කස්සප ස්ථවිරගාථා වර්ණනාව
“යෙන යෙන සුභික්ඛනී” යනු ආයුෂ්මත් කස්සප තෙරණුවන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මෙතෙම පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ බමුණු පවුලක ඉපිද, ත්රිවේදයෙහි හා සෙසු බමුණු සිප් සතරෙහි කෙළවරට පත් විය. දිනක් ඔහු භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් සමන්මල් පූජා කළේය. ශාස්තෲන් වහන්සේගේ හාත්පස ද මත්තෙහි ද සමන් මල් මිටි දමන ලදි. ඒවා බුද්ධාන්භවයෙන් මල් වියනක් සේ නොමැලවී සත් දිනක් තිබුණි. එම අසිරිය දුටු බමුණ පුතු අතිශයින් පැහැදුණු සිත් ඇති විය. තව තවත් පින් දහම් කරමින් කල්ප ලක්ෂයක් පුරා කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර එක් උසස් බමුණකුට දාව පුතෙක් ව උපන්නේ ය. එකුමරු කස්සප නමින් ප්රකට විය. ඔහු කුඩා කාලයේ දීම පියා කළුරිය කළේය. මව දරුවා පෝෂණය කළාය. ඒ කුමරු දිනක් ජේතවනාරාමයට ගොස්, භාග්යවතුන් වහන්සේගේ ධර්මදේශනාවක් අසා හේතු සම්පත් ඇති බැවින් හුන් අසුනෙහි දීම සෝවාන් විය. මවගෙන් අවසරගෙන පසුව කස්සප කුමරු පැවිදි විය. ශාස්තෲන් වහන්සේ වස් වැස පවාරණය කොට, ජනපදචාරිකාවේ හැසිරෙන කල්හි තමා ද උන්වහන්සේ සමග යනු කැමතිව මවගේ කැමැත්ත ලබා ගැනීමට ඇය වෙත ගියේය. කස්සප හිමියන්ට එම අවසරය දෙන මෑණියෝ අවවාද වශයෙන් මෙම ගාථාව කීවාය.
“යෙන යෙන සුභික්ඛානි, සිවානි අභයානි ච,
තෙන පුත්තක ගච්ඡස්සු, මා සොකාපහතො භව.”
තෙන පුත්තක ගච්ඡස්සු, මා සොකාපහතො භව.”
එම ගාථාවෙහි “යෙන යෙන” යනු යම් තැනෙක සත්තමී විභක්තියේ කරණ වචනයකි. යම් යම් දිශාවකට යන අර්ථයයි. “සුභික්ඛානී” යනු ආහාර පාන සුලභ වූ ප්රදේශ හා රටවල් යන අර්ථයයි. “සිවානී” බිය සැක නැති, රෝගාබාධ නැති ප්රදේශ “අභයානී” යනු සොරබිය ආදී භය කිසිවක් නොමැති ප්රදේශ නිර්භය තැන් රෝගාබාධ නැති දුර්භික්ෂ භය ඇති ප්රදේශ ‘සුභික්ඛ’ හා ‘සිවානි’ යන දෙපදයෙන් අදහස් කරන ලදි. “නෙන” යන්නා වූ ඒ ඒ දිශාවෙහි “පුත්තක” යනුවෙන් අනුකම්පාව නිසා කස්සප තෙරුන්ට පුතේ! යනුවෙන් ආමන්ත්රණය කරයි. “මා” යනු ප්රතිශේධනාර්ථයේ (වැලැක්වීමේ අර්ථයේ) නිපාතයකි. “සොකා පහතො” යනු ඉහත කී ලක්ෂණ නොමැති රටවලට, ප්රදේශවලට ම යන්න. දුර්භික්ෂ, භය ආදී සහිත ප්රදේශවලට ගොස් ශෝකයෙන් පීඩාවට පත්නොවන්න. මෙම මවගේ අවවාදය ඇසූ තෙරුන් වහන්සේ, “මගේ මව මා හට ශෝක රහිත තැනට යාමට ආශිර්වාද කරන්නීය. එනිසා මම සර්වප්රකාරයෙන් ම ශෝක රහිත වූ විශේෂයෙන් ම නිර්භය වූ ස්ථානයට (නිවණට) පත්වීම සුදුසුයැ”යි උත්සාහ වඩා විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින් ම අරණ්යයෙහි වෙසෙමින් ම රහත් බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ විසින් මෙසේ පවසන ලදි.
“වේද හදාරන, මන්ත්රධාරී වූ වේදත්රයේ පරතෙරට ගිය මම එළිමහනෙහි සිටියෙම්; වනයෙහි හැසිරෙන සිංහයකු වැනි වූ තැති නොගන්නා ව්යාඝ්රරාජයකු වැනි වූ මාතංග කුලයේ ත්රිමදගලිත හස්ති රාජයකු වැනි වූ මහර්ෂි වූ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
ඒ මට සමන්මල් රැගෙන අහසෙහි දැමුවෙමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් ඒ සියල්ල හාත්පසින් බුදුහු පිරිවරා ගැනුනි.
මහාවීර වූ ලෝකනායකයන් වහන්සේ අධිෂ්ඨාන කල කල් හි, ඒ නරශ්රේෂ්ඨයන් වහන්සේ පිරිවරා ගෙන සිටි මල් වියන් විසිරී ගියේය.
අනතුරුව ඇතුලට පිවිසි නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ මල් වියන සතියක් පුරාම බුදුරදුන්ට සෙවන දී එතැනින් අතුරුදහන් විය.
විශ්මය ජනක වූ ලොමුඩැහැගන්නා වූ ඒ අසිරිමත් සිදුවීම දුටු මම සුගත වූ ලෝකනායකයන් වහන්සේ කෙරෙහි සිත පැහැදුවූයෙමි.
එසේ සිත් පැහැදවීමේ බලයෙන් මෙහෙය වූ මම කල්ප ලක්ෂයක් ම දුගතියක නූපන්නෙමි.
මෙයින් එක්දහස් පන්සිය වන කල්පයේ දී චිණ්ණමාලාස නම් වූ මහ බලැති සක්විති රජවරු විසිපහක් ව සැප වින්දෙමි.
ඒ මම දැන් සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුද්ධානුශාසනය ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ කස්සප තෙරණුවෝ; “මේ මවගේ ප්රකාශය ම මාහට රහත්වීම සඳහා අංකුසයක් - පිහිටාධාරයක් වූයේය”යි එම ගාථාවම නැවත දේශනා කළහ.
කස්සප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සීහ ස්ථවිරගාථා වර්ණනාව
“සීහප්පමත්තො විහර” යනු ආයුෂ්මත් සීහ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇති මෙතෙම, මෙයින් කල්ප දහ අටකට පෙර දී පහළ වූ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ දවස “චන්දභාගා” නම් නදී තෙර කිඳුරු යෝනියෙහි ඉපදුනේය. මල් ආහාර කොටගත්, මලින් කළ වස්ත්ර අඳින එම කිඳුරා දිනක් අහසින් වැඩම කරන අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේ පුදනු කැමතිව ඇඳිලි බැඳගෙන සිටියේය. ඔහුගේ අදහස දත් බුදුරජාණන් වහන්සේ අහසින් බැස එක් ගසක් මුල පලක් බැඳ හුන්සේක. කිඳුරා සඳුන් තෙල් ගල්වා සඳුන් සුවඳැති මලින් පූජා කරවා, වැඳ භාග්යවතුන් වහන්සේ පැදකුණු කොට ගෞරව දක්වා පිටව ගියේය. එම පින්කමේ විපාක ලෙස ඔහු දෙව් මිනිස් දෙගතියෙහි ඉපදුණි. සීහ නමින් පතල වූ ඔහු භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේ ය. ඔහුගේ අදහස් දත් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළ සේක. දහම් ඇසූ සීහ ලබන ලද ශ්රද්ධාවෙන් සසුනේ පැවිදිව, කමටහන් ගෙන කැළයේ වාසය කරයි. නමුත් භාවනා කරන උන්වහන්සේගේ සිත නානා අරමුණුවල දිවයයි. එකඟ නොවේ. අපේක්ෂිත මගඵල උපදවා ගත නොහැකි වෙයි. මේ බව දුටු ශාස්තෲන් වහන්සේ අහසෙහි පෙනී සිට මෙම ගාථාවෙන් අවවාද කළ සේක.