මෙණ්ඩසිර ස්ථවිරගාථා වර්ණනාව
“අනෙක ජාති සංසාරං” යනු ආයුෂ්මත් මෙණ්ඩසිර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුරජාණන් වහන්සේලා හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන නොයෙක් පින් දහම් සිදුකරගත්හ. මෙතෙම මෙයින් කල්ප අනූ එකකට පෙර බමුණු කුලයක ඉපිද වැඩිවිය පත්ව, සසර පුරුදුතාවය නිසා ගිහිගේ හැර දමා සෘෂි පැවිද්දෙන් පැවිදිව මහත් වූ සෘෂිවරු පිරිවරාගෙන හිමවතෙහි වාසය කළේය. දිනක් එහි වැඩම වූ ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සෘෂිතුමා තම ශිෂ්‍ය ගණයා ලවා නෙලුම් මල් ගෙන්වා ඉන් උන්වහන්සේට පූජා කළේය. මල් පූජාවෙන් අනතුරුව සිය සිසුන්ට අප්‍රමාදීව කටයුතු කරන ලෙස ඔවදන් දී කළුරිය කර දෙව්ලොව උපන්නේ ය. මෙසේ දෙව් සැප විඳිමින් සසර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සාකේත නුවර ගහපති පවුලක උපන්නේ ය. ඒ කුමරුගේ හිස බැටළුවකුට (මෙණ්ඩ) සමාන වූ බැවින් “මෙණ්ඩසිර” නාමයෙන් ප්‍රකට විය. භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර අඳුන් වනයෙහි වැඩ වසන සමයෙහි මෙණ්ඩසිර සිටුතුමා උන්වහන්සේ වෙත පැමිණ, ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වී සමථ හා විදර්ශනා කමටහන් වඩා, ෂඩ් අභිඥා උපදවා ගත්තේය. උන්වහන්සේගේ චරිතාපදානය මෙසේ අපදාන පාළියේ දැක්වේ -
“හිමවත නුදුරෙහි නා නා වෘක්‍ෂයන්ගෙන් ගැවසී ගත් මහත් වූ සත්ත්‍ව සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්වතයක් විය.
එහි මැද මැනවින් මැවු අසපුවක් විය. මම තමාගේ ම ශිෂ්‍යයන් පිරිවරාගෙන එම අසපුවෙහි විසුවෙමි. දිනක් මම ඔවුන්ට මෙසේ කීවෙමි.
“මගේ ශිෂ්‍යයෝ පැමිණෙත් වා! මට පියුම් ගෙන එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ සහිත බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නෙමු.
“ඔවුහු “එසේය” යි මට පිළිතුරු දී පියුම් ගෙන ආහ. මම සර්‍වඥයන් වහන්සේ නිමිති කොට එම මල් පිදුවෙමි.
ඉන් පසුව ශිෂ්‍යයන් කැඳවා මැනවින් අවවාද කළෙමි. “නුඹලා නොපමාවවු! අප්‍රමාදී වීම, සැප ගෙන දෙන්නේය.”
මෙසේ පැවසූ මගේ වදන් වචනක්‍ෂම වූ මට කීකරු වූ සියලු සිසුහු පිළිගත්හ. මෙසේ අවවාද කළ මම ද නොපමාව ම වාසය කොට කළුරිය කළෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එතැන් පටන් දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.
මෙයින් කල්ප පනස් එකකට පෙර සත්රුවනින් පිරි මහ බලවත් සක්විති රජෙක්ව “ජනුත්තම” නාමයෙන් ප්‍රකට වීමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුද්ධානුශාසනය මනාව ඉටුකළෙමි.”
පසුව උන්වහන්සේ සිය පෙර ආත්මභාව සිහිපත් කරන සේක්;
“අනෙක ජාති සංසාරං, සන්‍ධාවිස්සං අනිබ්බිසං,
තස්ස මෙ දුක්ඛජාතස්ස, දුක්ඛක්ඛන්‍ධො අපරද්ධො” යන ගාථාව වදාළසේක.
එම ගාථාවෙහි “අනෙකජාති සංසාරං” යනු නොයෙක් සිය දහස් ගණන් වූ ජාති වල, මේ සංසාර සාගරයේ නොයෙක් භාවයන් හි, මාර්ගයක් (අද්ධා) අදහස්වන බැවින් මෙතැන අත්‍යන්ත සංයෝගයේ දුතියා විභක්තියෙහි ඒකවචනය යෙදී ඇත. “සන්‍ධාවිස්සං” යනු හැසිරුණෙමි. ඒ ඒ භවයන් හි ඉපිදෙමින් මැරෙමින් නැවත ඉපිදෙමින් සැරිසැරුවෙමි. “අනිබ්බිසං” යනු එම සැරි සැරීම නවතන ඥානය නොලැබුයෙමි. සසර පැවැත්ම නවතන චතුරාර්ය සත්‍යාවබෝධය නොමැතිව. “තස්ස මෙ” මෙසේ හැසිරුණු මා හට “දුක්ඛජාතස්ස” යනු ඉපදීම් වශයෙන් උපන් දුක් ඇති, දුක් සහිත භවයන් හි ඉපදීම නිසා උපන් දුක් ස්වභාව ඇති. “දුක්ඛක්ඛන්‍ධො” යනු කර්ම ක්ලේශ විපාක වශයෙන් කියැවෙන මහත් වූ දුක් රුස්. “අපරද්ධො” යනු අර්හත් ඵලය ලබාගැනීමේ සිට සසර සැරීම නතරවිය. ඉන් මිදුණි. දැන් මගේ සසර පැවැත්මක් නැත. “අපරට්ඨො” යන පාඨය ද ඇතැම් තැනක යෙදේ. නොපවත්නා සංසිද්ධියෙන් සසර පැවැත්ම මුලිනුපුටා දැමූ බැවින් “සසරින් පහව” යන අර්ථයයි. මෙම ගාථාවම මෙණ්ඩසිර තෙරණුවන්ගේ රහත් බව ප්‍රකාශ කිරීම ද විය.
මෙණ්ඩසිර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
රක්ඛිත ස්ථවිරගාථා වර්ණනාව
“සබ්බො රාගො පහීනො මෙ” යනු ආයුෂ්මත් රක්ඛිත තෙරුන් වහන්සේ පැවසූ ගාථාවයි. එහි උපත කෙසේද? පදුමුත්තර බුදුන් දවස සිටුගෙයක ඉපිද වැඩිවියට පත් සිටු කුමරෙක්ව, එක්දිනක් ශාස්තෲන් වහන්සේගේ ධර්‍ම දේශනාව අසා පැහැදුණු සිතින් දේශනා ඥානය අරඹයා උන්වහන්සේට ස්තූති කළේය. ශාස්තෲන් වහන්සේ මේ සිටුපුත්‍රයාගේ සිත් පැහැදීම දැක “මොහු මින් කල්ප ලක්‍ෂයකට පසුව ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි රක්ඛිත නම් මහා ශ්‍රාවකයා වන්නේය” යි විවරණ දුන්සේක. එය අසා අතිශයින් සතුටට පත්වූ සිටුපුතු ඒ ඒ භවයන්හි දී තවත් පින්දහම් සිදුකර, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා; අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි “වේදේහ” නම් නියම් ගමෙහි ශාක්‍ය රජ පවුලක උපන්නේය. රක්ඛිත නමින් ප්‍රකට වූ මේ ශාක්‍ය කුමරු; ශාක්‍ය - කෝලිය රජවරුන් විසින් භාග්‍යවතුන් වහන්සේ පිවරාගෙන සිටීම සඳහා දුන් පන්සීයක් රජකුමරුවන්ගෙන් කෙනෙක්ව පැවිදිවිය. ඒ රාජකුමාරවරු පැවිද්ද පිළිබඳව නො කැමැත්තෙන් (නෑයන්ගේ බලකිරීමෙන්) පැවිදි වූ බැවින්; ශාස්තෲන් වහන්සේ ඔවුහු රැගෙන කුණාල වැව් ඉවුරට වැඩියහ. එහිදී ස්ත්‍රී දෝෂ ප්‍රකට කෙරෙන කාමයේ ආදීනව දැක්වෙන කුණාල ජාතකය දේශනා කළසේක්; එම ශාක්‍ය කෝලිය තෙරවරු කමටහන් වැඩීමෙහි යෙදවූ සේක. එකල්හි රක්ඛිත තෙරණුවෝ කමටහන් වැඩීමෙහි නිරතව විදසුන් භාවනාවට සිත යොමුකර රහත්බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ දී මෙසේ දැක්වූහ -