1. ඒකකනිපාතය
ප්රථම වර්ගය
සුභූති ස්ථවිරගාථා වර්ණනාව
දැන් “ඡන්නා මෙ කුටිකා” යනාදී වශයෙන් පවතින ථෙරගාථාවන්ගේ අර්ථවර්ණනාව දැක්වේ. ඒ මේ අර්ථ වර්ණනාව ඒ ඒ ගාථාවන්ගේ අර්ථෝත්පත්තිය පවසා, අනතුරුව දක්වනු ලබන්නේ නම් අර්ථය ඉතා ප්රකට වේ. ධර්ම කරුණු දැනගත හැකි ද වේ. එනිසා ඒ ඒ ගාථාවන්ගේ අර්ථෝත්පත්ති දක්වා පසුව අර්ථවර්ණනාව කරන්නෙමි.
“එහි ජන්නා මෙකුටිකා” යන ගාථාවෙහි උපත කෙසේවීද? කියනු ලැබේ. මේ මහා භද්ර කල්පයට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර භාග්යවතුන් වහන්සේ ලොව පහළ නොවූ කල්හිම හංසවතී නම් නුවර එක්තරා බමුණු මහසල් කුලයක එක් පුතෙක් ඉපදුණි. ඔහුට “නන්ද මාණව” යන නම විය. ඔහු වැඩිවියට පැමිණ ත්රිවිද්යා උගෙන, එහි සාරයක් (අර්ථයක්) නොදැක, තමාගේ පිරිවර වූ සතලිස් සතර දාහක් තරුණයන් සමග පර්වතයක් පාමුල සෘෂි ප්රවෘජ්යාවෙන් පැවිදිව අට සමවත් උපදවා, පංච අභිඤ්ඤාවන් ද ලබා ගත්හ. අතවැසි ආදීන්ට ද කමටහන් ප්රකාශ කරන අතර ඔවුහු ද නොබෝ දිනකින් ම ධ්යාන ලාභීහු වූහ.
මේ කාලයේදී පදුමුත්තර භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක්, හංසවතී නුවර ඇසුරු කරමින් වාසය කරන සේක්. එක් දිනක් අළුයම් කාලයෙහි ලොව බලා වදාරණ සේක්, නන්ද තාපසයාගේ අතවැසි ජටිලයන් රහත්වන බව ද නන්ද තාපසයාගේ අංග දෙකකින් යුක්ත ශ්රාවක තනතුරකට කරන ප්රාර්ථනාව ද දැක උදෑසනම සිරුර පිළිදැගුම් කොට නිමවා පෙරවරු සමයෙහි පා සිවුරු ගෙන අන් කිසි භික්ෂුවක් නො කැඳවා සිංහයෙකු මෙන් හුදෙකලාව, නන්ද තාපසයාගේ අතවැසියන් ඵල ඵල්ලව ගෙන ඒමට ගිය කල්හි “මාගේ බුද්ධ භාවය දැන ගනීවා” යි පෙනෙමින් ම අහසින් බැස නන්ද තාපසයා ඉදිරියේ පොළොවෙහි සිටි සේක. නන්ද තාපසයා බුද්ධානුභාවයත් එමෙන්ම පිරිපුන් ලක්ෂණ සම්පත්තියත් දැක, ලක්ෂණ ශාස්ත්රය සිහිපත් කර බලා “මේ ශරීර ලක්ෂණවලින් යුතු තැනැත්තා ගිහිගෙයි විසුවොත් සක්විති රජ කෙනෙක් වේ. පැවිදි වුවහොත් ලොව ඇලීම ඉවත් කළ (බැහැර ලූ) සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ නමක් වේ. මේ උත්කෘෂ්ඨ පුද්ගල තෙම අනිවාර්යයෙන්ම (නිසැකවම) බුදුවරයෙකි”යි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා දුන්නේය. භාග්යවතුන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩ සිටි සේක. නන්ද තාපසයා ද තමාට යෝග්ය වූ අසුනක් ගෙන එකත් පසෙක සිටියේය.
එසමයෙහි සතලිස් සාර දහසක් ජටිලයෝ ඉතා රසවත්, පෝෂ්යජනක පළතුරු ගෙන ගුරුවරයා සමීපයට පැමිණියාහු; බුදුරදුන්ගේ ද ගුරුවරයාගේ ද හුන්නාවූ ආසන දැක මෙසේ පැවසූහ. “ගුරුතුමනි! අපි මේ ලෝකයේ ඔබට වඩා උතුම් පුද්ගලයෙක් නැතැයි සිතුවෙමු. මේ උතුම් පුරුෂයා වනාහි ඔබට වඩා ඉතා ශ්රේෂ්ඨ යැයි සිතන්නේ ද?” ඒ වදන් ඇසූ නන්ද තාපසතුමා “නුඹලා කුමක් කියහුද? අබ ඇටයක් සමග හැට අට ලක්ෂයක් යොදුන් උස් වූ මහමෙර සම කිරීමට කැමතිද? සර්වඥ බුදුවරයකු සමග මා සමාන නොකරන්න” යි පැවසීය. ඉක්බිති ඒ තාපසවරු “ඉදින් මොහු පහත් පුද්ගලයෙක් නොවන්නේ නම් අපගේ ගුරුතුමා මෙවැනි උපමා නොදක්වන්නේය. ඒකාන්තයෙන් මෙතෙම ශ්රේෂ්ඨතම පුරුෂයා” යැයි සිතා බුදු පියාණන් වහන්සේගේ පාමුල වැටී හිසින් වන්දනා කළහ. ඉක්බිති ඔවුන්ට ගුරුවරයා මෙසේ පැවසීය. “දරුවනි, අපට බුදුවරයන්ට දීමට සුදුසු දාන මානයක් නැත. භාග්යවතුන් වහන්සේ ද පිඬු සිඟා යන වේලාවෙහි මෙහි වැඩම කළ සේක. එනිසා, අපි ශක්ති පරිද්දෙන් දානයක් දෙමු. නුඹලා ගෙනෙන ලද ප්රණීත පළතුරු ඇත්තේ ද ඒවා ගෙනෙවු” යි කියා ඒවා ගෙන්වා අත් සෝදා, තමා ම එම පළතුරු තථාගතයන්ගේ පාත්රයෙහි තැන්පත් කළේය. ශාස්තෲන් වහන්සේ පළතුරු පිළිගත් මොහොතෙහි දෙවියෝ එහි දිව්ය ඕජස් බහාලූහ. තාපසතුමා තමා ම ජලය ද පෙරා පිළිගැන්වීය. ඉක්බිති ආහාර වැළඳීම නිමා කර හුන් බුදුරජාණන් වහන්සේ සියලු අතවැසියන් අමතා සමීපයේ හිඳුවා පිළිසඳර කථාව කරමින් හුන් සේක. ශාස්තෲන් වහන්සේ “භික්ෂු සංඝයා එත්වා!”යි සිතූ සේක. භික්ෂූහු ශාස්තෲන් වහන්සේගේ සිත දැන, ලක්ෂයක් පමණ මහරහත්හු පැමිණ උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියහ.
නන්ද තාපසයා අන්තේවාසිකයන්ට ඇමතීය. “දරුවනි, බුදුරජාණන් වහන්සේ හුන් ආසනය ද කුඩා වූවකි. රහතන් වහන්සේලා ලක්ෂයකට ද ආසන නැත. නුඹලා විසින් භාග්යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝයාට ද මහත් සත්කාර කිරීමට සුදුසුය. පර්වත පාදයෙන් වර්ණවත් වූත් සුවඳවත් මල් රැගෙන එවු”යි පැවසීය. අචින්තනීය (නොසිතිය හැකි) සෘද්ධි මහිමයෙන් මොහොතකින්ම වර්ණවත් සුවඳ මල් ගෙනවුත් බුදුරදුන්ට යොදුනක් පමණ වූ මල් අසුනක් පැනවූහ. අග්ර ශ්රාවකයන්ට තුන් ගවුවක් වූ ආසන දෙකක් ද සෙසු භික්ෂූන් වහන්සේලාට අඩ යොදුන් ආදී මල් අසුන් ද නවක පැවිද්දන්ට උසභයක් පමණ (රියන් 140 ක්) මල් අසුන් ද සැදූහ. මෙසේ පනවන ලද ආසන ඇති කල්හි නන්ද තාපසයා බුදු රජාණන් වහන්සේ ඉදිරියෙහි ඇඳිලි බැඳගෙන සිට, “ස්වාමීනි! අපට බොහෝ කාලයක් හිතසුව පිණිස මේ මල් අසුන් පිළි ගන්නා සේක්වා”යි අයැද සිටියේය. භාග්යවතුන් වහන්සේ මල් අසුනෙහි වැඩහුන් සේක. මෙසේ ශාස්තෲන් වහන්සේ වැඩහුන් ආකාරය දැන භික්ෂූන් වහන්සේලා ද තම තමාට පැමිණි ආසනවල වැඩහුන් කල්හි, නන්ද තාපසයා මහත් වූ මල් කූඩයක් ගෙන තථාගතයන් වහන්සේගේ හිසට එය අල්ලාගෙන සිටියේය. ශාස්තෲන් වහන්සේ, “තාපසතුමන්ගේ මේ මහත් වූ සත්කාරය මහත් ඵල වේවා”යි නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක. ශාස්තෲන් වහන්සේ සමවතට සමවැදුණු බව දැන භික්ෂූන් වහන්සේලා ද සමවතට සමවැදුනහ. තථාගතයන් වහන්සේ සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැද හුන් කල්හි තුළ අතවැසි තාපසවරු පිඬු සිඟා යන කාලයේදී වන මුල් පල වැල අනුභව කර, සෙසු කාලයෙහිදී බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ වැඳගෙන සිටිති. නන්ද තාපසතුමා වනාහි පිඬුසිඟා යන වේලාවෙහිත් පිටත නොයා මල් කූඩය දරමින්ම සත් දිනක් ප්රීති සුවයෙන් ම ගත කළේය.