ගත්තේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, තව තවත් පින් දහම් සිදු කරමින් දෙව් මිනිසුන් අතරෙහි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී එක්තරා ප්‍රාදේශීය රජෙකුගේ පුතුව ඉපිද තරුණ අවස්ථාවෙහි ම පිය උරුමයෙන් රාජ්‍ය ලැබ, රජ සැප විඳිමින් ම ශාස්තෲන් වහන්සේ දැකීමට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ධර්ම අසා ලැබූ ශ්‍රද්ධා ඇති ඒ රජ සංවේගයට පත්ව තම රජකම හැරදමා බුදු සසුනේ පැවිදි විය. විදසුන් වඩා නොබෝ දිනකින් ම කෙලෙස් නසා රහත්ඵලයෙහි පිහිටියේ ය. ඒ පිළිබඳව උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ පවසන ලදි -
බුදුරජාණන් වහන්සේට නුදුරින් වූ ගිරි ගුහාවක සයනය කළෙමි. ලෝකයේ අසහාය නායක වූ බුදුරජාණන් වහන්සේ උදේ ද හවස ද දුටුවෙමි.
දෙපා ඇත්තවුන්ට ප්‍රධාන වූ උන්වහන්සේට පිදිය යුතු කිසිවක් මා වෙත නොවිණි.
පියල් ගෙඩියක් ගෙන බුදුරදුන් සමීපයට ගිය මම එය උන්වහන්සේට පිදුවෙමි. ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත්හ.
පිළිගත් එම පියල් ගෙඩිය විනායකයන් වහන්සේ වැළඳූ සේක. එම සිත් පැහැදවීමෙන් ම මම කලුරිය කළෙමි.
මම මෙයින් කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එදා සිට ම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප පහළොවකට පෙර මහත් බල ඇති පියාලි නම් වූ සක්විති රජවරු තිදෙනෙක් ව උපන්නෙමි.
මවිසින් දැන් සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව ප්‍රහීණ කරන ලද කෙලෙස් පිළිබඳව සිහිපත් කිරීමෙන් උපන්නා වූ සතුටින් යුතුව උදන් අණන සේක්, උන්වහන්සේ මේ ගාථාව වදාළහ.
“උත්තිණ්ණා පඞ්ක පලිපා පාතාලා පරිවජ්ජිතා,
මුත්තො ඔඝා ච ගන්ථා ච සබ්බෙ මානා විසංහතා”
මුත්තො ඔඝා ච ගන්ථා ච සබ්බෙ මානා විසංහතා”
මෙම ගාථාවෙහි “උත්තිණ්ණා” යනු එතෙර වූයෙමි. ඉක්මවූයෙමි. “පඞ්ක පලිපා” යනු මඩ ද මඩ වගුරු ද පංක යනු ස්වාභාවික මඩයි. පලිප යනු ගැඹුරු, පළල්, විශාල මඩ වගුරකි. මෙහි මඩ වැනි වූ කාමරාගය අදහස් විය. අශුචි ආදි දේ ඉපදීමෙන් සිතේ තැවරීමෙන් පලිපයක් වැනි වූයේ පලිපයයි. පුත්රදාරාදීන් කෙරේ බලවත් ඡන්ද රාගයෙන් ඇලීමයි. “මෙම මඩ තවරා ගැනීමෙන් ද නොමනා ලෙස කීම් කෙරීම් ද මවිසින් අනාගාමී මාර්ගයට පැමිණෙන විට සියලු ම ආකාරයෙන් ඉක්මවන ලදි” යනුවෙන් කියයි. ‘සංක හා පලිප නම් වූ කාම, ඡන්ද රාගාදිය තරණය කළෙමි.” “පාතාලා” යනු පහත, නිරයට පමුණුවයි යන අරුතින් “පාතාලා” යන්නෙන් අදහස් වන බව කියති. මෙහිදී අගාධයේ වැටී එතෙරවීමට අපහසු අර්ථයෙන් පාතාලයක් වැනි වූ හෙයින් පාතාල නම් වූ මිථ්‍යා දෘෂ්ටීහු ය. එම වැරදි පිළිගැනීම් ද මවිසින් පළමු සෝවාන් මාර්ගයට පැමිණෙත්ම සර්වප්රකාරයෙන් ම නැති කරන ලදි. මුලුමනින් ම සිඳ දැමුවෙමි. එනිසා “පාතාලා පරිවජ්ජිතා” පාතාල නම් මිසදිටු අදහස් දුරු කරන ලදැයි කියන ලදි. “මුත්තො ඔඝා ද ගන්ථා ච” යනු කාමාදී ඕඝයන්ගෙන් ද අභිධ්‍යාදී කාය ග්රන්ථා දී ගැටවලින් ද ඒ ඒ දෙයින් මිදුනෙමි. මැනවින් මිදුනෙමි. නැවත නොවිසිරුණු, ගැට-බැඳීම් නොමැති බැවින් ඉක්මවන ලදි යන අර්ථයයි. “සබ්බෙ මානා විසංහතා” යනු නවවිධ වූ මානයෝ ද අග්‍ර මාර්ගාවබෝධයෙන් විශේෂයෙන් විනාශ කරන ලදහ. මුලුමනින්ම සිඳ දමන ලදහ. ඇතමෙක් “මානවිධා හතා” යනුවෙන් මානවිධි නසනලදැයි කියති. “මාන කොට්ඨාස” යන අර්ථයයි. ඇතමෙක් “මාන විසා” යනුවෙන් අර්ථ ගනිති. ඔවුන්ට අනුව මාන විෂය වූ දුකෙහි විපාක වශයෙන් “මාන විස” යනුවෙන් අර්ථ දත යුතුයි.