සීහ ස්ථවිරගාථා වර්ණනාව
“සීහප්පමත්තො විහර” යනු ආයුෂ්මත් සීහ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති මෙතෙම, මෙයින් කල්ප දහ අටකට පෙර දී පහළ වූ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ දවස “චන්දභාගා” නම් නදී තෙර කිඳුරු යෝනියෙහි ඉපදුනේය. මල් ආහාර කොටගත්, මලින් කළ වස්ත්‍ර අඳින එම කිඳුරා දිනක් අහසින් වැඩම කරන අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේ පුදනු කැමතිව ඇඳිලි බැඳගෙන සිටියේය. ඔහුගේ අදහස දත් බුදුරජාණන් වහන්සේ අහසින් බැස එක් ගසක් මුල පලක් බැඳ හුන්සේක. කිඳුරා සඳුන් තෙල් ගල්වා සඳුන් සුවඳැති මලින් පූජා කරවා, වැඳ භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට ගෞරව දක්වා පිටව ගියේය. එම පින්කමේ විපාක ලෙස ඔහු දෙව් මිනිස් දෙගතියෙහි ඉපදුණි. සීහ නමින් පතල වූ ඔහු භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේ ය. ඔහුගේ අදහස් දත් බුදුරජාණන් වහන්සේ ධර්‍මදේශනා කළ සේක. දහම් ඇසූ සීහ ලබන ලද ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදිව, කමටහන් ගෙන කැළයේ වාසය කරයි. නමුත් භාවනා කරන උන්වහන්සේගේ සිත නානා අරමුණුවල දිවයයි. එකඟ නොවේ. අපේක්‍ෂිත මගඵල උපදවා ගත නොහැකි වෙයි. මේ බව දුටු ශාස්තෲන් වහන්සේ අහසෙහි පෙනී සිට මෙම ගාථාවෙන් අවවාද කළ සේක.
“සීහප්පමත්තො විහර රත්තිං දිවමතන්‍දිතො,
භාවෙහි කුසලං ධම්මං ජහ සීඝං සමුස්සයං” - යනුවෙනි.
එම ගාථාව වදාරා අවසන් වත්ම සීහ තෙරණුවෝ විදසුන් වඩා රහත්වූහ. ඒ බව මෙසේ අපදාන පාළියේ දැක්වේ.
“එකල්හි මම චන්‍ද්‍රභාග නදී තීරයේ වෙසෙන කිඳුරෙක් වීමි. මල් අනුභව කරන මම මලින් කළ වස්ත්‍ර හැන්දෙමි.
එකල්හි නර ශ්‍රේෂ්ඨ වූ ලොවට ජ්‍යෙෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසෙහි හංස රාජයකු මෙන් වන හිසින් වැඩම කළහ.
“පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්න වූ විශෝධිත සිතක් ඇති උතුමකු වන සේක. අතිශය ප්‍රසන්න වූ මුහුණ හා ඉන්‍ද්‍රියන් ඇති සේක.”
මහා ප්‍රාඥ වූ මනා නුවණැති සර්වඥයන් වහන්සේ අහසින් බැස සඟල සිවුර අතුරා රුකක් මුල පලක් බැඳ හුන් සේක.
සඳුන් සුණු (චූර්ණය) ගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගියෙමි. පහන් සිතින් - සතුටින් යුක්තව ඉන් බුදුන් පිදුවෙමි.
ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට වැඳ, සතුටු සිතින් උතුරු දෙස බලා ගියෙමි.
මෙයින් එක් දහස් අටසිය වන කල්පයේ දී යම් සඳුන් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ මේ විපාකයයි.
මින් කල්ප එක්දහස් හාරසීයකට පෙර රෝහිත නම් මහ බල ඇති සක්විති රජවරු තිදෙනෙක්ව උපන්නෙමි.
මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
සීහ තෙරුන්ට අවවාද වශයෙන් දෙසන ලද “සීහප්පමත්තො විහර” යන ගාථාවෙහි “සීහ” යනු තෙරුන්ට ඇමතීමයි. සීහය! “අප්පමත්තො විහර” සිහියෙන් යුක්තව අප්‍රමාදීව සියලු ඉරියවුවල සතිය පිහිටුවා විමසුම් නුවණින් වාසය කරව. දැන් ඒ අප්‍රමාදීව විහරණය විපාකයත් සමග සංක්‍ෂිප්තව දැක්වීමට, “රත්තින්‍දිවං” යනාදිය දෙසන ලදි. එහි අර්ථය මෙසේය. “රාත්‍රියේ ද දවාලෙහි ද සක්මනෙහි යෙදෙමින් වෙර වඩා සිත බැඳ තබන ධර්මවලින් සිත පිරිසිදු කර ගන්න”යි කියූ ආකාරයෙන් ම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩීම් වැඩීම් වශයෙන් නොමැලිව, නොකුසීතව අරඹන ලද වීර්ය වැඩීම් වශයෙන් වීර්යයෙන් කුසල් ද සමථ විදර්ශනා දී ධර්ම ද ලෝකෝත්තර ධර්මයද වඩන්න. උපදවා ගන්න. තමා තුළ දියුණු කර ගන්න. එසේ කුසල් වඩා “ජහ සීඝං සමුස්සයං” යනු නුඹගේ ආත්මභාවයෙහි, සිරුරෙහි බැඳී පවතින ඡන්‍දරාගය පළමුව වහා අත්හරින්න. දුරු කරන්න. කල්නොයවා ම බැහැරලන්න. එසේ ඇති කල්හි පසුව අවසන් සිත නිරුද්ධ වීමෙන් ඉතිරි නොවීම ම ස්කන්‍ධ රැස දුරු වන්නේය. අත් හරින්නේය.” රහත් බවට පත් වූ සීහ තෙරණුවෝ ඒ බව ප්‍රකාශ කරන සේක් එම අවවාද ගාථාව ම නැවත වදාළහ.
සීහ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
නීත ස්ථවිරගාථා වර්ණනාව
“සබ්බරත්තිං සුපිත්‍වා න” යනු ආයුෂ්මත් නීත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි සුනන්ද නම් බමුණකු වී නොයෙක් සිය ගණන් බමුණන්ට මන්ත්‍ර උගන්වයි. හේ “වාජපෙය්‍ය” නම් මහා යාගයක් කරයි. භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාට අනුකම්පා කළ සේක; එම යාග ස්ථානයට ගොස් අහසෙහි සැරි සැරූහ. බමුණා ශාස්තෲන් වහන්සේ දුටු පමණින් ම සිත් පහදවා ගෙන, මල් ගෙන ඒමට සිසුන්ට දන්වා. මල් ගෙනා කල්හි ඒවා අහසෙහි දමා පූජා කළේය. බුද්ධානුභාවයෙන් එම මල් රැස එම ස්ථානය ද මුලු නගරයෙහි ද පැතිරී සිටින මල් වියනක් විය. ශාස්තෲන් වහන්සේ පිළිබඳව මහජනයා තුළ මහත් වූ ප්‍රීතියක් ඇතිවිය. එම කුසල කර්මයේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරි සැරූ සුනන්ද බ්‍රාහ්මණයා; අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත් නුවර එක් බමුණකුගේ පුතෙක් ව උපන්නේ ය. එවිට ඔහුගේ නම “නීත” නම් විය. නීත වැඩිවියට පැමිණ, “මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සුව ස්වභාවයෙන්, සුව හැසිරීමෙන් ඉතා රසවත් ආහාර වළඳා, මනාව සෙවිලි කළ සෙනසුන්හි වෙසෙති. ඒනිසා මොවුහු වෙත පැවිදිවීමෙන් සුවසේ වාසය කිරීමට හැකිවේ” යැයි සිතා සැප විඳීමේ කැමැත්තෙන් පැවිදි විය. පැවිදිව ශාස්තෲන් වහන්සේගෙන් කමටහන් රැගෙන ගොස් කිහිප දිනක් එය සිහිපත් කර, පසුව එය හැර දමා, බඩ තදවන තෙක් ආහාර ගෙන මුලු දවසෙහි ම සමූහ සාකච්ඡාවේ නියැලෙමින්, තිරිසන් කථාවෙන් කල් යැවූ නීත තෙරුන් රාත්‍රියේ දී කය සිතමැලි භාවයෙන් (ථීන මිද්ධ) මැඩී මුලු රැයම නිදා ගත්හ. මෙසේ කල් යැවූ උන්වහන්සේගේ නුවණ මුහුකුරා යෑම පිළිබඳව සළකා බැලූ ශාස්තෲන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.