පවිට්ඨ ස්ථවිරගාථා වර්ණනාව
“ඛන්ධා දිට්ඨා යථාභූතං” යනු ආයුෂ්මත් පවිට්ඨ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ පැතුම් ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන පින් රැස් කරනුයේ අත්ථදස්සි නම් භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයේ දී කේසව නම් තාපසව උපන්නහ. එක් දිනක් කේසව තවුසා ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, බණ අසා, පහන් සිතින් ඇඳිලි බැඳ වැඳගෙන ප්රදක්ෂිණා කොට වැඳ ගියේය. ඔහු ඒ පින්කම නිසා දෙව්ලොව ඉපිද තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හි ඉපිදෙමින් සසර සැරිසරා; අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි මගධ රට බමුණු පවුලක ඉපිද, අනුක්රමයෙන් වියට පත්ව ගිහිගෙයින් නික්මීමේ කැමැත්තෙන් පිරිවැජි පැවිද්දෙන් පැවිදිව, එහි හදාළ යුතු දේ හදාරා හැසිරෙන කල්හි උපතිස්ස හා කෝලිත යන දෙදෙන බුදු සසුනේ පැවිදි වූ බව අසා, “ඔවුහු දෙපල මනා ප්රඥාවන්තයින්ය. ඔවුහු යම් සසුනක පැවිදි වී නම් එය උතුම් වන්නේ ය”යි සිතා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් බණ අසා ලැබූ ශ්රද්ධා ඇතිව බුදු සසුනේ පැවිදි විය. ශාස්තෲන් වහන්සේ ඔහුට විදසුන් භාවනා කමටහන දුන් සේක. විදසුන් වැඩීමෙහි නිරත වූ උන්වහන්සේ කල් නොයවාම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ -
“නාරද යනු මගේ නාමයයි. කේසව යනු මා හඳුන්වන ග්රෝත්ර නාමයයි. ඒ මම කුසල් අකුසල් කුමක් ද? යි සොයමින් බුදුරදුන් සමීපයට පැමිණියෙමි.
මෙත් සිතින් යුතු කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්ථදස්සි සර්වඥයන් වහන්සේ සත්ත්වයන් අස්වසමින් දහම් දෙසන සේක.
තම සිත පහදවා ගෙන මුදුනෙහි ඇඳිලි බැඳ මම, ශාස්තෲන් වහන්සේට වැඳ නැගෙනහිර දෙසට ගියෙමි.
මෙයින් කල්ප එක් දහස් හත්සීයකට පෙර අමිත්තතාපන නම් මහත් බල ඇති සක්විති රජුව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ ඒ බව ප්රකාශ කරමින්
“ඛන්ධා දිට්ඨා යථාභූතං, භවා සබ්බෙ පදාළිතා,
වික්ඛීණො ජාති සංසාරො, නත්ථිදානි පුනබ්භවො” - යන ගාථාව වදාළහ.
වික්ඛීණො ජාති සංසාරො, නත්ථිදානි පුනබ්භවො” - යන ගාථාව වදාළහ.
එහි “ඛන්ධා” යනු පඤ්ච උපාදානස්කන්ධයන්ය. විදර්ශනාවට පැමිණීම් ලක්ෂණයෙන් ද ශ්රමණ බවේ ලක්ෂණ වශයෙන් ද තත්වාකාරයෙන් පිරිසිඳ දැනගැනීම් ආදී හාත්පසින් ම දැනගැනීම් වශයෙන් දැකිය යුතු හෙයින් දක්නා ලද “යථා භූතං” විදර්ශනා ප්රඥාව සහිත වූ මාර්ග ප්රඥාවෙන් “මේ දුකය......” ආදී වශයෙන් විපරීත නොවී තත්ත්වාකාරයෙන් ම දක්නා ලද, “භවා සබ්බෙ පදාලිතා” කාමාදී සියලු භවයන් ද උත්පත්ති භාවාදිය ද මාර්ග ඤාණය නම් සැතින් (ආයුධයෙන්) බිඳින ලදි. විධ්වංසනය කරන ලදි. කෙලෙසුන්ගෙන් පළා දැමීම ම මාර්ග ප්රඥාවෙන් කාම උප්පත්ති ආදී භව විනාශ කිරීම නම් වේ. එනිසා “වික්ඛීණො ජාති සංසාරො නත්ථිදානි පුනබ්භවො” යනුවෙන් කියන ලදි. ජාති නම් වූ සංසාරය (ඉපදීම) විශේෂයෙන් ක්ෂය කරන ලදි. දැන් පුනර්භවයක් නැත. මෙම අර්ථ ඉහත කියන ලද පරිදිම දත යුතුයි.
පවිට්ඨ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අජ්ජුන ස්ථවිරගාථා වර්ණනාව
“අසක්ඛිං වත අත්තානං” යනු ආයුෂ්මත් අජ්ජුණ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහිදී කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී නිවන්පතා ගෙන කුසල දහම් රැස් කරගත් අජ්ජුණ තෙරණුවෝ; විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයේදී සිංහයෙකුව උපන්හ. දිනක් එක් ගසක් මුල හුන් ශාස්තෲන් වහන්සේ දුටු එම සිංහයා, “මෙතෙම ඒකාන්තයෙන් මේ කැලයේ සිටින සියලු දෙනාටම ශ්රේෂ්ඨ වූ පුරුෂ සිංහයා වන්නේය”යි පැහැදුණු සිතින් පිපුණු සල් අත්තක් කඩා ඉන් ශාස්තෲන් වහන්සේ පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තිරිසන් බවින් මිදී දෙව්ලොව ඉපිද කාම සුගතීන්හි ම සැරිසැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර සිටු ගෙයක ඉපිද අජ්ජුණ නාමයෙන් ප්රකට විය. වැඩිවියට පත් වූ අජ්ජුණ නිගණ්ඨයන් සමීපයේ කළ පුහුණුවීම් ඇතිව “මම මෙසේ නිවණ අවබෝධ කරගන්නෙමි”යි නිවන් ප්රාර්ථනා කරගෙන, ළදරු කාලයේදී ම නිගණ්ඨයන් සමීපයේ පැවිදි විය. එහි හරයක් නොමැති බව දැක වෙසෙන කල්හි, ශාස්තෲන් වහන්සේගේ යමක මහා ප්රාතිහාර්ය දැක ලැබූ ශ්රද්ධාවෙන් සසුනේ පැවිදිව විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් විය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වේ.
“එකල්හි විශිෂ්ට ජන්ම ඇති මහා කෙසරු ඇති සිහරජෙක් වූයෙමි. ගිරිදුර්ගයක් සොයන්නෙම් බුදුරජාණන් වහන්සේ දිටිමි.
දැක මෙසේ සිතීමි. “මේ මහාවීරයන් වහන්සේ මහජනයා කෙළෙස් ගින්නෙන් නිවති. මම ඒ දේවතාතිදේව වූ නර ශ්රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙම් නම් යහපති.”
මෙසේ සිතූ මම සල් අත්තක් බිඳ කෝෂය සහිත සල්මලක් ගෙනාවෙමි. බුදුරදුන් වෙත පැමිණ ඒ උතුම් මල පූජා කළෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් උදාර වූ මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් නවවන කල්පයේ මහත් බල ඇති විරෝචන නම් සක්විති රජවරු තිදෙනෙක්ව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව, අනුත්තර වූ සුවයේ හෙවත් නිවනෙහි අවබෝධයෙන් හටගත් ප්රීති වේගයෙන් උදන් අනන සේක්; උන්වහන්සේ මේ ගාථාව වදාළ සේක.
“අසක්ඛිං වත අත්තානං, උද්ධාතුං උදකා ථලං,
වුය්හමානො මහොඝෙව, සච්චානි පටිවිජ්ඣහ”
වුය්හමානො මහොඝෙව, සච්චානි පටිවිජ්ඣහ”
එහි “අසක්ඛිං” යනු හැකි වූයෙමි. “වත” යනු විශ්මයාර්ථයේ නිපාතයකි. අති විෂ්මයට පත්වීමක් ලෙස සත්ය ප්රතිවේධය දැක්වේ. එනිසා මෙය කියන ලදි.
“මහණෙනි! නුඹලා කුමක් සිතවුද? අතිශය දුෂ්කර වූ ද අතිශයින් අමාරු වූ ද සත් කඩකඩ බිඳී සෙමර වල්ගයක කෙළවරින් කෙළවර ගැලපීමටත් වඩා දුෂ්කර වූ අවබෝධයකි.” යනාදී ලෙස චතුරාර්ය සත්යාවබෝධයේ දුෂ්කර බව කියන ලදී.
“අත්තානං” යනු තමාගේ ආධ්යාත්මය සඳහා කියන ලද්දකි. ඔහු වෙනත් අයෙකු නොවේ. තමාම ය. “උද්ධාතුං” යනු උඩට ගැනීමට “උද්ධටං” පාඨය ද යෙදේ. “උදකා” යනු සංසාර මහෝඝය නම් වූ ජලයයි. “ඵලං” නිවන නම් වූ ගොඩබිමයි. “වුය්හමානො මහොඝෙව” යනු මහා සාගරයට ගසාගෙන යන්නකු මෙන් මෙහි අදහස මෙසේය. - යම්සේ ගැඹුරු පැතිරුණු පිහිටක් නැති මහත් වූ සැඬ පහරක මහත් වේගයෙන් ගසාගෙන යන පුරුෂයකු දැක; කිසියම් වැඩ කැමති අයෙක් ළංකරන ලද, කිසිවකු නැති ශක්තිමත් නැවක් ලැබ, ඊට තමා සුවසේ නැගීමට දිය පහරින් උඩට ඒමට හැකිවේද, ගොඩබිමට පැමිණෙන්නේ ද මේ ආකාරයෙන්ම මම සසර නම් මහා සැඬ පහරෙහි කෙළෙස් ආදියෙන් ගසාගෙන යනු ලබන්නෙම්; ශාස්තෲන් වහන්සේ විසින් එළවන ලද සමථ විදර්ශනාදියෙන් අලංකෘත ආර්ය මාර්ගය නම් නැව දැක, ඊට තමාම නැගී නිවන නම් ගොඩබිමට (ක්ෂේමභූමියට) පැමිණීමට සමත් වූයෙමි. අහෝ! එය පුදුමයකි. යම්සේ එම හැකියාව ලැබුවේ ද එය දැක්වීමට “සච්චානි පවිවිජ්ඣහං” යනුවෙන් කියන ලදි. යම් සේ මම දුක්ඛාදි චතුරාර්ය සත්යය ධර්මය පිරිසිඳ දැන, ප්රහාණය කර, සාක්ෂාත් කර, වඩා අවබෝධ කරගත්තෙම් ද ආර්ය මාර්ග ඤාණයෙන් අවබෝධ කරගත්තෙම් ද එහෙයින් “මම ඒකාන්තයෙන් තමාම දියෙන් ගොඩ වී ගොඩබිමට පැමිණීමට හැකියාව ලැබුවෙමි.” යනුවෙන් පද පිළිවෙල දත යුතුයි.