නාගිත ස්ථවිරගාථා වර්ණනාව
“ඉතො බහිද්ධා පුථු අඤ්ඤවාදිනං” යනු ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එම ගාථාවේ උපත කෙසේද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී නාරද නම් බමුණෙක් ව, එක් දිනක් මිදුලෙහි සිටියේ, බික් සඟන පිරිවරා වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් ගාථා තුනකින් ස්තුති කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් ඔහු කාම සුගතීන්හිම සැරිසරා, තව තවත් පින් දහම් කරමින් සැප විඳ; මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ රජ පවුලක උපන්නේය. නාගිත නම් වූ ඒ ශාක්‍ය කුමරු භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවෙහි වැඩ වසන කාලයේදී දේශිත මධුපිණ්ඩික සූත්‍රය අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිව විදසුන් වඩා රහත් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පවසති.
“විශාල ලෙස පිපී පැතිර ගිය මල් ඇති වනයෙහි හුන් මම ලෝකනායක වූ, දක්‍ෂිණාසුවය වූ, බල (තථාගත බල) යන්ට පැමිණි, බික් සඟන පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“ත්‍රිවිද්‍යා සහිත ෂඩ් අභිඥාලාභී, මහත් සෘද්ධි ඇති ලක්‍ෂයක් මහරහත්හු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිවරාගෙන සිටිති. එය දුටු කවරෙක් නම් නොපහදී ද?
අනන්ත වූ ඤාණ සහිත ඒ සර්වඥයන් වහන්සේගේ නුවණ හා සැසඳිය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයේ නොමැත. ඒ බව දුටු කවරෙක් නම් නොපහදී ද?
හුදෙක් රත්නාකරයක් මෙන් දක්වන දහම් කය, වෙනස් කිරීමට විකෘති කිරීමට කිසිවෙකු සමත් නොවේ. ඒ බව දුටු කවරෙක් නම් උන්වහන්සේ වෙත නො පහදී ද?”
යන මේ අදහස් සහිත ගාථා තුනකින් නාරදක සාරගච්ඡය නම් වූ මම පස්මරුන් දිනු පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේට ස්තූති කළෙමි.
ඒ සිත් පැහැදවීම නිසාත් බුදුරජාණන් වහන්සේට ස්තූති කිරීම නිසාත් මම මේ දක්වා වූ කල්ප ලක්‍ෂය මුලුල්ලෙහිම සුමිත්ත නම් ක්‍ෂත්‍රිය සක්විති රජව සැප වින්දෙමි.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේ විසින් දෙසන ලද ධර්මයෙහි නෛර්‍ය්‍යාණික බව සිහිකිරීමෙන් හටගත් ප්‍රීතියෙන්, සතුටින් යුක්තව මෙසේ උදන් ඇනූසේක.
“ඉතො බහිද්ධා පුථු අඤ්ඤවාදිනං, මග්ගො න නිබ්බානගමො යථා අහං,
ඉතිස්සු සඞ්ඝං භගවානුසාසතී, සත්‍ථා සයං පාණීතලෙව දස්සයං” - යන ගාථාව කීහ.
මේ ගාථාවේ “ඉතො බහිද්ධා” යනු මේ බුදු සසුනින් බැහැර වූ අන් සමයන්හි එනිසා “පුථු අඤ්ඤවාදිනං” යි කියන ලදි. “නානාතීර්ථකයන්ට” යන අර්ථයයි. “මග්ගොන නිබ්බාණගමො යථා අයං” යනු යම්සේ මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඒකාන්තයෙන්ම නිවන ලබා දෙන්නකි යි “නිබ්බාණගාමී” නම් වේ. මෙබඳු නිවන් දක්වන මාර්ගයක් අන්‍ය තීර්ථක සමයන්හි නොමැත. සම්මා සම්බුද්ධ නොවූවන් විසින් එම සමයන් ඇතිකළ බැවිනි. භාග්‍යවතුන් වහන්සේ මෙනිසාම -
“මහණෙනි! මෙම බුදු සසුනෙහි ම පළමු ශ්‍රමණයාත්, දෙවන ශ්‍රමණයාත්, තෙවැනි ශ්‍රමණයාත්, සිවුවන ශ්‍රමණයාත් සිටිති. අන්‍ය පර පාදයෝ (අනෙකුත් සමයන්) ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය” යනුවෙන් දේශනා කළහ.
“ඉති” යනු මෙසේ “සූ” යනු නිපාතයක් පමණි. “සඞ්ඝං” යනු භික්‍ෂු සංඝයා මෙය උසස් කර දැක්වීමකි. “දෙව් මිනිසුන්ගේ ශාස්තෘහුය” (සත්‍ථා දේවමනුස්සානං) යන්න මෙනි. “සංඝං” යනු සමූහයයි. හික්මී මගඵල උපදවාගත් යන අදහසයි. “භගවා” භාග්‍යවත් බව ආදී කරුණුවලින් “භගවා” නම් වේ. භාග්‍යවතුන් වහන්සේ මේ දැක්වූයේ සංක්‍ෂිප්ත වශයෙනි. සවිස්තරව පරමත්‍ථදීපනී ඉතිවුත්තක අටුවාවෙහි කියූ පරිදි දත යුතුයි. “සත්‍ථා” යනු මෙලොව හා පරලොව පරමාර්ථ පිළිබඳව සුදුසු සේ අනුශාසනා කරන හෙයින් “සත්‍ථා” නම් වන සේක. “සයං” තමාම. මෙම ගාථාවේ අර්ථය මෙසේය - “සීලාදී ස්කන්‍ධත්‍රය සංග්‍රහ කරන්නා වූ සම්මා දිට්ඨි ආදී අංග අටකින් යුතු බැවින් අෂ්ඨාංගික වූ නිවන වෙත යන ආර්ය මාර්ගයක් මගේ මේ බුදු සසුනෙහි වේ නම්; එවැනි මාර්ගයක් වෙනත් කිසිදු සමයක නොමැත.” යනුවෙන් සිංහනාද කරන අපගේ භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේම ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන, තමන් වහන්සේම මහා කරුණාවෙන් මෙහෙයවීමෙන් තම දේශනා විලාශ සම්පත්තියෙන් ද අපත් ඇඹුලක් මෙන් දක්වමින් භික්‍ෂු සංඝයාට හික්මීමට සහ නිර්වාණාවබෝධයට අනුශාසනා කරන සේක. අවවාද කරන සේක.