සුසාරද ස්ථවිරගාථා වර්ණනාව
“සාධු සුවිහිතාන දස්සනං” යනු ආයුෂ්මත් සුසාරද තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි බමුණෙක්ව උපන්හ. සියලු විද්‍යාවන් හි කෙළවරට පැමිණි ඔහු කාමයේ ආදීනව දැක ගිහිගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි ආරණ්‍යයක ආශ්රමයක් කරවාගෙන, එහි වාසය කළේය. ඔහුට අනුග්‍රහ පිණිස පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිඬුසිඟා යන වේලාවෙහි එතැනට එළඹිසේක. උන්වහන්සේ වඩිනු දුරදීම දුටු, පැහැදුණු සිත් ඇති බමුණා පෙරගමන් කොට, පාත්‍රය ගෙන මිහිරි ඵලවැල එහි තබා පූජාකළේය. භාග්‍යවතුන් වහන්සේ එම දානය පිළිගෙන, අනුමෝදනා දේශනාව පවත්වා විහාරයට වැඩිසේක. ඒ බමුණු කරන ලද මෙම පින්කමෙහි විපාක වශයෙන් කාමසුගතීන්හි ඉපිද, සසර සැරි සරා අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි ධර්මසේනාපති වූ සැරියුත් මහතෙරුන්ගේ ඥාති බමුණු පවුලක ඉපිද මඳ වූ නුවණැති බැවින් “සුසාරද” යන නමින් ප්‍රකට ව විසීය. පසුකලෙක හෙතෙම සැරියුත් මහතෙරුන් සමීපයේ දී ධර්මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදිව විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් විය. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“වේද හදාරන්නා වූ, මන්ත්රධාරී වූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය මම හිමවත සමීපයේ වූ අසපුවක වෙසෙමි.
මාගේ ගිනි පිදීමෙක් ද විය. ඇටඹ ඵල මල්ලක දමා ගසක් මුදුනෙහි එල්ලා තැබුවෙමි.
ලෝකයාගේ පූජාවන්ට භාජන වූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මා සසරින් ගොඩගනු කැමතිව පිඬුපිණිස හැසිරෙමින් මා වෙත වැඩිසේක.
පහන් සිත ඇති මම, සතුටින් යුක්තව බුදුරදුන්ට එම ඵල පිළිගැන්වූයෙමි. මාගේ පුණ්‍ය ප්‍රීතිය වඩන්නා වූ මෙලොවදීම සැප ගෙනදෙන්නා වූ රන්වන් පැහැයෙන් බබලන ලෝවැසි ජනයාගේ පුද පූජා පිළිගන්නා වූ ශාස්තෲන් වහන්සේ අහසේ වැඩ හිඳ මෙසේ වදාළසේක.
“මෙම ඵලදානය හා චිත්ත ප්‍රණිධිය නිසා කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නුඹ නො පැමිණෙන්නේ ය.”
“මෙම කුශලය නිසා මම දිව්‍ය - මනුෂ්‍ය සම්පත් වින්දනය කළ මා දැන් අචල වූ ජය - පරාජ දෙකින්ම දුරුවූ උතුම් නිවණ අවබෝධ කළෙමි.
මෙයින් සත්වන කල්පයේ දී සත්රුවනින් පිරි, මහත් බලැති සුමංගල නම් සක්විති රජව උපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ සත්පුරුෂ ආශ්‍රය ප්‍රකට කිරීම් වශයෙන් සිය රහත්බව ප්‍රකාශ කරන සේක්.
“සාධු සුවිහිතාන දස්සනං කඞ්ඛා ඡිජ්ජති බුද්ධි වඩ්ඪති,
බාලම්පි කරොන්ති පණ්ඩිතං තස්මා සාධු සතං සමාගමො”
බාලම්පි කරොන්ති පණ්ඩිතං තස්මා සාධු සතං සමාගමො”
යන ගාථාව වදාළ සේක.
එහි “සාධු” යනු සුන්දර වූ, යන අර්ථයයි. “සුවිහිතාන දස්සනං” යනු මනාව පිහිට වූ සිත් ඇත්තන්ගේ (සුවිහිතානං) දර්ශනය - දැකීම. ගාථාව පහසුවෙන් පැවසීම සඳහා සුවිහිතානං යන තැන බින්දුව ලොප් කරන ලදි. සීලාදී ගුණ ධර්මයන්ගෙන් මනාව සංවර වූ ස්වභාව ඇති, අනුන් කෙරෙහි අනුකම්පාවෙන් මනාව දෙසන දම් දෙසුම් ඇති ආර්යයන් වහන්සේලාගේ දර්ශනය - දැකීම ඉතා යහපත් වූවකි. “දස්සනං” යනු ශ්‍රවණාදියෙහි ද බොහෝ උපකාර ඇති බැවින් දැකීම යනු නිදසුනක් පමණ යැයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ -
“යම් භික්ෂු පිරිසක් සීල, සමාධි, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ආදියෙන් සමන්විත වූ සේක් ද අවවාද දෙන, අවබෝධ කරවන, නිවන් මග දක්වන, එහි සමාදන් කරවන, ආර්ය මාර්ගයෙහි උත්සාහවත් කරවන, සතුටු කරවන ප්‍රමාණවත් සද්ධර්ම දේශනාවක් පවත්වන්නෝ වෙත් ද; මහණෙනි, එබඳු භික්ෂූහු බොහෝ උපකාර ඇත්තෝ යැයි මම කියමි.” දැකීම මූලික වූ බැවින් හේ අන්‍යයන්ගේ දැකීම් පමණින් ම “මේ ගුණ ඔවුන්ට විද්‍යමාන වේ” යැයි කියන ලදි. එය හේතු දක්වන වචනයකි. මෙබඳු වූ ස්වරූප ඇති කලණ මිතුරන්ගේ දැකීම් පමණින් ම නුවණ ඇති තමාට වැඩ කැමති කුල පුත්‍රයා උන්වහන්සේලා වෙත පැමිණේ, ඇසුරු කරයි. “ස්වාමීනි! කුසල් යනු කුමක් ද? අකුසල් යනු කුමක් ද?” යි ආදී ප්‍රශ්න විමසයි.
ඒ සත්පුරුෂ තෙරවරු ද ඔහුගේ නානාවිධ වූ සැක ඇති තැන් හි ඇති සැකය දුරුකරති. එනිසා “කඞ්ඛා ඡිජ්ජති” යනුවෙන් “සැක සිඳින ලදි” යැයි කියන ලදි. ඒ සත්පුරුෂ තෙරවරු ධර්මදේශනාවෙන් සැක සහිත පුද්ගලයන්ගේ සැක දුරුකරවා, පූර්වභාග වූ කර්මපථ සම්මා දිට්ඨිය ද විදර්ශනා සම්මා දිට්ඨිය ද උපදවති. එනිසා ඒ පුද්ගලයන්ගේ බුද්ධිය වැඩේ. (බුද්ධි වඩ්ඪති) යම් කලෙක ඔවුහු විදසුන් වඩා චතුරාර්ය සත්යධර්ම අවබෝධ කරගනිත් ද එකල් හි සොළොස් වස්තුක වූ ද අට වස්තුක වූ ද සැකය සිඳෙයි. සම්පූර්ණයෙන් ම වැනසෙයි. වෙනස් කළ නොහැකි ලෙසම ඔවුන්ගේ ප්‍රඥාව වැඩේ. බාල, මෝඩ බව ඉක්ම වූ ඔවුහු පණ්ඩිතයෝ වෙති. ඔවුන්ගේ බුද්ධිය වැඩෙයි. එනිසා “බාලම්පි කරොන්ති පණ්ඩිතං” යනුවෙන් බාලයෝ ද නුවණැත්තෝ කරති යන නිගමනය ගන්නා ලදි. ඉහත පැවසූ ලෙසම සත්පුරුෂයන් දැකීමෙන් හා සැක සංකා දුරුකරගැනීමෙන් බුද්ධිය වැඩෙයි. එනිසා ඔවුහු සැක සහිත බාලයෝ නුවණැති බවට පමුණුවති. මෙම කාරණය - හේතවු නිසා සත්පුරුෂයෝ ඉතා යහපත් වෙති. සුන්දර වෙති. එබඳු ආර්‍ය්‍ය උතුමන්ගේ එක්වීම යහපත වර්ධනය කරන්නකි. මෙසේ ගාථාවේ අර්ථ දතයුතුයි.
සුසාරද ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
පියඤ්ජහ ස්ථවිරගාථා වර්ණනාව
“උප්පතන්තෙසු නිපතෙ” යනු ආයුෂ්මත් පියඤ්ජහ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී ඒ ඒ භවයන්හි දී කළ ප්‍රාර්ථනා ඇතිව නිවන් පතාගෙන කළ පින්දහම් ඇතිසේක්; මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත එක් රැක් දෙවියෙක් ව උපන්හ. පර්වත අතර වසන එම දෙවියා දේව සමාගමයන්හි දී අල්ප ආනුභාව ඇති බැවින් පිරිස් කෙළවර හිඳ ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇති ව, එක් දිනක් ඉතා පිරිසිදු රමණීය ගංගාවක වැලි තලාවක් දැක; “ශාස්තෲන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සමූහය මෙයට ද වඩා අනන්තය. අප්රමාණයැ”යි ශාස්තෲන් වහන්සේගේ ගුණ සිහිපත් කළේය. මෙසේ ශාස්තෲ ගුණයන්හි පිහිටුවන ලද සිත් පැහැදවීම ඇති එම දෙවියා ඉන් චුතව කාම සුගතීන් හි ම සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයෙහි විශාලා මහනුවර ලිච්ඡවි රජ පවුලක ඉපිද, යුධකාමී වූ තරුණයෙක් ව නො පැරදුණු සටන් ඇතිව, සතුරන්ට මහත් හානි පමුණුවන බැවින් “පියඤ්ජහ” නමින් ප්‍රකට විය. ශාස්තෲන් වහන්සේ විශාලා මහනුවරට වැඩම වූ මොහොතෙහි ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වී අරණ්‍යයෙහි වාසය කළ උන්වහන්සේ, විදසුන් වඩා මහරහත් ඵලයෙහි පිහිටි සේක. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.