උග්ග ස්ථවිරගාථා වර්ණනාව
“යං මයා පකතං කම්මං” යනු ආයුෂ්මත් උග්ග තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු ඉදිරියේ දී කළ ප්‍රාර්ථනාව ඇතිව, ඒ ඒ භවයන්හි දී පින් දහම් සිදුකරගත් උතුමෙකි. මෙයින් කල්ප තිස් එකකට පෙර සිඛී නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටු ගෙයක ඉපිද, වැඩිවියට පත් වූ මෙතෙම; එක් දිනක් සිඛී භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් කේතකී මලක් පූජා කළේය. එම පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද, කාම සුගතීන් හිම ඉපිදෙමින් සසර සැරිසරා අවුත්, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි දී කොසොල් රට උග්ග නම් නියම් ගම සිටුපුතා වී උපන්නේ ය. ඔහුගේ නම ද “උග්ග” විය. වැඩිවියට පත් වූ උග්ග සිටුතුමා දිනක් භාග්‍යවතුන් වහන්සේ උග්ග නියම් ගම භද්‍රාරාමයේ වැඩවසන සමයෙහි එහි ගොස් ධර්‍මය අසා ලබන ලද ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිදි විය. උන්වහන්සේ විදසුන් කමටහන වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ මෙසේ උන්වහන්සේ සිය චරිත කථාව පවසති.
“විනතා නම් නදී තීරයේ පලගත් පුළිල ගසක් විය. මම ඒ ගස සොයා යන්නෙමි ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
එකල්හි මම පිපුණු වැටකේ මලක් දැක, එය නටුවෙන් කඩාගෙන ලෝක බන්‍ධු වූ සිඛී බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
“මහාමුනීන්‍ද්‍රයන් වහන්ස! බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේ අච්‍යුත නම් වූ අමෘතපදය හෙවත් නිවණට යම් නුවණකින් පැමිණිසේක්ද ඒ උතුම් වූ නුවණට මේ මල පූජාවේවා!” යි ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වඥතා ඥානයට පූජා පැවැත් වූ මම පසුව පුළිල ගස වෙත ගියෙමි. මෙම පූජාව නිසා ඒ සඤ්ඤාව මට පහළවිය. ඤාණ පූජාවේ විපාකය මෙබඳුය.
මෙයින් කල්ප තිස් එකකට පෙර යම් බඳු වූ පුෂ්ප පූජාවක් කළෙම් ද එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඤාණ පූජාවේ විපාකය මෙබඳුය.
මීට කල්ප දහතුනකට පෙර සත්රුවනින් යුතු මහත් බලවත් බලුග්ගත නම් සක්විති රජවරු දොළොසක් ව උපන්නෙමි.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත්ව තමන් වහන්සේ සසර පැවැත්ම සිඳ දැමූ බව ප්‍රකට කරමින් මෙම ගාථාව වදාළහ.
“යං මයං පකතං කම්මං අප්පං වා යදිවා බහුං,
සබ්බමෙතං පරික්ඛීණං නත්‍ථිදානි පුනබ්භවො” - යනුවෙනි.
මෙම ගාථාවේ “යං මයා පකතං කම්මං” යනු මේ ක්‍රියාවක් තුන් දොරින් ද නවයක් වූ උත්පත්ති දොරටුවලින් ද අටක් වූ අසංවරයන්ගෙන් ද අටක් වූ සංවරයන්ගෙන් ද පාපාදී වශයෙන් ද දානාදී වශයෙන් ද නොයෙක් ආකාරවලින් මේ ඉමක් කොණක් නොපෙනෙන දිගු සසරතුළ මවිසින් කළ, රැස්කළ නිපදවාගත් විපාක ධර්‍ම. “අප්පං වා යදි වා බහු” යනු ඒ ධර්‍මයන් හි වස්තුව චේතනාව, ප්‍රයෝගය, කෙලෙස් ආදී වශයෙන් දුර්වල වූ බැවින් අල්ප වූ ද යන මේ “සබ්බමෙතං පරික්ඛීණං” සියලුම කර්ම ක්‍ෂය කළෙමි. අග්‍ර වූ ආර්ය මාර්ගය අවබෝධ කරගත් බැවින් ක්‍ෂය කළ යුතු ධර්‍ම ක්‍ෂය කරන ලද්දෙමි. සසර පැවැත්මට හේතුවන කෙලෙස් ප්‍රහාණය කළවිට කර්‍ම පැවැත්ම ප්‍රහීණ වූයේම වේ. විපාකයන් පැවැත්මක් නො උපදියි. එනිසා “නත්‍ථිදානි පුනබ්භවො” යි නැවත අනාගත පුනර්භවයක්, නැවත ඉපදීමක් මා හට නැතැයි කියන ලදි. “සබ්බ මෙවෙතං” යන පාඨය ද “සබ්බමෙතං” යන්න වෙනුවට යෙදීම සුදුසුය. එහි පද විභාගය “සබ්බමෙව එතං” යනුවේ. “මේ සියලුම කර්‍ම” යන අර්ථයයි.
උග්ග ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අටවැනි වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
නවම වර්‍ගය
සමිතිගුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“යං මයා පකතං පාපං” යනු ආයුෂ්මත් සමිතිගුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස්කරමින් සසර සැරිසැරූහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන් හෙතෙම; වියට පත්ව භාග්‍යවතුන් වහන්සේ දැකීමෙන් පැහැදුණු සිත් ඇතිව දෑ සමන් මලින් පූජා පැවැත්වීය. එම සිටුතුමා ඒ පින්කමේ විපාක වශයෙන් උපනුපන් ආත්මභාවයන් හි කුලයෙන්, රූපයෙන්, පිරිවරින් යන සම්පත්වලින් අනෙකුත් පුද්ගලයන් අබිභවා සිටියේය. මෙබඳු එක් අත්බවක දී එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් පිඬු පිණිස හැසිරෙනු දැක. “මේ මුඩු මහණා අත් පා කොරවූවෙකියි සිතමි. මෙතෙම එය සඟවාගෙන හැසිරෙයි” යනුවෙන් දෝෂාරෝපණය කොට ගියේය. ඔහු ඒ අකුසල කර්මය නිසා නිරයේ පැසී බොහෝ දුක් විඳ; කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මනුෂ්‍යයෙක්ව ඉපිද පිරිවැජි පැවිද්දෙක් බවට පත්විය. හෙතෙම එක් දිනක් එක් සීලාචාර වූ උපාසකයකු දැක දොස් දක්වමින් “නුඹ කුෂ්ටරෝගියෙක් වන්නෙහිය” යැයි පරිභව කළේය. නාන තොට මිනිසුන් විසින් තබන ලද නොයෙක් සුවඳ ද්‍රව්‍ය විනාශ කළේය. මෙසේ රැස්කරගත් පාප කර්‍ම නිසා නැවත නිරයේ ඉපිද බොහෝ කාලයක් දුක් අනුභව කළේය. පසුව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත්නුවර එක්තරා බ්‍රාහ්මණයකුගේ පුතෙකු ලෙස උපන්නේය. “සමිතිගුත්ත” නාමයෙන් ඔහු ප්‍රකට විය. වැඩිවිය පත් ඒ බමුණු පුතු ශාස්තෲන් වහන්සේගේ දම් දෙසුම අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිවිය. ඉතා පිරිසිදු සිල් ඇතිව වාසය කරන උන්වහන්සේට පෙර කරන ලද පාප කර්මය නිසා කුෂ්ඨ රෝගයක් උපන්නේය. ඉන් උන්වහන්සේගේ ශරීරාවයව සිඳී බිඳී වැගිරෙයි. මෙනිසා උන්වහන්සේ ගිලන් ශාලාවෙහි නිදාගත්හ. එක්දිනක් ධර්මසේනාපති සැරියුත් තෙරණුවෝ, ගිලන් බව විමසීමට ඒ ඒ තැනට ගොස්, ඒ ඒ ගිලන් වූ තෙරවරුන්ගෙන් සුවදුක් විමසමින් වැඩමවන සේක්! එම තෙරුන් දැක “ඇවැත්නි! මේ ස්කන්‍ධයන්ගේ පැවැත්ම සියලු දුක්වලට හේතුවයි. මේ වේදනාදී ස්කන්‍ධ ධර්‍ම නොපවතින කල්හි ම දුක නැතිවේ” යනුවෙන් වේදනා ව මූලික ව විදසුන් කමටහනක් දී වැඩිසේක. සමිතිගුත්ත තෙරණුවෝ එම අවවාදයෙහි පිහිටා විදසුන් වඩා ෂඩ් අභිඥා ලාභියෙක් වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ අපදාන පාළියේ දක්වන ලදි -