පියඤ්ජහ ස්ථවිරගාථා වර්ණනාව
“උප්පතන්තෙසු නිපතෙ” යනු ආයුෂ්මත් පියඤ්ජහ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී ඒ ඒ භවයන්හි දී කළ ප්‍රාර්ථනා ඇතිව නිවන් පතාගෙන කළ පින්දහම් ඇතිසේක්; මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත එක් රැක් දෙවියෙක් ව උපන්හ. පර්‍වත අතර වසන එම දෙවියා දේව සමාගමයන්හි දී අල්ප ආනුභාව ඇති බැවින් පිරිස් කෙළවර හිඳ ධර්‍මය අසා ලැබූ ශ්‍රද්ධා ඇති ව, එක් දිනක් ඉතා පිරිසිදු රමණීය ගංගාවක වැලි තලාවක් දැක; “ශාස්තෲන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සමූහය මෙයට ද වඩා අනන්තය. අප්‍රමාණයැ”යි ශාස්තෲන් වහන්සේගේ ගුණ සිහිපත් කළේය. මෙසේ ශාස්තෲ ගුණයන්හි පිහිටුවන ලද සිත් පැහැදවීම ඇති එම දෙවියා ඉන් චුතව කාම සුගතීන් හි ම සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයෙහි විශාලා මහනුවර ලිච්ඡවි රජ පවුලක ඉපිද, යුධකාමී වූ තරුණයෙක් ව නො පැරදුණු සටන් ඇතිව, සතුරන්ට මහත් හානි පමුණුවන බැවින් “පියඤ්ජහ” නමින් ප්‍රකට විය. ශාස්තෲන් වහන්සේ විශාලා මහනුවරට වැඩම වූ මොහොතෙහි ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වී අරණ්‍යයෙහි වාසය කළ උන්වහන්සේ, විදසුන් වඩා මහරහත් ඵලයෙහි පිහිටි සේක. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“හිමවත් පව්වෙහි කඳු අතරෙහි වෙසෙමි. ශෝභන වූ වැලිතලාවක් දැක බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.”
උන්වහන්සේගේ නුවණට සැසඳීමට උපමාවක් නැත. ශාස්තෲන් වහන්සේට සංග්‍රාමයකුත් නැත. සියලු ධර්‍මයන් මනාව දැන නුවණින් නිශ්චයට පැමිණේ.
පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා. උතුම් නිවණ යම්තාක් වේ ද ඒතාක් නුවණින් ඔබවහන්සේ හා සම කෙනෙක් නැත.
මෙසේ බුද්ධ ඥානයෙහි සිත පහදවා කල්පයක් මුළුල්ලෙහි මම ස්වර්ගයෙහි සතුටු වූයෙමි. සෙසු කල්පයන් හි ද ම විසින් කුසල් කරන ලදි.
මෙයින් එක් අනූවන කල්පයේ යම් [missing trans] බුද්ධ ඥාන සංඥාවෙහි මේ විපාකයයි.
මෙයින් තෙසැත්තෑවන කල්පයේ සත් රුවනින් පිරි මහත් බල ඇති පුලින පුප්ඵිය නම් සක්විති රජ කෙනෙක් වූයෙමි.
මම දැන් සියලු කෙලෙස් දැවුයෙමි -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ පියඤ්ජහ තෙරණුවෝ; “අද පුහුදුන් පුද්ගලයන්ගේ ප්‍රතිපත්තියෙන් ආර්යයන්ගේ ප්‍රතිපත්තිය ඉතා දුරවේ” යන මෙම අර්ථය දැක්වීම් වශයෙන් ද සියලු කෙලෙස් නසා රහත් වූ බව දැක්වීම් වශයෙන් ද මෙම ගාථාව වදාළහ.
“උප්පතන්තෙසු නිපතෙ නිපතන්තෙසු උප්පතෙ,
වසෙ අවසමානෙසු රම්මානෙසු නො රමෙ”
එහි “උප්පතන්තෙසු” යනු සත්ත්වයෝ දියුණුවන, උසස්බවට පත්වන කල්හි මාන, උද්ධච්ච, තදගති හා එකටෙක කිරීමාදියෙන් තමා හුවා දැක්වීම් (අත්තුක්කංසනයෙන්) වශයෙන් නොසන්සුන් වන අවස්ථාවෙහි; “නිපතෙ” යනු නැමෙන්නේය. ඒ පාපීධර්‍ම දුරින් ම දුරුකිරීම් වශයෙන් යටහත් පැවතුම් ඇත්තකු වන්නේය. “නිපතන්තෙසු” යනු පහතට නැමෙන කල්හි, හීනාධීමුක්තික වූ කුසීත බව ආදියෙන් ගුණයන්ගෙන් පිරිහෙන අවස්ථාවෙහි, “උප්පතෙ” යනු තමා උසස්බවට පත්වන්නේ ය. ප්‍රණීතාධිමුක්තික වූ වීර්යාරම්භයෙන් ගුණ මහිමයෙන් නැගී සිටින්නේය. උසස් බවට පත්වන්නේය. නැතහොත් “උප්පතන්තෙසු” යනු කෙලෙස් නැගී නැගී සිටිනා කල්හි, මැඩගෙන නැගීසිටීම් වශයෙන් කෙලෙස් හිස ඔසවන කල්හි “නිපතෙ” යනු යම්සේ එම කෙලෙස් නූපදින්නේ ද එසේ සුදුසු වූ ප්‍රත්‍යවේක්‍ෂාදියකින් මැඩපැවැත්වීම් වශයෙන් විෂ්කම්භනය කරන්නේය. එසේම මුලුමනින් ම සිඳ දමන්නේය. “නිපතන්තෙසු” යනු බිඳවැටෙන කල්හි, අනුවණින් මෙනෙහි කිරීමෙන් වීර්ය උත්සාහ ප්‍රයෝගාදිය මද වූ බැවින් හෝ එසේ ඇරඹි සමථ විදර්ශනාදී ධර්‍ම පිරිහෙන කල්හි; “උප්පතෙ” යනු නුවණින් මෙනෙහි කිරීමෙන් ද වීර්යාරම්භ සම්ප්‍රදායෙන් ද ඔවුහු නැගී සිටින්නේය. මාර්‍ග ඵල උපදවන්නෝය. ආර්ය මාර්ගය වඩන්නෝ ය. “වසෙ අවසමානෙසු” යනු සෙසු ජනයා (සත්ත්‍වයා) මග බඹසරෙහි ද ආර්ය වාසයෙහි ද නො හැසිරෙන කල්හි තමා එම විහරණයන්ගෙන් යුක්ත වන්නේය. බඹ සර වාසයෙහි යෙදෙන්නේය. නැතහොත් ආර්යයෝ කෙලෙස් වසඟව දෙවැනි වාසයක නො වසන්නා හු ද යම් බඹසරක විසීමෙන් ඔවුහු “අවසමාන” නම් වේ ද එසේ තමා ද එම ගුණ අනුගමනය කරයි. “රම්මානෙසු නො රමෙ” යනු සෙසු සත්ත්‍වයෝ කාම ගුණයන්හි ඇලී කෙලෙස්වල ගැලෙන කල්හි තමා එහි නො ඇලෙන්නේය. “නො රමෙ” යනු නො ඇලේ. නැතිනම් ආර්යයෝ නිරාමිෂව ධ්‍යානයන් හි වෙසෙසින් ඇලෙන කල්හි තමා ද එහි ඇලෙන්නේය. ඉන් අන් ආකාරයකට වෙනස් බවකට කිසිදා නොයන්නේය. පංච කාම ගුණයන් හි කිසිදු අයුරකින් නො ඇලෙන්නේය යන අර්ථයයි.