නීත ස්ථවිරගාථා වර්ණනාව
“සබ්බරත්තිං සුපිත්‍වා න” යනු ආයුෂ්මත් නීත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි සුනන්ද නම් බමුණකු වී නොයෙක් සිය ගණන් බමුණන්ට මන්ත්‍ර උගන්වයි. හේ “වාජපෙය්‍ය” නම් මහා යාගයක් කරයි. භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාට අනුකම්පා කළ සේක; එම යාග ස්ථානයට ගොස් අහසෙහි සැරි සැරූහ. බමුණා ශාස්තෲන් වහන්සේ දුටු පමණින් ම සිත් පහදවා ගෙන, මල් ගෙන ඒමට සිසුන්ට දන්වා. මල් ගෙනා කල්හි ඒවා අහසෙහි දමා පූජා කළේය. බුද්ධානුභාවයෙන් එම මල් රැස එම ස්ථානය ද මුලු නගරයෙහි ද පැතිරී සිටින මල් වියනක් විය. ශාස්තෲන් වහන්සේ පිළිබඳව මහජනයා තුළ මහත් වූ ප්‍රීතියක් ඇතිවිය. එම කුසල කර්මයේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරි සැරූ සුනන්ද බ්‍රාහ්මණයා; අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර එක් බමුණකුගේ පුතෙක් ව උපන්නේ ය. එවිට ඔහුගේ නම “නීත” නම් විය. නීත වැඩිවියට පැමිණ, “මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සුව ස්වභාවයෙන්, සුව හැසිරීමෙන් ඉතා රසවත් ආහාර වළඳා, මනාව සෙවිලි කළ සෙනසුන්හි වෙසෙති. ඒනිසා මොවුහු වෙත පැවිදිවීමෙන් සුවසේ වාසය කිරීමට හැකිවේ” යැයි සිතා සැප විඳීමේ කැමැත්තෙන් පැවිදි විය. පැවිදිව ශාස්තෲන් වහන්සේගෙන් කමටහන් රැගෙන ගොස් කිහිප දිනක් එය සිහිපත් කර, පසුව එය හැර දමා, බඩ තදවන තෙක් ආහාර ගෙන මුලු දවසෙහි ම සමූහ සාකච්ඡාවේ නියැලෙමින්, තිරිසන් කථාවෙන් කල් යැවූ නීත තෙරුන් රාත්‍රියේ දී කය සිතමැලි භාවයෙන් (ථීන මිද්ධ) මැඩී මුලු රැයම නිදා ගත්හ. මෙසේ කල් යැවූ උන්වහන්සේගේ නුවණ මුහුකුරා යෑම පිළිබඳව සළකා බැලූ ශාස්තෲන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.
“සබ්බරත්තිං සුපිත්‍වාන දිවා සංගණිකෙ රතො,
කුදස්සු නාම දුම්මෙධො දුක්ඛස්සන්තං කරිස්සතී” - යනුවෙනි.
එහි “සබ්බරත්තිං” යනු මුලු රාත්‍රියෙහිම “සුපිත්‍වාන” නිදාගෙන, “රාත්‍රී පළමු යාමෙහි සක්මනට බැස සිත ආවරණය කරන දහම්වලින් සිත පිරිසිදු කරන්නේය” යනාදී ලෙස පැවසූ පරිදි නිදි වැරීමෙහි නොයෙදුණු. හුදෙක් රෑ තුන් යාමයෙහි ම නින්ද බැසගෙන යන අර්ථයයි. “දිවා” යනු දවල් කාලයයි. මුලු දවල් කාලයෙහි සමූහයා වෙත ඇලී සමූහ සාකච්ඡාවලින්, තිරිසන් කථාවෙන් යුක්තව කය දැඩි කර ගැනීම ම අපේක්‍ෂිත අන් භික්‍ෂූන් සමග හිඳියි. සමූහ සාකච්ඡාවෙහි ඇලී ගැලී, ඉන් ඉවත් වීමේ අකමැත්තෙන් සිටීම “සඞ්ගණිකෙ රතො” නම් වේ. පෙළෙහි “සඞ්ගණිකාරතො” යන්න ද යෙදේ. “කුදස්සු නාමා” යනු කවදා ද? ‘සු’ යනු නිපාතයක් පමණි. ‘කවර කාලයක ද?’ යන අර්ථයයි. “දුම්මෙධො” යනු මෝඩකමින් යුක්තව ‘දුක්ඛස්ස’ සසර පැවැත්ම ගෙනදෙන දුකෙහි “අන්තං” කෙළවර අවසානය. කෙළවරක් දැකීම කවදා නම් ඉටුවේද? මෙසේ කල්ගත කරන්නට දුකෙහි කෙළවර කිරීමක් නම් නැත. “දුම්මෙධ දුක්ඛස්සන්තං කරිස්සසී” යන පාඨය ද පෙළෙහි යෙදේ.
මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් වදාළ ගාථාවෙන් සංවේගයට පත් වූ නීත තෙරණුවෝ නොබෝ කලකින් ම රහත් ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ ඒ බව මෙසේ අපදාන පාළියේ දක්වා ඇත.
“මන්ත්‍ර පාරගත වූ වේද හදාරන යාග කිරීමෙහි යෙදුණු, සුනන්ද නම් බමුණා වූ මම මහා යාගයක් කළෙමි.
අග්‍ර කාරුණික වූ සෘෂි වූ ලොව මැනවින් වටහා ගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ජනයාට අනුකම්පා කරමින්, එවිට අහසෙහි සක්මන් කළසේක.
උපධි විරහිත ලෝක නායක වූ සර්වඥයන් වහන්සේ අහසෙහි සක්මන් කරමින් අපමණ සත් වග කෙරෙහි මෙත් සිත පැතිර වූහ.
මන්ත්‍ර පාරගත බමුණා සිය සියලු සිසුන් ලවා මල් නටුවෙන් නෙළා රැස් කරවා අහසට දමා පූජා කළේය.
එවිට මුලු නගරයම වසාගෙන මල් වියනක් ලෙස එම මල් විසිරී ගියේය. ඉන් ඉවත් නොවී සතියක්ම බුද්ධානුභාවය නිසා මල් වියන පැවතුණි.
එම කුසල කර්මය නිසා සම්පත් අනුභව කළ මම දැන් සියලු ආශ්‍රව මැනවින් දැන ක්‍ෂය කිරීමෙන් ලොව විසත්තික නම් වූ නිවන අවබෝධ කළෙමි.
එපමණම මෙයින් කල්ප එක් දහස් එක සියකට පෙර, මහ බලවත් සක්විති රජවරු තිස්පස් දෙනෙක් ව “අබ්භස” නමින් ප්‍රකට වූයෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් වූ තෙරණුවෝ ඒ බව ප්‍රකාශ කරනු සඳහා වදාළ ගාථාව ම පැවසූහ.
නීත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සුනාග ස්ථවිරගාථා වර්ණනාව
“චිත්තනිමිත්තස්ස කොවිදො” යනු ආයුෂ්මත් සුනාග තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇති සුනාග තෙරණුවෝ ද ඒ ඒ භවයන්හි ඉපිද නිවන් පතාගෙන කුසල් රැස්කර ගත්හ. මෙයින් කල්ප තිස් එකකට පෙර පහළ වූ සිඛි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බමුණු ගෙදරක ඉපිදී වැඩිවිය පැමිණ, ත්‍රිවේද පාරගතව අරණ්‍ය ආශ්‍රමයක වාසය කරමින් බමුණු දරුවන් තුන්දාහකට මන්ත්‍ර ඉගැන්වූහ. එක් දිනක් එම බමුණා ශාස්තෲන් වහන්සේ දැක මහ පුරිස් ලකුණු විමසා බලා, “මෙබඳු අංග ලක්‍ෂණවලින් හෙබි මෙතෙම අනන්ත ජින නම් වේ. අනන්ත වූ ඤාණ සම්පත් ඇති බුද්ධ නම් උතුමන් වහන්සේ වන්නේයැ”යි බුදු නුවණ අරබයා මහත් වූ ශ්‍රද්ධාවක් උපදවා ගත්තේය. ඒ සිත් පැහැදවීම් කුසලයෙන් ඉන් චුතව දෙව් මිනිස් දෙගතියේ ඉපිද සැප විඳ, මේ බුද්ධොත්පාද කාලයෙහි නාලක ගම එක් බමුණකුගේ පුතුව උපන්නේය. සුනාග නම් වූ ඒ බමුණු කුමරු ධර්ම සේනාපති සැරියුත් තෙරණුවන්ගේ ගිහිකළ යහළුවෙකි. එනිසා ශාස්තෲන් වහන්සේ වෙත අවුත් ධර්මය අසා, සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා පැවිදිව, නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත් විය. උන්වහන්සේ සිය චරිතය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.