නවම වර්‍ගය
සමිතිගුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“යං මයා පකතං පාපං” යනු ආයුෂ්මත් සමිතිගුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස්කරමින් සසර සැරිසැරූහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන් හෙතෙම; වියට පත්ව භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් පැහැදුණු සිත් ඇතිව දෑ සමන් මලින් පූජා පැවැත්වීය. එම සිටුතුමා ඒ පින්කමේ විපාක වශයෙන් උපනුපන් ආත්මභාවයන් හි කුලයෙන්, රූපයෙන්, පිරිවරින් යන සම්පත්වලින් අනෙකුත් පුද්ගලයන් අබිභවා සිටියේය. මෙබඳු එක් අත්බවක දී එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් පිඬු පිණිස හැසිරෙනු දැක. “මේ මුඩු මහණා අත් පා කොරවූවෙකියි සිතමි. මෙතෙම එය සඟවාගෙන හැසිරෙයි” යනුවෙන් දෝෂාරෝපණය කොට ගියේය. ඔහු ඒ අකුසල කර්මය නිසා නිරයේ පැසී බොහෝ දුක් විඳ; කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මනුෂ්‍යයෙක්ව ඉපිද පිරිවැජි පැවිද්දෙක් බවට පත්විය. හෙතෙම එක් දිනක් එක් සීලාචාර වූ උපාසකයකු දැක දොස් දක්වමින් “නුඹ කුෂ්ටරෝගියෙක් වන්නෙහිය” යැයි පරිභව කළේය. නාන තොට මිනිසුන් විසින් තබන ලද නොයෙක් සුවඳ ද්‍රව්‍ය විනාශ කළේය. මෙසේ රැස්කරගත් පාප කර්‍ම නිසා නැවත නිරයේ ඉපිද බොහෝ කාලයක් දුක් අනුභව කළේය. පසුව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත්නුවර එක්තරා බ්‍රාහ්මණයකුගේ පුතෙකු ලෙස උපන්නේය. “සමිතිගුත්ත” නාමයෙන් ඔහු ප්‍රකට විය. වැඩිවිය පත් ඒ බමුණු පුතු ශාස්තෲන් වහන්සේගේ දම් දෙසුම අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිවිය. ඉතා පිරිසිදු සිල් ඇතිව වාසය කරන උන්වහන්සේට පෙර කරන ලද පාප කර්මය නිසා කුෂ්ඨ රෝගයක් උපන්නේය. ඉන් උන්වහන්සේගේ ශරීරාවයව සිඳී බිඳී වැගිරෙයි. මෙනිසා උන්වහන්සේ ගිලන් ශාලාවෙහි නිදාගත්හ. එක්දිනක් ධර්මසේනාපති සැරියුත් තෙරණුවෝ, ගිලන් බව විමසීමට ඒ ඒ තැනට ගොස්, ඒ ඒ ගිලන් වූ තෙරවරුන්ගෙන් සුවදුක් විමසමින් වැඩමවන සේක්! එම තෙරුන් දැක “ඇවැත්නි! මේ ස්කන්‍ධයන්ගේ පැවැත්ම සියලු දුක්වලට හේතුවයි. මේ වේදනාදී ස්කන්‍ධ ධර්‍ම නොපවතින කල්හි ම දුක නැතිවේ” යනුවෙන් වේදනා ව මූලික ව විදසුන් කමටහනක් දී වැඩිසේක. සමිතිගුත්ත තෙරණුවෝ එම අවවාදයෙහි පිහිටා විදසුන් වඩා ෂඩ් අභිඥා ලාභියෙක් වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ අපදාන පාළියේ දක්වන ලදි -
“විපස්සි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සාගර හා පර්වත සහිත වූ පෘථිවිය කම්පා විය.
නිමිති කියන්නේ “සියලු සත්ත්‍වයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ සර්වඥයන් වහන්සේ ලොව පහළ වන්නේ ය. ජන සමූහයා සසර සයුරින් නගා සිටුවන්නේ ය.” යනුවෙන් ප්‍රකාශ කළහ.
එම නිමිතිපාඨකයන්ගේ වචන ඇසූ මම බුදු උපත නිමිති කරගෙන ජාති පූජාව කළෙමි. ජාති පූජාව හා සමවූ වෙනත් පූජාවක් ලොවෙහි නැත.
කුසල් රැස් කරමින් මම එම පූජාව පිළිබඳව සිත පහදවා ගතිමි. ජාති පූජාව සිදුකළ මා කළුරිය කොට දිව්‍ය-මනුෂ්‍ය වූ කාම සුගතීන්හි ඉපිදෙමින්, සියලු සම්පත්තියෙන් සෙසු සත්ත්‍වයෝ අභිභවනය කළෙමි. ජාතිපූජාවේ විපකය මෙබඳුය.
මගේ සිත අනුවම කිරි මවුවරු මට උපස්ථාන කරති. ඔවුහු මගේ සිත කෝප නොකරති ජාති පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පින්කමක් කරන ලද්දෙම් ද එනිසා මම දුගතියක නූපන්නෙමි. මේ ජාති පූජාවේ විපාකයයි.
මෙයින් කල්ප තුනකට පෙර මහබලවත් සුපරිචරිය නම් සක්විති රජවරු තිස් හතර දෙනෙක්ව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි -පෙ- මම දැන් බුද්ධානුශාසනය ඉටු කළෙමි.”
ෂට්අභිඥා ලාභීව ප්‍රහීණ කරන ලද කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් දැන් විඳිනු ලබන රෝගය නිසා පෙර ජාතියකදී තමා විසින් කළ පාප කර්ම සිහිපත් කර, දැන් එම සියලු කර්‍ම හා පාපධර්‍ම ප්‍රහීණකළ බව දක්වමින් උන්වහන්සේ මේ ගාථාව වදාළහ.
“යං මයා පකතං පාපං, පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු,
ඉධෙව තං වෙදනීයං, වත්‍ථු අඤ්ඤං න විජ්ජතී.”
එහි “පාපං” යනු අකුසල කර්මයන්ය. ඒවා ලාමක වූ අර්ථයෙන් “පව්” යැයි කියති. “පුබ්බෙ” පෙර කාලයේදී “අඤ්ඤාසු ජාතිසු” මෙයින් අන්‍යවූ ජාතිවලදී අන්‍ය වූ වෙනත් ආත්මභාවවලදී මෙහි අර්ථය මෙසේ දතයුතුයි. “ඉදින් මම මේ ආත්මභාවයේ දී එබඳු වූ පාපයක් කරන ලද්දේ නම්, දැන් එහි හටගැනීමක් වත් නැත. මෙයින් අන්‍යවූ පෙර ආත්මභාවවලදී කරන ලද පාපයක් වේනම් දැන් මේ ආත්මභාවයේ දී ම එහි විපාක විඳිය යුතුයි. අනුභව කළයුතුයි. ඒ කුමක් නිසාද? මෙයින් අන්‍ය වූ උපතක් නොමැති බැවිණි. ඒ කර්මයේ විපාකදීමේ අවසරය ලබන වෙනත් ස්කන්‍ධ පංචකයක් “වත්‍ථු අඤ්ඤං න විජ්ජතී” නොමැති බැවිනි. මේ ස්කන්‍ධයෝ වනාහී සියලු ම උපාදාන කරගැනීම් - දැඩිව ගැනීමට ප්‍රහීණ කරන ලද බැවින්, දර - පරඬැල් ආදිය රහිත වූ ගින්නක් මෙන්, අවසන් (චුති) සිත නිරුද්ධවීමෙන් ප්‍රතිසන්‍ධියක් (නැවත ඉපදීමක්) නොමැතිව නිවීයන්නේය” යනුවෙන් තමන් වහන්සේ රහත් වූ බව ප්‍රකාශ කළ සේක.
සමිති ගුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කස්සප ස්ථවිරගාථා වර්ණනාව
“යෙන යෙන සුභික්ඛනී” යනු ආයුෂ්මත් කස්සප තෙරණුවන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ බමුණු පවුලක ඉපිද, ත්‍රිවේදයෙහි හා සෙසු බමුණු සිප් සතරෙහි කෙළවරට පත් විය. දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් සමන්මල් පූජා කළේය. ශාස්තෲන් වහන්සේගේ හාත්පස ද මත්තෙහි ද සමන් මල් මිටි දමන ලදි. ඒවා බුද්ධාන්භවයෙන් මල් වියනක් සේ නොමැලවී සත් දිනක් තිබුණි. එම අසිරිය දුටු බමුණ පුතු අතිශයින් පැහැදුණු සිත් ඇති විය. තව තවත් පින් දහම් කරමින් කල්ප ලක්‍ෂයක් පුරා කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර එක් උසස් බමුණකුට දාව පුතෙක් ව උපන්නේ ය. එකුමරු කස්සප නමින් ප්‍රකට විය. ඔහු කුඩා කාලයේ දීම පියා කළුරිය කළේය. මව දරුවා පෝෂණය කළාය. ඒ කුමරු දිනක් ජේතවනාරාමයට ගොස්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මදේශනාවක් අසා හේතු සම්පත් ඇති බැවින් හුන් අසුනෙහි දීම සෝවාන් විය. මවගෙන් අවසරගෙන පසුව කස්සප කුමරු පැවිදි විය. ශාස්තෲන් වහන්සේ වස් වැස පවාරණය කොට, ජනපදචාරිකාවේ හැසිරෙන කල්හි තමා ද උන්වහන්සේ සමග යනු කැමතිව මවගේ කැමැත්ත ලබා ගැනීමට ඇය වෙත ගියේය. කස්සප හිමියන්ට එම අවසරය දෙන මෑණියෝ අවවාද වශයෙන් මෙම ගාථාව කීවාය.