හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං” යන ගාථාව ආයුෂ්මත් හත්ථාරෝහ පුත්ත තෙරුන් වහන්සේ විසින් දෙසන ලද්දකි. එහි උපත කෙසේ ද? ඒ ඒ භවයන් හි දී රැස් කරන ලද පුණ්‍ය සම්භාර ධර්ම ඇති මේ තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව සසර සැරි සැරූහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වැඩිවිය පැමිණියේ, එක් දිනක් බික් සඟන පිරිවරාගෙන විහාරයෙන් නික්ම වඩින ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් මලින් පූජා පැවැත්වීය. මල්වලින් පූජා පවත්වා පසඟ පිහිටුවා වැඳ ප්රදක්ෂිණා කොට පින් රැස්කරගත් හෙතෙම, එපින් බෙලෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර හත්ථාරෝහක කුලයෙහි උපන්නේය. වැඩිවියට පත්ව සියලු හස්ති ශිල්පයන් හි අගතැන්පත් වූ මේ ඇත් ගොවුවාට දිනක් ඇතුන් හික්මවමින්, නදී තෙරට යන විට, පෙර පින් බෙලෙන් මෙහෙයවනු ලබනුයේ, “මම මේ ඇතුන් දමනයෙන් කවර ප්‍රයෝජනයක් ද? තමා දමනය කරගැනීම ම උතුම් වේ” යැයි සිතක් පහළ විය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, ධර්මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි ව, සිය චරිතයට ගැලපෙන කමටහන් රැගෙන විදසුන් භාවනාවෙහි සිත යොදවා බොහෝ කලක් පුරුදු කරන ලද කමටහන් ඇති විය. ඔබිනොබ දුවන සිත; දක්ෂ හස්ත්යාචාර්යකු හෙණ්ඩුවෙන් මත් වූ මද වෑහෙන මතැතෙකු දමනය කරන්නාක් මෙන් නුවණින් සලකා බැලීම නම් හෙණ්ඩුවෙන් දමනය කරමින් “ඉදං පරෙ චිත්තමචාරි චාරිකං” යන ගාථාව උන්වහන්සේ විසින් දෙසන ලදි.
එම ගාථාවෙහි “ඉදං” යනු ගාථාව පවසන්නාගේ සිතේ ආත්ම ප්රත්යක්ෂ සඳහා කියන ලද්දකි. “පුරෙ” පෙර සිත දමනය කිරීමට, නිග්රහකිරීමට පෙර “අචාරී” යනු හැසිරුණේය, දමනය නොවූ අස්ථිර චඤ්චල වූ සිත නොයෙක් අරමුණුවල හැසිරුණේය. “චාරිකං” යනු කැමති සේ හැසිරුණේය. එනිසා “යෙහිච්ඡකං යත්ථකාමං යථාසුඛං” යනාදිය කියන ලදි. රිසිසේ, කැමති තැනක, සුවසේ සිත හැසිරුණේය. “තදජ්ජහං” යන්නෙහි (තං + අජ්ජ + අහං) “තං” යනු ඒ සිතයි. “අජ්ජ” යනු දැන් - අද “අහං” මම “නිග්ගහෙස්සාමි” යනු නිග්‍රහ කරන්නෙමි. කළකිරෙමි. දමනය කරන්නෙමි. “යොනිසො” යනු උපායෙන් - නුවණින් “යථා” යනු යම්සේ. අංකුසයෙන් ඇතුන් බිඳලන්නාක් - දමනය කරන්නාක් මෙනි. මෙහි අදහස මෙසේ දතයුතුයි. - මේ මගේ සිත මීට පෙර රූපා දී විවිධ අරමුණුවල ඇලීමට කැමති වූයේ ද ඒ ඒ රිසි තැන්හි ඇලුණේය. යම් තැනක හැසිරීමෙන් සැපයක් - සුවයක් ලැබේ ද එබඳු සුව ඇති තැන්හි බොහෝ කාලයක් හැසිරුණේය. එබඳු වූ සිතට අද මම, දක්ෂ ඇත් ගොවුවෙකු හෙණ්ඩුවකින් මද වෑහෙන ඇතුන් දමනය කරන්නාක් මෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් දමනය කරන්නෙමි. සිතට නිග්‍රහ කරන්නෙමි. මම මගේ සිතට විසිරීයාමට, අවුල්ව යෑමට අවසර නොදෙමි.” මෙසේ පවසත් පවසත් ම තෙරුන් වහන්සේ විදසුන් වඩා රහත් ඵලය සාක්ෂාත් කරගත් සේක. උන්වහන්සේගේ චරිතාපදානය අපදානපාළියේ මෙසේ දැක්වේ -
“දක්ෂිණාවන්ට සුදුසු වූ රන්වන් වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන් පෙරටු කරගෙන තම ආරාමයෙන් නික්මුණු සේක.
මොහඳුර දුරු කරන්නා වූ සර්වඥ වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ දුටු මම; පහන් සිත් ඇතිව සතුටින් සුවඳ මල් පූජා කළෙමි.
ද්විපදෝත්තම වූ තාදී ගුණ සහිත බුදුරදුන් කෙරෙහි හටගත් සිත් පැහැදීම නිසා අතිශය සන්තෝෂයට පත් මම, තථාගතයන්ට නැවත නැවත වැන්දෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
මීට කල්ප සතලිස් එකකට පෙර සත් රුවනින් හෙබි - මහබලවත් “වරණ” නම් සක්විති රජ වූයෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
මෙම ගාථාවම තෙරණුවන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව ද විය.
හත්ථාරෝහ පුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
මෙණ්ඩසිර ස්ථවිරගාථා වර්ණනාව
“අනෙක ජාති සංසාරං” යනු ආයුෂ්මත් මෙණ්ඩසිර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුරජාණන් වහන්සේලා හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන නොයෙක් පින් දහම් සිදුකරගත්හ. මෙතෙම මෙයින් කල්ප අනූ එකකට පෙර බමුණු කුලයක ඉපිද වැඩිවිය පත්ව, සසර පුරුදුතාවය නිසා ගිහිගේ හැර දමා සෘෂි පැවිද්දෙන් පැවිදිව මහත් වූ සෘෂිවරු පිරිවරාගෙන හිමවතෙහි වාසය කළේය. දිනක් එහි වැඩම වූ ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සෘෂිතුමා තම ශිෂ්‍ය ගණයා ලවා නෙලුම් මල් ගෙන්වා ඉන් උන්වහන්සේට පූජා කළේය. මල් පූජාවෙන් අනතුරුව සිය සිසුන්ට අප්‍රමාදීව කටයුතු කරන ලෙස ඔවදන් දී කළුරිය කර දෙව්ලොව උපන්නේ ය. මෙසේ දෙව් සැප විඳිමින් සසර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සාකේත නුවර ගහපති පවුලක උපන්නේ ය. ඒ කුමරුගේ හිස බැටළුවකුට (මෙණ්ඩ) සමාන වූ බැවින් “මෙණ්ඩසිර” නාමයෙන් ප්‍රකට විය. භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර අඳුන් වනයෙහි වැඩ වසන සමයෙහි මෙණ්ඩසිර සිටුතුමා උන්වහන්සේ වෙත පැමිණ, ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වී සමථ හා විදර්ශනා කමටහන් වඩා, ෂඩ් අභිඥා උපදවා ගත්තේය. උන්වහන්සේගේ චරිතාපදානය මෙසේ අපදාන පාළියේ දැක්වේ -
“හිමවත නුදුරෙහි නා නා වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් මහත් වූ සත්ත්ව සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්වතයක් විය.
එහි මැද මැනවින් මැවු අසපුවක් විය. මම තමාගේ ම ශිෂ්‍යයන් පිරිවරාගෙන එම අසපුවෙහි විසුවෙමි. දිනක් මම ඔවුන්ට මෙසේ කීවෙමි.
“මගේ ශිෂ්‍යයෝ පැමිණෙත් වා! මට පියුම් ගෙන එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ සහිත බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නෙමු.
“ඔවුහු “එසේය” යි මට පිළිතුරු දී පියුම් ගෙන ආහ. මම සර්වඥයන් වහන්සේ නිමිති කොට එම මල් පිදුවෙමි.
ඉන් පසුව ශිෂ්‍යයන් කැඳවා මැනවින් අවවාද කළෙමි. “නුඹලා නොපමාවවු! අප්රමාදී වීම, සැප ගෙන දෙන්නේය.”
මෙසේ පැවසූ මගේ වදන් වචනක්ෂම වූ මට කීකරු වූ සියලු සිසුහු පිළිගත්හ. මෙසේ අවවාද කළ මම ද නොපමාව ම වාසය කොට කළුරිය කළෙමි.