රක්ඛිත ස්ථවිරගාථා වර්ණනාව
“සබ්බො රාගො පහීනො මෙ” යනු ආයුෂ්මත් රක්ඛිත තෙරුන් වහන්සේ පැවසූ ගාථාවයි. එහි උපත කෙසේද? පදුමුත්තර බුදුන් දවස සිටුගෙයක ඉපිද වැඩිවියට පත් සිටු කුමරෙක්ව, එක්දිනක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පැහැදුණු සිතින් දේශනා ඥානය අරඹයා උන්වහන්සේට ස්තූති කළේය. ශාස්තෲන් වහන්සේ මේ සිටුපුත්රයාගේ සිත් පැහැදීම දැක “මොහු මින් කල්ප ලක්ෂයකට පසුව ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි රක්ඛිත නම් මහා ශ්රාවකයා වන්නේය” යි විවරණ දුන්සේක. එය අසා අතිශයින් සතුටට පත්වූ සිටුපුතු ඒ ඒ භවයන්හි දී තවත් පින්දහම් සිදුකර, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා; අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි “වේදේහ” නම් නියම් ගමෙහි ශාක්ය රජ පවුලක උපන්නේය. රක්ඛිත නමින් ප්රකට වූ මේ ශාක්ය කුමරු; ශාක්ය - කෝලිය රජවරුන් විසින් භාග්යවතුන් වහන්සේ පිවරාගෙන සිටීම සඳහා දුන් පන්සීයක් රජකුමරුවන්ගෙන් කෙනෙක්ව පැවිදිවිය. ඒ රාජකුමාරවරු පැවිද්ද පිළිබඳව නො කැමැත්තෙන් (නෑයන්ගේ බලකිරීමෙන්) පැවිදි වූ බැවින්; ශාස්තෲන් වහන්සේ ඔවුහු රැගෙන කුණාල වැව් ඉවුරට වැඩියහ. එහිදී ස්ත්රී දෝෂ ප්රකට කෙරෙන කාමයේ ආදීනව දැක්වෙන කුණාල ජාතකය දේශනා කළසේක්; එම ශාක්ය කෝලිය තෙරවරු කමටහන් වැඩීමෙහි යෙදවූ සේක. එකල්හි රක්ඛිත තෙරණුවෝ කමටහන් වැඩීමෙහි නිරතව විදසුන් භාවනාවට සිත යොමුකර රහත්බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ දී මෙසේ දැක්වූහ -
“ලෝක ජ්යෙෂ්ඨ වූ නර ශ්රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහත් වූ ජන සමූහයාට නිවන් මග දේශනා කරන සේක.
උන්වහන්සේගේ උතුම් වචන ඇසූ මම; ඇඳිලි බැඳගෙන එකඟ සිතින් යුතුව බුද්ධ ඥානයට මෙසේ පැසසූවෙමි.
“යම්සේ මහා සාගරය ජලාශයකට අග්රවේද, සිනේරු පර්වතය පර්වත අතරින් අග්රවේද; එසේම යම් කෙනෙක් සචේතන වශයෙන් පවතිත් නම් ඔවුන්ගේ ඥානය බුද්ධ ඥානයෙහි කලාවකට ද සම නොවේ. සචේතනිකයන්ගේ ඥානයන් අතරින් බුද්ධ ඥානයට අග්රවේ.”
එය ඇසූ කාරුණික වූ සෘෂිවූ බුදුරජාණන් වහන්සේ දහම් වීථියෙහි පිහිටුවා භික්ෂු සංඝයා මැද වැඩ හිඳිමින් මෙසේ වදාළසේක.
“ලෝක නායක වූ බුදුරජාණන් විෂයෙහි වූ නුවණ පිළිබඳව යමෙක් ප්රශංසා කරන ලද්දේ ද; එහි විපාක වශයෙන් ඔහු මේ කල්ප ලක්ෂය පුරාම දුගතියක නූපදින්නෙහිය.
එකඟ වූ මානව දමනය කළ සිතින් යුක්තව මින් කල්ප ලක්ෂයකට පසුව රක්ඛිත නම් බුද්ධශ්රාවකයෙක් වන්නේය.” යනුවෙනි.
මින් කල්ප පනස්දාහකට පෙර මහත්වූ සත් රුවනින් හෙබි මහ බලැති යසුග්ගන නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත්වූ උන්වහන්සේ, තමන් වහන්සේ සියලු කෙලෙස් නැසූ බව ප්රත්යවේක්ෂා කරමින් “සබ්බො රාගො” යන ගාථාව වදාළහ.
එම ගාථාවෙහි “සබ්බො රාගො” යනු කාමරාගාදී ප්රභේද ඇති සියලුම රාගය. “පහීණො” යනු ආර්යමාර්ගය වැඩීමෙන්; මුලුමනින්ම කෙලෙස් සිඳ දැමීම් වශයෙන් ප්රහාණය කරන ලදි. “සබ්බො දොසො” යනු නැසීම, වැනසීම ආදී නොයෙක් ආකාරයෙන් ක්රියාත්මක වන ව්යාපාදය - දැඩි තරහව. “සමූහතො” ආර්ය මාර්ගය වැඩීමෙන් මැනවින් නසන ලදි. “සබ්බො මෙ විගතො මොහො” යනු දුක නොදැනීම ආදී වශයෙන් අට වැදෑරුම් වුද කෙලෙස් වස්තු විභාග වශයෙන් අට වැදෑරුම් වූ ද සියලුම ආකාරයේ මෝහය මවිසින් ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් නැතිකරන ලදි. දුරුකරන ලදි. “සීති භූතොස්මි නිබ්බුතො” එනිසා මේ ආකාරයෙන් කෙලෙස් මුල් සිඳ දමා, මැනවින් කෙලෙස් සංසිඳ වූ බැවින්; කෙලෙස් සම්පූර්ණයෙන් නසා පරිදාහයෙන් - දැවීමෙන් දුරුවූ බැවින් සිසිල් බවට පැමිණියෙමි. එසේම සියලුම කෙලෙස් පිරිනිවි හෙයින් පිරිනිවියෙමි. මම මෙසේ නිවුණෙමි. පිරිණිවියෙම් වෙමියි සිය රහත් බව ප්රකාශ කරන ලදි.
රක්ඛිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
උග්ග ස්ථවිරගාථා වර්ණනාව
“යං මයා පකතං කම්මං” යනු ආයුෂ්මත් උග්ග තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු ඉදිරියේ දී කළ ප්රාර්ථනාව ඇතිව, ඒ ඒ භවයන්හි දී පින් දහම් සිදුකරගත් උතුමෙකි. මෙයින් කල්ප තිස් එකකට පෙර සිඛී නම් භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සිටු ගෙයක ඉපිද, වැඩිවියට පත් වූ මෙතෙම; එක් දිනක් සිඛී භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් කේතකී මලක් පූජා කළේය. එම පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, කාම සුගතීන් හිම ඉපිදෙමින් සසර සැරිසරා අවුත්, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි දී කොසොල් රට උග්ග නම් නියම් ගම සිටුපුතා වී උපන්නේ ය. ඔහුගේ නම ද “උග්ග” විය. වැඩිවියට පත් වූ උග්ග සිටුතුමා දිනක් භාග්යවතුන් වහන්සේ උග්ග නියම් ගම භද්රාරාමයේ වැඩවසන සමයෙහි එහි ගොස් ධර්මය අසා ලබන ලද ශ්රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. උන්වහන්සේ විදසුන් කමටහන වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ මෙසේ උන්වහන්සේ සිය චරිත කථාව පවසති.