අෂ්ටම වර්ගය
වච්ඡපාල ස්ථවිරගාථා වර්ණනාව
“සුසුඛුමනිපුණත්ථදස්සිනා” යනු ආයුෂ්මත් වච්ඡපාල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මෙම තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී පින් රැස්කරමින් දෙව් මිනිසුන් අතරම ඉපදෙමින් සසර සැරි සරා, මීට කල්ප අනූ එකකට පෙර දී බමුණු පවුලක උපන්නේ ය. ඒ බමුණු කුමරු වැඩිවියට පත් ව සියලු බ්‍රාහ්මණ ඉගැන්වීම් නිමවා, ගිනි පුදමින් හැසිරුණේය. එක් දිනක් මහත් වූ ලෝහ පාත්රයකට කිරිබතක් යාගකර, ඉතිරි වූ කිරිබත් කොටස් ගෙන දක්ෂිණාර්හ පුද්ගලයකු සොයමින් සිටින විට දී; විපස්සී භාග්‍යවතුන් වහන්සේ අහසෙහි සක්මන් කරනු දැක, ආශ්චර්යමත් අත්භූත සිතින් උන්වහන්සේට වැඳ, කිරිබත පුදනු කැමති බව දැක්වීය. ඔහුට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත් සේක. එම පින්කමේ විපාක වශයෙන් දෙව් - මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර මහ සම්පත් ඇති බමුණු පුතෙක් ව උපන්නේ ය. වච්ඡපාල නමින් ප්‍රකට වූ ඔහු; බිම්බිසාර රාජසමාගමයේ දී උරුවෙල කාශ්‍යප තෙරුන් මහත් ප්රාතිහාර්යයක් දක්වා, ශාස්තෲන් වහන්සේට අතිශයින් ගෞරව කිරීම් දැක ලැබූ ශ්‍රද්ධා ඇති ව සසුනේ පැවිදි විය. පැවිදි වී සත්වන දිනයේ ම විදසුන් වඩා ෂඩ් අභිඥාවන් උපදවාගත් උන්වහන්සේගේ චරිතාපදානය මෙසේ දැක්වේ.
“මහත් වූ ලොහො තලියක කිරි බතක් බහාගෙන, දනක් දෙනු කැමති වූ මම ඒ පූජාව දෙතිස් මහ පුරිස් ලකුණින් යුතු ස්වර්ණවර්ණ වූ භික්ෂුසංඝයා විසින් පිරිවරන ලදුව අරණින් නික්මුණා වූ විපස්සි බුදුරජාණන් වහන්සේ වෙත පිළිගැන්වූයෙමි.
ලොවට ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ එකල් හි අහසේ වූ සක්මනට නැගුණු සේක.
විශ්මය ජනක වූ ලොමුදහ ගන්නා ඒ අසිරිය දුටු මම තලිය පසෙක තබා මෙසේ පැවසීමි.
“දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්වඥ ද දේව ද වනසේක. මහාමුනි වූ බුදුරජාණන් වහන්ස! අනුකම්පා උපදවා මෙය පිළිගත මැනවි.”
ලෝකයේ ශාස්තෲ වූ මහාමුනි වූ ලෝක නායක වූ භාග්‍යවතුන් සර්වඥයන් වහන්සේ මාගේ අදහස දැන එය පිළිගත් සේක.
මෙයින් කල්ප අනූ එකකට පෙර, මම යම් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුගතියක නූපන්නෙමි. කිරිබත් දානයේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප සතලිස් එකකට පෙර සත් රුවනින් පිරි මහත් බල ඇති “බුද්ධ” නම් සක්විති රජෙක් වීමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ උන්වහන්සේ සුවසේ තමන් වහන්සේ නිවන් අවබෝධ කරගත් බව දක්වමින් -
“සුසුඛුමනිපුණත්ථ දස්සිනා, මතිකුසලෙන නිවාත වුත්තිනා,
සංසෙවිත වුද්ධ සීලිනා, නිබ්බාණං නහි තෙන දුල්ලභං”
සංසෙවිත වුද්ධ සීලිනා, නිබ්බාණං නහි තෙන දුල්ලභං”
යන ගාථාව වදාළ සේක.
එහි “සුඛුමනිපුණත්ථ දස්සිනා” යනු අතිශයින් දැකීමට අපහසු වූ, සියුම් වූ නිපුණ වූ සත්‍ය ප්‍රතීත්‍ය සමුත්පාදාදී අර්ථයෙහි ද අනිත්‍යාදියෙහි ද ආරෝපණය කොට දකියි යන අරුතින් “සියුම්, නිපුණ වූ අර්ථ දකී” නම් වේ. එයින් යුතු වූයේ “මති කුසලෙන” ප්‍රඥාවෙන් දක්ෂ වූ නුවනින්, දක්ෂකමින් පිරිපුන් වූ මෙලෙස පවතින්නාගේ ප්‍රඥාව වැඩේ. මෙසේ ක්‍රියා කිරීමෙන් නොවැඩේ යනුවෙන් ධම්මවිචය සම්බොජ්ඣංග ප්‍රඥාව ඉපදවීමෙහි දක්ෂ වූ. “නිවාතවුත්තිනා” යනු සබ්‍රහ්මචාරීන් කෙරෙහි යටහත් පැවතුම් ඇති, සීලයෙන් වෘද්ධ හා නවකයන් කෙරෙහි සුදුසු පරිදි පිළිපදින්නා වූ “සංසෙවිතවුද්ධසීලිනා” යනු මනාව ඇසුරු කළ, නිතර පුරුදු කළ, වෘද්ධ සීලයෙන් යුතු වූ. “එම වෘද්ධ සීලය යමෙකුට වේනම් ඔහු විසින්” යන අර්ථය පිණිස “සංසෙවිතවුද්ධසීලිනා” යි කියන ලදි. නැතහොත් මොහු විසින් ඇසුරුකරන ලදි. වෘද්ධ ශීලය මොහු විසින් උපාශ්රිතය, සේවනය කරන ලදී යන අරුතින් “සංසෙවිතවුද්ධසීලී” නම් වේ. ඔහු විසින් “හි” යනු හේතු අර්ථයේ නිපාතයකි. යම් හෙයකින් ඒ යටහත් පැවතුම් ඇති, මනාව සේවනය කළ වෘද්ධ ශීල සහිත වූ, ප්‍රඥාවෙහි දක්ෂ වූ සියුම් නිපුණ අර්ථ දක්නාවූ උත්තම පුද්ගලයාට ඒ ගුණ මහිම නිසා නිර්වාණාවබෝධය දුර්ලභ නොවේ. යටහත් පැවතුම් ඇති බැවින් ද ඇසුරු කරන ලද වෘද්ධශීල ඇති බැවින් ද නුවණැත්තෝ ඔහුට අවවාද කිරීමටද අනුශාසනා කිරීමට ද සිතති. ඔවුන්ගේ එම අවවාදයෙහි පිහිටා තමාගේම ප්‍රඥා සම්පන්න භාවයෙන් ඉතා සියුම්, නිපුණ අර්ථ දැකීමෙහි ද විදසුන් කමටහන් වඩා නොබෝ දිනකින් ම නිවණට පැමිණෙන්නේය. මෙම ගාථාවම තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.
වච්ඡපාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ආතුම ස්ථවිරගාථා වර්ණනාව
“යථා කළීරො සුසුවඩ්ඪිතග්ගො” යන මෙම ගාථාව ආයුෂ්මත් ආතුම තෙරුන්වහන්සේගේ ගාථාවකි. උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන නොයෙක් පින් දහම් රැස්කර, මෙයින් කල්ප අනූ එකකට පෙර සිටුගෙයක උපන්හ. වැඩිවිය පත් සිටු කුමරු විපස්සි භාග්‍යවතුන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පැහැදුණු සිතින් සුවඳ මලින් ද සුවඳ සුණු වලින් ද උන්වහන්සේ පිදුවේය. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව ඉපිද කාමසුගති ලෝකයන්හිම සැරිසරා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ පැවිදිව මහණදම් පිරුවේය. උන්වහන්සේගේ ඤාණය මුහුකුරා නොගිය බැවින් ආර්යගුණ කිසිවක් උපදවාගත හැකි නො වීය. අනතුරුව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සැවැත්නුවර සිටු ගෙදරක උපන්නේ ය. “ආතුම” නමින් ප්‍රකට වූ එම සිටු පුතු නිසි වයසට එළඹි කල්හි, ඔහුගේ මව “මගේ පුතුට බිරියක් ගෙනෙමි”යි නෑයන් සමග කථාබහ කළාය. එම සාකච්ඡාව ඇසූ ආතුම සිටුපුත්, හේතු සම්පත්තියෙන් මෙහෙයවනු ලබනුයේ “මට ගිහිගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? දැන් මම පැවිදිවෙමි”යි සිතා භික්ෂූන් සමීපයට ගොස් පැවිදි විය. පැවිදි වූ ආතුම ගිහිබවට පත්කරගැනීමට ඔහුගේ මව නොයෙකුත් උපක්‍රම යෙදුවාය. උන්වහන්සේ ඇයට අවස්ථාවක් නොදී තම ස්ථිර අදහස මෙසේ ගාථාවකින් වදාළහ.