සුනාග ස්ථවිරගාථා වර්ණනාව
“චිත්තනිමිත්තස්ස කොවිදො” යනු ආයුෂ්මත් සුනාග තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇති සුනාග තෙරණුවෝ ද ඒ ඒ භවයන්හි ඉපිද නිවන් පතාගෙන කුසල් රැස්කර ගත්හ. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බමුණු ගෙදරක ඉපිදී වැඩිවිය පැමිණ, ත්‍රිවේද පාරගතව අරණ්‍ය ආශ්‍රමයක වාසය කරමින් බමුණු දරුවන් තුන්දාහකට මන්ත්‍ර ඉගැන්වූහ. එක් දිනක් එම බමුණා ශාස්තෲන් වහන්සේ දැක මහ පුරිස් ලකුණු විමසා බලා, “මෙබඳු අංග ලක්‍ෂණවලින් හෙබි මෙතෙම අනන්ත ජින නම් වේ. අනන්ත වූ ඤාණ සම්පත් ඇති බුද්ධ නම් උතුමන් වහන්සේ වන්නේයැ”යි බුදු නුවණ අරබයා මහත් වූ ශ්‍රද්ධාවක් උපදවා ගත්තේය. ඒ සිත් පැහැදවීම් කුසලයෙන් ඉන් චුතව දෙව් මිනිස් දෙගතියේ ඉපිද සැප විඳ, මේ බුද්ධොත්පාද කාලයෙහි නාලක ගම එක් බමුණකුගේ පුතුව උපන්නේය. සුනාග නම් වූ ඒ බමුණු කුමරු ධර්ම සේනාපති සැරියුත් තෙරණුවන්ගේ ගිහිකළ යහළුවෙකි. එනිසා ශාස්තෲන් වහන්සේ වෙත අවුත් ධර්මය අසා, සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා පැවිදිව, නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත් විය. උන්වහන්සේ සිය චරිතය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“හිමවත සමීපයේ වසභ නම් පර්වතයක් විය. එම පර්වතය පාමුල මට අසපුවක් විය.
එකල්හි මම බමුණෙක්ව තුන් දාහක් සිසුන්ට ඉගැන්වූයෙමි. සිසුන් සියලු දෙන රැස් කරවා විවේකස්ථානයක සිටියෙමි.
එසේ එකත්පසෙක සිටි මන්ත්‍ර පාරාගත වූ මම, බුද්ධ ධර්මය (බුද්ධ වේදය) විමසමින් බුද්ධ ඥානයෙහි සිත පැහැද වූයෙමි.
එසේ සිත පහදවා ගත් මම පන් ඇතිරිල්ලක් මත හිඳ, පලක් බැඳගෙන ම කළුරිය කළෙමි.
මෙයින් කල්ප තිස් එකකට පෙර මම යම් බුද්ධ ඥානය පිළිබඳ වූ සංඥාවක් මෙනෙහි කළෙම් ද මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඥාන සංඥාවෙහි විපාක මෙබඳුය.
මෙයින් විසිහත් වන කල්පයේදී සත් රුවනින් පිරි, මහ බලවත් සිරිධර නම් සක්විති රජව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත්ව භික්‍ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කිරීම් වශයෙන් සිය රහත් බව ප්‍රකාශ කරන සුනාග තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
“චිත්ත නිමිත්තස්ස කොවිදො, පවිවෙකරසං විජානිය,
ඣායං නිපකො පතිස්සතො, අධිගච්ඡෙය්‍ය සුඛං නිරාමිසං” - යනුවෙනි.
එහි “චිත්තනිමිත්තස්ස කොවිදො” යනු භාවනා සිතේ නිමිති ගැනීමෙහි දක්‍ෂ වූ “මෙ සමයේ සිත උත්සාහවත් කළ යුතුයි. මේ සිත සතුටු කළ යුතුයි. මේ සිත මැදහත්ව බැලිය යුතුයි.” යනාදී ලෙස උත්සාහ කිරීමාදියෙහි වූ සිත් නිමිති ගැනීමෙහි දක්‍ෂ වේ. “පවිවෙකරසං විජානීය” කාය විවේකයෙහි නියැලී එය වඩමින්; “චිත්ත විවේකයෙහි රසය හඳුනාගෙන, විවේක සුව අනුභව කොට” යන අර්ථයයි. “විවේක සුවය පානය කර” (පිවිත්‍වා) යනුවෙන් ද කියයි. “ඣායං” යනු පළමුව අරමුණු සිහිපත් කරමින් ද පසුව ලක්‍ෂණ සලකා බැලීමෙන් ද ධ්‍යාන වඩනුයේ. දැහැන් වඩන “නිපකො” යනු කමටහන් පරිහරණය - භාවිත කිරීමෙහි දක්‍ෂ වූ “පතිස්සතො” යනු පිහිට එළවූ සිහිය ඇති. “අධිගච්ඡෙය්‍ය සුඛං නිරාමිසං” යනු මෙසේ සමථ නිමිත්තාදියේ කුශලත්‍වයෙන් ලබන ලද චිත්ත විවේක සුවයෙහි පිහිටා, සිහි ඇතිව, මැනවින් නිමිත්තාදියේ කුශලත්‍වයෙන් ලබන ලද චිත්ත විවේක සුවයෙහි පිහිටා, සිහි ඇතිව, මැනවින් දැනගෙන විදර්ශනා ධ්‍යානයෙහි ද යෙදෙමින්. වඩමින් සිටියි. ඔහු කාමාමිෂයන් හා සසර පැවැත්මට හේතුවන ආමිෂාදියෙන් වෙන්ව නිරාමිෂ වූ නිවන් සුවය ද ඵල සුවය ද (මාර්ගඵල) ලබා ගන්නේ ය. නිවන් සැපයට එළඹෙන්නේ ය.
සුනාග ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
නාගිත ස්ථවිරගාථා වර්ණනාව
“ඉතො බහිද්ධා පුථු අඤ්ඤවාදිනං” යනු ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එම ගාථාවේ උපත කෙසේද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී නාරද නම් බමුණෙක් ව, එක් දිනක් මිදුලෙහි සිටියේ, බික් සඟන පිරිවරා වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් ගාථා තුනකින් ස්තුති කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් ඔහු කාම සුගතීන්හිම සැරිසරා, තව තවත් පින් දහම් කරමින් සැප විඳ; මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ රජ පවුලක උපන්නේය. නාගිත නම් වූ ඒ ශාක්‍ය කුමරු භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවෙහි වැඩ වසන කාලයේදී දේශිත මධුපිණ්ඩික සූත්‍රය අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිව විදසුන් වඩා රහත් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පවසති.